බෙදුණු අධිකරණ තීන්දුවක් යනු?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ගම්පහ මහාධිකරණයේදී ඊයේ (11) දින ප්‍රකාශයට පත් කෙරුණේ බෙදුණු තීන්දුවක් ලෙස ය.

විනිසුරු මඩුල්ලක් තීන්දු ලබා දෙන්නේ කුමන අධිකරණවල ද?

මේ සම්බන්ධයෙන් අදහස් පළකළ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ සඳහන් කර සිටියේ, සාමාන්‍යයෙන් මහේස්ත්‍රාත් හෝ දිසා අධිකරණවල අසුන් ගන්නෙ එක් විනිසුරුවරයෙක් පමණක් බවත් එසේම සාමාන්‍යයෙන් මහාධිකරණයක අසුන් ගන්නේ එක විනිසුරුවරයෙක් පමණයි, නමුත් විශේෂ අවස්ථාවලදී (නීතිපති ඉල්ලීම මත අග්‍රවිනිශ්චයකාරවරයා තීරණය කරන අවස්ථාවකදී) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයක් පත් කිරීමේ බලතල 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 12(2) වගන්තිය යටතේ අගවිනිසුරුවරුතුමන්ට පැවරෙනවා. 12(3) වගන්තිය අනුව එවැනි තීන්දු ප්‍රකාශයක අභියාචනය ඍජුව ම යොමු වෙන්නේ අභියාචනාධිකරණයට නෙමෙයි, ශ්‍රේෂ්ඨාධිකරණයට බවයි.

ශ්‍රී ලංකාවේ අධිකරණ සංවිධානය පිළිබඳව දැක්වෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත තුළ ය.

බෙදුණු තීන්දුවක් යනු කුමක් ද?

බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරෙන්නේ, විනිසුරු මඩුල්ලක සාමාජිකයින් විසින් වෙනස් තීන්දු ප්‍රකාශයට පත් කරන අවස්ථාවලදී ය. එවැනි ත්‍රිපුද්ගල මහාධිකරණයක තීරණය බෙදුණු තීන්දුවක් විය හැකි සේම එම අවස්ථාවේ බහුතර මතය අධිකරණයේ අවසන් නිගමනය ද වේ. බෙදුණු තීන්දුවක් කියන්නෙ සුළුතර හා බහුතර ලෙස විනිසුරු මඩුල්ල බෙදීමක් සටහන් කිරීම. එතනදි බහුතර මතය විනිශ්චය ලෙස පිළිගැනීමක් සිදු වේ.

2018 අංක 09 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනතින් ඒ පනතේ උපලේඛනයේ දක්වන වැරදි පිළිබඳ විමර්ශනයට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් කොළඹදී පිහිටව වූ බවත් සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අසුන්ගන්නේ විනිසුරුවරුන් තිදෙනෙක් වුවත් විශේෂ අවස්ථාවලදී පංචඩපුද්ගල, සත් පුද්ගල සහ විනිසුරුවරුන් නව දෙනෙක් හෝ එකොළොස් දෙනෙක් අසුන්ගන්නා විනිශ්චය මණ්ඩල අගවිනිසුරු විසින් නම් කරනු ලබන බවත් මේ ඕනෑ ම අවස්ථාවකදී බෙදුණු තීන්දු ලැබීමට හැකි බවත් නීතිඥවරයා පෙන්වා දීය.

බෙදුණු අධිකරණ තීන්දුවක් ලැබුණු සුවිශේෂී අවස්ථා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ බලය ක්‍රියාත්මක වන අවස්ථා එවැනි සුවිශේෂී අවස්ථාවක් බවට කථිකාචාර්ය කුසල් පෙන්වා දී ඇති අතර ඒ අනුව සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ බලය ක්‍රියාත්මක කරන අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙකුට වඩා වැඩියෙන් අසුන්ගත් අවස්ථා අපට මුණ ගැසෙනවා. උදාහරණයක් විදිහට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවේ විනිසුරු මඩුල්ල 9 දෙනෙක්. බෙදුණු තීන්දුවක් ලෙස තමයි ඒ තීන්දුව ලැබී ඇත්තේ.

පසුගිය වසරේ භික්ෂුණීන්හට ජාතික හැඳුනුම්පත ලබා දීම සම්බන්ධයෙන් වැලිමඩ ධම්මදින්නා භික්ෂුණිය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ද ලැබුණේ බෙදුණු තීන්දුවක් ලෙස ය.

2024දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ආර්ථික අර්බුදය පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සිද්ධ කළේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්.

මෙවැනි විනිසුරුවරුන් තිදෙනෙකුට වැඩි ගණනක් අසුන්ගන්නා අවස්ථාවකදී ලබා දුන් තීන්දුවක් පසු අවස්ථාවකදී අධිතීරණය කළ හැක්කේ මුල් අවස්ථාවට වඩා වැඩි විනිසුරුවරුන් ගණනක් අසුන්ගත් විනිසුරු මඩුල්ලකින් පමණයි. ඒක අධිකරණ සම්ප්‍රදායක්  ලෙස සැළකේ.

අධිතීරණය කිරීමක් යනු කුමක් ද?

අධිතීරණය කිරීම යනු කුමක් ද? යන්න පිළිබඳව ද කථිකාචාර්ය නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ පැහැදිලි කරමින් පවසා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුවක් සලකන්නෙ බලාත්මක නීතියක් විදිහට. එවැනි තීන්දුවක් අනුගමනය කරන්න පහළ අධිකරණ වගේ ම පසු අවස්ථාවලදී එම අධිකරණය ම බැඳෙනවා. මෙය අධිකරණ පූර්ව නිදර්ශනය (Judicial precedent) යැයි සළකණු ලැබේ.

එහෙත් පසු අවස්ථාවකදී එවැනි අධිකරණ තීන්දුවකින් ගොඩනැගුණු පූර්ව නිදර්ශනයක් වෙනත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ම වෙනස් කිරීමට හැකි අතර එයට අධිතීරණය (Overrule) යැයි සඳහන් කෙරේ.

එවැනි අධිතීරණයක් ලබා දීමේදී, මුල් තීන්දුව ලබා දී ඇත්තේ විනිසුරුවරුන් තිදෙනෙකුට වඩා වැඩි විනිසුරු මඩුල්ලකින් නම්, මුල් අවස්ථාවට වඩා වැඩි විනිසුරුවරුන් සංඛ්‍යාවක් සිටින විනිසුරු මඩුල්ලක් එය අධිතීරණය කිරීම සඳහා සිටිය යුතු බව ඔහු පෙන්වා දුන් අතර එබැවින් එවැනි අවස්ථාකදී ද බෙදුණු තීන්දුවක් ලබා දීමට හැකි ය.

උපුටා ගැනීම BBC සිංහල වෙබ් පිටුවෙනි

Social Sharing
අවකාශය පුවත්