චෙම්මිනි !…කුමාරස්වාමිගේ මරණයෙන් වසර 29කට පසු යළි මතු වූ චෙම්මනි සමූහ මිනීවළේ කතාව

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ හතක් ද සමග උසස්පෙළ හදාරමින් සිටි ක්‍රිෂාන්ති කුමාරස්වාමි තමන් අධ්‍යාපනය හැදෑරූ චුන්ඩිකුලි විද්‍යාලයට එදා ගියේ උසස්පෙළ රසායන විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයකට මුහුණදීම සඳහාය. එදා ඇය සුදු පාසල් නිල ඇඳුමෙන් ද, සපත්තු සහ මේස් ද පැලඳ රතු ටයි පටයකින් ද සැරසී සිටියාය. තමා පාසල් නිල ඇඳුම අඳින අවසන් දිනය පමණක් නොව පාසල් හිතමිත්‍රාදීන් දකින අවසන් දිනය ද එදා බව ඇය නොසිතන්නට ඇත. ඒ 1996 සැප්තැම්බර් මස 07 වැනිදාය.

ප්‍රශ්න පත්‍රය ලියා අවසන් වීමෙන් පසු පෙරවරු 11.30ට පමණ පිළිතුරු පත්‍රය විභාග පරීක්ෂකවරයාට භාර දී තම මිතුරියක වන ගෞතමී සමග නිවස බලා පැමිණීමට පිටත්වූවාය. ඒ එන අතරමගදී ඊට පෙරදින හමුදා ට්‍රක් රථයකට යටවී මරණයට පත්වූ තම මිතුරියක වූ ආනන්දිගේ මළ ගෙදරට ද මිතුරිය සමගම ඇය ගියාය. දහවල් 12.30ට පමණ මළ ගෙදරින් පිටත්වී එක්තරා හංදියකදී තම මිතුරියට සමුදුන් ක්‍රිෂාන්ති චෙම්මනි හමුදා මුරපොළ පිහිටි කයිතඩි මාර්ගය දිගේ නිවස බලා ගියාය. ගෞතමී අවසන් වරට ක්‍රිෂාන්ති දුටු මොහොත එය විය.

දහවල් 12.30ට මරණ ගෙදරින් පිටත්වී මිතුරියට සමුදී නිවස බලා පිටත් වූ ඇය සවස්වන තෙක් නිවසට පැමිණියේ නැත. පස්වරු 2.30ට පමණ දියණිය නොපැමිණීම ගැන අසල්වැසියන්ට ද දැනුම් දුන් ක්‍රිෂාන්තිගේ මව රාසම්මා කුමාරස්වාමි තම පුතු වූ එවකට 16 හැවිරිදි ප්‍රනවන් කුමාරස්වාමි සහ අසල්වාසී තරුණයකු වූ සිදම්බරම් කිරුබාමූර්ති සමග පාපැදි දෙකකින් පිටත්ව ගියාය.

රාසම්මා කුමාරස්වාමිගේ සැමියා එසේ නැතිනම් ක්‍රිෂාන්ති කුමාරස්වාමිගේ පියා 1984දී මරණයට පත්වූ අතර එතැන් සිට වැඩිමහල් දියණිය වූ ප්‍රශාන්ති, දෙවැනි දියණිය වූ ක්‍රිෂාන්ති සහ බාල පුතු වූ ප්‍රනවන් සමග කයිතඩි ජීවත්වූවාය. උපාධිධාරිනියක වූ ඇය වෘත්තියෙන් ගුරුවරියක් වූවාය. එසේම ඇය 1996 වන විට කයිතඩි පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරියක් ලෙස කටයුතු කළාය. තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම ඇගේ මූලික ඉලක්කයක් වූ අතර 1996 වන විට ඇගේ වැඩිමල් දියණිය කොළඹ උසස් අධ්‍යාපනය ලබමින් සිටියේ ඒ අනුවය. උසස්පෙළ රසායන විද්‍යා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට පෙනී සිට නිවසට නොපැමිණි ක්‍රිෂාන්ති සොයා මව සමග ගිය ප්‍රනවන් සාමාන්‍ය පෙළ ශිෂ්‍යයකු වූ අතර ඔහු පාසලේ කැපී පෙනෙන දක්ෂ ශිෂ්‍යයෙක් විය.

