මත්ද්‍රව්‍ය චෝදනා මත පොලිස් නිලධාරීන් 100කට ආසන්න පිරිසක් අත්අඩංගුවට – පොලිස්පති

ඌව පළාතේ මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනක් දියත් කිරීම සඳහා පැවති උත්සවයකදී අදහස් දක්වමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කර සිටියේ, මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 100කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

“මත්ද්‍රව්‍ය උවදුර පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවලට රිංගා තිබෙනවා. පෙරේදා අපි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 700ක් සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් පොලිස් නිලධාරීන් වීම නිසා නීතිය මඟහැරීමට හෝ විශේෂ සැලකිලි ලබාදීමට අපි කටයුතු කරන්නේ නැහැ. එවැනි අයට එරෙහිව ඊටත් වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නවා,” යැයි ඔහු සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ආශ්‍රිත විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මෙම නිලධාරීන්ට එරෙහිව අභ්‍යන්තර විමර්ශනද ආරම්භ කර ඇති අතර, ඔවුන් පොලිස් සේවයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය විනයානුකූල පියවර ගනිමින් සිටින බවද පොලිස්පතිවරයා පැවසීය.

එමෙන්ම, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කිහිපදෙනකුද මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම්වලට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බවත්, එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමඟ එක්ව කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි පොලිස්පතිවරයා, තම ජංගම දුරකථනය පැය 24 පුරාම විවෘතව පවතින බවත්, එවැනි තොරතුරු රහසිගතව සලකා බලන බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.

නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින්නන්ම මේ අන්දමට මත්ද්‍රව්‍ය ජාවරමේ සහ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම්වලට නිරිත වන්නේ නම් මෙරට නීතිය සහ යුක්තිය සම්බන්ධයෙන් ගැටළුවක් පැණ නගී.

Social Sharing
නවතම පුවත්