ක්‍රිෂාන්ති කුමාරස්වාමි සොයා ගිය මව ඇතුළු තිදෙනා ද නැවත නිවසට පැමිණියේ නැත. ඉන් පසු මේ කතාව පටන් ගන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ලබුණු පෙත්සමක් අනුව යුද හමුදා පොලිසිය විසින්ම ආරම්භ කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය. විමර්ශනයේ දී ප්‍රකාශ ලබා දුන් එක් වැදගත් සාක්කිකරුවකු වූයේ පොලිස් කොස්තාපල් සමරවික්‍රමය.

ක්‍රිෂාන්ති කුමාරස්වාමි

සමරවික්‍රම එදා චෙම්මනි මුරපොළ අංක 02හි රාජකාරි කරමින් සිටියේය. කයිතඩි හමුදා මුරපොළ පිහිටියේ ඊට කිලෝමීටර භාගයක් පමණ දුරිනි. සමරවික්‍රමට දෙමළ භාෂාව හැසිරවීමේ හැකියාව ද තිබිණි. 1996 සැප්තැම්බර් 07 වැනිදා කයිතඩි හමුදා මුරපොළේ සේවය කළ ලාන්ස් කෝප්‍රල් ආර්. ඩී. සෝමරත්න රාජපක්ෂගෙන් පොලිස් කොස්තාපල් පී. ඒ. සමරවික්‍රමට කැඳවීමක් ලැබිණි. ඒ එල්ටීටීඊ සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමට බව කියමිනි. ඒ අනුව සමරවික්‍රම චෙම්මනි හමුදා මුරපොළට ගියේය. එහි සෝමරත්න රාජපක්ෂට අමතරව තවත් හමුදාවේ සහ පොලිසියේ පිරිසක් සිටියහ. ඒ අසල පුටුවක වාඩිකර ගැට ගසා පාසල් නිල ඇඳුමෙන් සැරසී සිටින සිසුවියක් ද සිටියාය. සමරවික්‍රමට ප්‍රශ්න කරන්නට සිදුවූයේ ඇයගෙනි. ඇගෙන් එල්ටීටීඊ සබඳතා ගැන දෙමළ බසින් ප්‍රශ්න කළේය. තමාට එල්ටීටීඊ සබඳතා නැතැයි ඇය දිගින් දිගටම කීවාය.

“ඇයි මේ විදිහට මට සලකන්නේ. මම මෙතනට ආවේ ඔයාලව විශ්වාස කරලා” ඇය කීවාය.

ඉන් පසු ඇය කෑගසන්නට වූවාය. වහාම එතැනින් පිටවී යන ලෙස ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගෙන් උපදෙස් ලැබිණි. ඒ අනුව සමරවික්‍රම පිටවී ගියේය. පසුව සවස 3.00ට පමණ සමරවික්‍රම සිටි අංක 02 මුරපොළ අසලට කාන්තාවක්, තරුණ දරුවෙක් සහ තවත් තරුණයෙක් පැමිණියහ. තම දියණිය නිවසට නොපැමිණි බව කී කාන්තාව ඇය දුටුවේදැයි විමසුවාය. ඒ රාසම්මාය. ක්‍රිෂාන්ති කුමාරස්වාමිගේ මවය. තමා ඇය නුදුටු බව සමරවික්‍රම ඔවුන්ට කීවේය.

එදින සවස 6.00ට පමණ සමරවික්‍රමට දැනගන්නට ලැබුණේ දියණිය සොයා ආ මව ඇතුළු තිදෙනා ද චෙම්මනි මුරපොළේ රඳවාගෙන සිටින බවයි. ඊට නුදුරෙන් පිහිටි අංක 03 මුරපොළේ රාජකාරි කරමින් සිටි කෝප්‍රල් අජිත් අශෝකට මේ බව දැනුම් දුන් සමරවික්‍රම මොවුන් මුදා හැරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා සිටියේය. අජිත් සහ සමරවික්‍රම යන දෙදෙනාම මෙම පිරිස මුදා හරින ලෙස සෝමරත්න රාජපක්ෂගෙන් ඉල්ලීම් කළද ඊට එකඟත්වයක් පළ නොවිණි.

යුද හමුදා පොලිසියට සමරවික්‍රම සහ අජිත් ඇතුළු පිරිස මෙම විස්තර ප්‍රකාශ කිරීමෙන් පසු මීළඟට සෝමරත්න රාජපක්ෂ ඇතුළු පිරිසගෙන් යුද හමුදා පොලිසිය ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ විය. එහිදී අනාවරණය වී ඇත්තේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි සහ ඇය සොයා පැමිණි ඇගේ මව, සහෝදරයා සහ අසල්වාසියා ඝාතනය කර වළ දමා ඇති බවයි. සැකකාර නිලධාරීන්ගේ මගපෙන්වීම අනුව අදාළ ස්ථාන හෑරීමේදී හතර දෙනාගේම සිරුරු සොයා ගැනීමට හැකියාව ලැබිණි. ඒ අනුව හමුදා සහ පොලිස් නිලධාරීහු 09 දෙනෙක් අත්අඩංගුවට පත්වූහ. ඔවුනට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරිණි. ලාන්ස් කෝප්‍රල් ආර්. ඩී. සොමරත්න රාජපක්ෂ, ජයසිංහ, ප්‍රියදර්ශන, පෙරේරා, අල්විස්, මුතුබණ්ඩා, ජයතිලක, කුමාර සහ නිශාන්ත යන හමුදා සහ පොලිස් නිලධාරීහු එම චූදිතයෝ ය. මේ අතුරෙන් එක් චූදිතයකු නඩු විභාගය මගහැර පලා ගොස් සිටි අතර තවත් චූදිතයෙක් මරණයට පත්වී සිටියේය.

අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරිණි. ඒ අනුව නිමල් දිසානායක, ඇන්ඩෘ සෝමවංශ සහ ගාමිණී අබේරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ නඩුව විභාග විය. පොලිස් නිලධාරීහු, හමුදා නිලධාරීහු, හමුදා පොලිසියේ නිලධාරීහු, සාමාන්‍ය වැසියෝ, විශේෂඥවරු ඇතුළු පිරිසක් සාක්කි ලබා දුන්හ. වගඋත්තරකාර යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ට චෝදනා 18ක් යටතේ නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබුණ ද මහාධිකරණය එම අධිචෝදනා අතුරෙන් අයුතු ජනරාශියට අදාළ 01 සිට 07 දක්වා චෝදනා සලකා නොබැලූ අතර 08-18 දක්වා වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමී බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම, ක්‍රිෂාන්ති කුමාරස්වාමි, ඇගේ මව, සහෝදරයා සහ අසල්වාසියා ඝාතනය කිරීමට අදාළ චෝදනා පමණක් සලකා බලා තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය. තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ 1998 ජූලි මස 03 වැනිදාය.

ඒ අනුව චූදිතයන්ගෙන් හය දෙනකුට මරණ දඬුවම සහ ඊට අමතරව තවත් සිරදඬුවම් නියම කෙරිණි. සිද්ධියට අදාළව එකම දඬුවම පැනවුවද, විනිසුරුවරු තිදෙනා තීන්දු තුනක් ප්‍රකාශයට පත් කළහ. ඔවුන්ගේ අවසන් තීන්දුව එකක් වුවද, තීන්දුවට එළඹීමට කරුණු දක්වා ඇති ආකාරය තුනක් විය.

මිනීමැරීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කිරීමෙන් පසු මරණ දඬුවම පැමිණවීමට පෙර විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලබා දෙන අතර එම ප්‍රකාශය කරමින් සෝමරත්න රාජපක්ෂ සඳහන් කළේ තමන් මෙම සිදුවීමට සම්බන්ධයක් නැතත් උසස් නිලධාරීන්ගේ කීම මත වළ දැමූ 300ත් 400ත් අතර පිරිසකගේ සිරුරු චෙම්මනි ප්‍රදේශයේ ඇති බවයි. චෙම්මනි සමූහ මිනීවළක් ගැනත් මුල් වරට අනාවරණය වන්නේ සෝමරත්න රාජපක්ෂගේ එම ප්‍රකාශයත් සමගය.

“අපි කාවවත් මැරුවේ නෑ. අපිට උසස් නිලධාරීන් එව්ව මළසිරුරු වළලපු එක විතරයි අපි කළේ. චෙම්මනිවල 300ක් 400ක් සිරුරු වළදාපු තැන් අපට පෙන්වන්න පුළුවන්” ලාන්ස් කෝප්‍රල් දේවගේ සෝමරත්න රාජපක්ෂගේ ප්‍රකාශයත් සමග බරපතළ මානව හිමිකම් කඩවීමක තොරතුරු අනාවරණය වන්නට විය. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (ජාත්‍යන්තර ක්ෂමා) සංවිධානය ඊට පෙර එනම් 1997 නොවැම්බර් 27 වැනිදා නිවේදනයක් නිකුත් කමින් සඳහන් කළේ යාපනය අර්ධද්වීපයේ 1996 වසරේ දී පමණක් අතුරුදන් වූ සංඛ්‍යාව 540ක් බවයි.

සෝමරත්න රාජපක්ෂගේ ප්‍රකාශයෙන් පසු ඔහු ඇතුළු පිරිසට මරණීය දණ්ඩනය නියමව බන්ධනාගාර ගත කෙරිණි. බන්ධනාගාරයේදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් අතර ඒ අනුව යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ ගැන මුල් වරට නෛතික කටයුතු ආරම්භ විය.

ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගේ මගපෙන්වීම අනුව 1999 ජුනි මස 16 වැනිදා කැණීම් කටයුතු ආරම්භ වූ අතර ජුනි මස 17 වැනිදා කැණීම් කටයුතු අවසන් විය. 17 වැනිදා දහවල් වන විට මානව ඇටසැකිලි දෙකක් සොයා ගැනීමට හැකි විය. ජුනි 18 වැනිදා යළි කැණීම් කරද්දී පුද්ගලයන් හය දෙනකුට අදාළ දෑ හමු විය. ඒවා අතුරෙන් සතිෂ් කුමාර් ශාන්ති තම සැමියා වූ රාසියා සතීෂ් කුමාර් පැළඳගෙන සිටි දෑ හඳුනා ගත්තාය. මහේන්ද්‍රාන් වනිතා සහ සිවනේස්වරන් රීටා අංක 02 ලෙස සඳහන් ඇටසැකිල්ල අසල ඇති පෞද්ගලික දෑ තම සහෝදරයා වූ මහේන්ද්‍රන් බාබුගේ බව හඳුනා ගත්හ. මෙම හඳුනා ගැනීම් ගැනත්, ඒ ගැන විශේෂඥ මතය ගැනත්, විමර්ශනවල ප්‍රගතිය හා ඉදිරි විමර්ශන ගැනත් එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ රජයේ නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා 1999 ජූලි 15 වැනිදා යාපනය අතිරේක මහෙස්ත්‍රාත් සහ මන්නාරම දිසා විනිසුරු එම්. ඉලංචේලියන් මහතාට දැනුම් දුන්නේය. යළි කැණීම් කටයුතු 1999 සැප්තැම්බර් ආරම්භ වූ අතර රාජපක්ෂ ඇතුළු පිරිස එම ස්ථානයට ගෙන ගියහ.

මේ අතරතුර රාජපක්ෂ ඇතුළු පිරිස තමන්ගේ දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අභියාචනය විභාග කිරීමෙන් පසු 2004 පෙබරවාරි මස 03 වැනිදා පුණ්‍යදාස එදුසූරිය, උපවංශ යාපා, ජේ. ඒ. එන්. ද සිල්වා සහ චන්ද්‍ර ජයසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ආචාර්ය ශිරානි බණ්ඩාරනායක විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශයට පත් කළාය. ඒ අනුව සෝමරත්න රාජපක්ෂ ඇතුළු පිරිසට ලබා දුන් මරණ දඬුවම ඇතුළු දඬුවම් ස්ථිර කෙරිණි.

ඒ දිනවල රටේ පමණක් නොව ලෝකයේම අවධානයක් දිනාගත් චෙම්මනි ගැන නැවත අවධානය යොමු වන්නට පටන් ගත්තේ මීට මාස කිහිපයකට පෙරය. ක්‍රිෂාන්ති කුමාරස්වාමිගේ මරණයෙන් වසර 29ක් ගත වෙද්දී එදා යට ගිය සමූහ මිනී වළ යළි මතු වන්නට පටන් ගත්තේ මෙසේය.

යාපනේ අරියාලෙයි සිත්තුපාති හින්දු සුසාන භූමියේ කටයුතු සඳහා ගමේ සිවිල් වැසියන් පිරිසකගේ එකතුවෙන් කමිටුවක් පිහිටුවා තිබේ. සුසාන භූමියේ භාරකාරිත්වය තිබුණේ ප්‍රාදේශීය සභාව වෙතය. මෙය හින්දු සුසාන භූමියක් බැවින් මෙහි සිදුවන්නේ දේහයන් ආදාහනය කිරීම පමණි. අධිකරණ නියෝගයක් මත වළ දැමීමට සිදුවන දේහයන් සහ ඇතැම් ළමයින්ගේ දේහයන් පමණක් සුසාන භූමියේ නැගෙනහිර කොටසේ වළදැමීම සිදුවුවද, එය සිදුවන්නේ කලාතුරකිනි. මෙම සුසාන භූමියේ ආදාහන කටයුතු සඳහා නව ආදාහනාගාරයක් ඉදි කර දෙන ලෙස සුසාන භූමි කමිටුව ප්‍රාදේශීය සභාවෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස කොන්ත්‍රාත්කරුවකුට ඉදිකිරීම් භාර කෙරුණු අතර අදාළ කටයුතු ආරම්භ වූයේ 2025 පෙබරවාරි 10 වැනිදාය. ආදාහනාගාරය සෑදීම සඳහා ප්‍රධාන කණු හතරක් සිටුවීමට අත්තිවාරම් වළවල් හතරක් කැපීම සිදු වූ අතර පෙබරවාරි 11 වැනිදා ඉන් එක වළක් අඩි දෙක හමාරක් හාරද්දී අස්ථි කොටසක් හමුවී ඇති අතර තවත් වළක් අඩි භාගයක් හාරද්දීම අස්ථි කොටස් හමුවීම නිසා කොන්ත්‍රාත් සමාගම ඉදිකිරීම් නතර කර ඉවත්ව ගියේය.

අස්ථි අහමුවීම නිසා කොන්ත්‍රාත් සමාගම ඉවත්ව ගිය බව ප්‍රාදේශීය සභා ලේකම්වරයා සුසාන භූමි කමිටුවට දැනුම්දීමෙන් පසු උපාධිධාරියකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන සුසාන භූමි කමිටුවේ සාමාජික 45 හැවිරිදි වෛද්‍යලිංගම් කිරුබාහරන් මේ ගැන පොලිසියට පැමිණිල්ලක් කළේය. වසර ගණනක් තිස්සේ යට ගිය ඉතිහාසය යළි මතුවන්නට පටන් ගත්තේ කිරුබාහරන්ගේ පැමිණිල්ලෙන් පසුවය. ඒ ගැන ඔහු මෙසේ කීවේය.

“1995 සිට 2011 දක්වා හමුදා භාරයේ තිබ්බ ප්‍රදේශයක් මේ සුසාන භූමිය. සුසාන භූමියේ අයිතිය තියෙන්නේ ප්‍රාදේශීය සභාවට. 2024 කමිටුව ප්‍රාදේශීය සභාව එක්ක ගිවිසුමකට එනවා සුසාන භූමියට තවත් ආදාහනය කරන්න ස්ථානයක් ඉදි කරන්න. මිලියන 05ක් සභාව අයවැයෙන් වෙන් කරගෙන කරන්නයි ගිවිසුම්ගත වෙන්නේ. ප්‍රාදේශීය සභාව ටෙන්ඩර් කෝල් කරලා ඉදි කිරීම පුද්ගලික ආයතනයකට භාර දෙනවා. 2025 පෙබරවාරි 10 ඒක ආරම්භ කරනවා. 11 වැනිදා ඉදිකිරීම් කටයුතු පටන් ගන්නවා. ආරම්භක උත්සවය 10 වැනිදා තිබ්බේ. කණු හතරක් ඉදි කරන්න ස්ථාන හතරක් හාරනවා. පළවෙනි කනුව හිටුවන බේස් වළ අඩි දෙකක ප්‍රමාණයක් හාරද්දි අස්ථි කොටස් මතුවෙනවා. හතර වෙනි එකේ අඩි භාගයක් විතර හාරද්දි අස්ථි කොටස් මතුවෙනවා. අලුතින් ඉදි කරන්නේ කනත්තේ බටහිර පැත්තේ.

මෙහෙම අස්ථි කොටස් මතු වුණාම අදාළ ආයතනය මේක කරන්න බෑ කියලා ප්‍රාදේශීය සභාවට දැනුම් දීලා ඔවුන් ගියා. පහුවදා ප්‍රාදේශීය සභා ලේකම් කිව්වා වැඩ කරන්න බෑ කියලා අත්හැරලා ගියා කියලා. අපි බලාපොරොත්තු වුණා ප්‍රාදේශීය සභාවෙන් නීතිමය පියවරක් ගනියි කියලා. නමුත් ගත්තේ නෑ. අපේ කමිටුවත් ඉදිරිපත් වෙන්නත් බය වුණා කලින් වෙලා තියන දේවල් එක්ක. ඒ නිසා නීතිමය පියවර ගන්න පරක්කු වෙනවා.

ඊට පස්සේ අදාළ ඉදිකිරීම් කරපු තැනට ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා එක්ක ගිහින් අපි උපදෙස් පැතුවා. ඉන් පස්සේ 15 වැනිදා සෙනසුරාදා දවසක යාපනයේ පොලිසියේ අපරාධ අංශයට ගියා පැමිණිලි කරන්න. සෙනසුරාදා පැමිණිල්ල භාර ගත්තේ නෑ. එදා ඇමැතිවරයෙක් මේ පැත්තට ඇවිත්, එයාගේ ආරක්ෂාවට යනවා කියලා පහුවදා එන්න කිව්වා. ඉරිදා ගියාම ඉරිදත් භාර අරගත්තේ නෑ. 17 සඳුදා ගියාට පස්සේ තමයි පැමිණිල්ල ලියාගත්තේ. ඒ පැමිණිල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට යොමු කරලා ඉන් පස්සේ තමයි කැණීම් පටන් ගත්තේ.

මේ පැත්තේම තමයි ක්‍රිෂාන්ති කුමාරස්වාමිගේ ඇටසැකිලි හමුවුණේ. දැන් කැණීම් කටයුතු පටන් අරන් තියනවා. මමත් නිතරම එතනට යනවා කැණීම් වෙන හැටි බලන්න. දැනට පූර්ණ ඇටසැකිලි 34ක් ගොඩට අරන් තියනවා. බැලූ බැල්මට අවුරුද්දකට අඩුයි කියලා පේන ළමයින් 07ක් මේ අතර ඉන්නවා.

අතුරුදන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න කියලා මට කරන්න පුළුවන් දේ තමයි මම කළේ. දැනට පේන විදිහට නිරුවත් කරලා මරපු අය තමයි මෙතන ඉන්නේ. දරුවන්ගේ පවා ඇඳුම් තිබ්බේ නෑ. ඊට එහා පැත්තෙන් කාන්තා ඇඳුම් ටිකක් තිබිලා හමුවුණා.

මේ ප්‍රවෘත්ති ලියන ඔබටත්, බලන, කියවන අයටත් දරුවන් ඇති. අවුරුද්දකට අඩු වයස ළමයින් හතකගේ සිරුරු හමුවෙලා තියෙනවා. තමන් දෙමළද, සිංහලද මොන ජාතියෙද, ඒ ජාතියේ අය කරන්නේ මොනවද කියලා මේ දරුවෝ දන්නේ නෑ. ඒ දරුවෝ මැරුවෙ ඔවුන් දෙමළ වීම නිසානේ. මේ දරුවෝ නිරුවත් කරලා මරන්නේ ඔවුන් මොන වරදක් කළාටද? සිංහල ජනතාවට දෙමළ අය තමන්ගේ සතුරා කියලා හැඟීමක් ඇති කරපු එකේ ප්‍රතිඵලය තමයි මේක. දෙමළ කෙනෙක් විදිහටත් මේ සිද්ධියේ පැමිණිලිකරු හැටියටත් සිංහල ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ සිද්ධිය දිහා බුද්ධියෙන් සහ සාක්කි මත පදනම්ව බලන්න. ජාතිවාදය මත පමණක් බලන්න එපා” යැයි ඔහු කීවේය.

කැණීම් ස්ථානයෙන් හමුවූ කුඩා දරුවකුගේ සෙල්ලම් බඩුවක්

පසුගිය සතියේ කැණීම්වලදී පාසල් දරුවන් භාවිතා කළ නිල් පැහැති යුනෙස්කෝ අත්බෑගයක් හමුවිය. එසේම කුඩාම දරුවන් භාවිත කරන සෙල්ලම් බඩු කිහිපයක් හමුවිය. උතුරේ පමණක් නොව දකුණේ ද බොහෝ දෙනෙකුගේ දෙනෙත්වල කඳුළු මතු කරන සහ සියලු දෙනා සංවේදී කරන දසුන් බවට ඒවා පත්විය. එම ඡායාරූප දෙස බලමින් 1996/97 වසරවල යාපනයේදී තම හිතවතුන් අහිමි වූ බොහෝ දෙනෙකු හඬා වැළපෙනු දක්නට ලැබිණි.

සමූහ මිනීවළේ කටයුතු තවම අවසන් නැත. සමූහ මිනීවළ ගැන ලියන ලිපිය ද තවම අවසන් නැත. සමූහ මිනීවළ ගැන තවත් කතා රැසක් ලබන සතියේ ද ඉදිරිපත් කරමු. එතෙක් මෙම ලිපිය ගැන සිතන්න. කිරුබාරහන් ප්‍රකාශ කළ පරිදිම මෙම සිදුවීම දෙස ජාතිවාදී කෝණයෙන් නොබලන්න. එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය දකුණේ බෝම්බ පුපුරුවමින් කළ ම්ලේච්ඡ ක්‍රියා නිසා මෙම මිනීවළ සාධාරණීකරණය කිරීමට ඉස්සර නොවන්න. සත්‍යය සත්‍යයක් ලෙස පමණක් භාර ගන්නා සමාජයක් ඇතිවුවහොත් ශ්‍රී ලංකාවේ උතුරේත් දකුණේත් සිදුවන ම්ලේච්ඡ ක්‍රියා යම් තරමකට හෝ අඩුවනු ඇත.

(නඩු තීන්දු, වෙනත් ලේඛන සහ අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර ලබා ගත් තොරතුරු ඇසුරෙනි.)

තරිඳු ජයවර්ධන (යාපනයේ සංචාරයකින් පසු) දිවයින

Social Sharing

අවකාශය නවතම විශේෂාංග