ජාතික ජන බලවේගය නැතහොත් මාලිමාවේ ආණ්ඩුව පසුගිය කාලයේ රටේ අත්‍යවශ්‍ය ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කිසිවක් සිදුකොට නැති බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා . විපක්ෂයේ විවේචකයින් කියන්නේ රට එක තැන නැවතුනු තත්ත්වයක් තිබෙන බව යි. ඇත්ත වශයෙන් ම රජය කළ කැපී පෙනෙන වැඩක් දක්නට නැහැ .
මාලිමා ආණ්ඩුව රටේ කිසිදු ආර්ථික ප්රතිසංස්කරණයක් සිදු කොට නැති බව මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා කියා තිබුණා. තවත් බොහෝ විද්වතුන් මේ අදහස ප්‍රකාශ කොට තිබුණා.
මාලිමා ආණ්ඩුවට සහය දුන් අයත් මෙම කරුණ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔවුන් කියන්නේ ආණ්ඩුවට තවත් කල් දිය යුතු බව යි.
සියලු බර පක්ෂය හැදීමට
රටේ ආර්ථිකයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොකරන ආණ්ඩුව සහ එයට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ සියලු බර යොදා වෙනත් වැඩක් කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා . එනම් තම පක්ෂයේ බලය වර්ධනය කරගැනීමේ උත්සාහය යි.
මැතිවරණයේ දී පැහැදිලි ජයක් නොලද පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට ඔවුන් තමන්ගේ සියලු සදාචාර සළුපිලි උනා දම ක්‍රියා කළ ආකාරය අපට පසුගිය දිනවල දකින්නට ලැබුණා. ඔවුන් එය කළේ විශාල දේශපාලන අපකීරිතියකට ලක්වෙමින් බවත් පැහැදිලියි. බොහෝ තැන්වල මාලිමා මැති ඇමතිවරු පළාත් පාලන ආයතන රැස්වීම් පවත්වන ස්ථානවලට ගොස් එම කටයුතු මෙහෙයවන ආකාරය ද අපට දක්නට ලැබුණා. තම අමාත්‍යංශවල කටයුතු අතපසු කරමින් ඔවුන් මෙම කටයුතුවල යෙදුනු බවත් පැහැදිලියි.
පසුගිය කාලයේ ඔවුන් ක්‍රියා කළේ රජයේ ආයතනවලට තම පාක්ෂිකයින් පත්කර ගැනීමට යි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු නවතා ඔවුන් තම හිතවතුන්ට ඒවායේ තනතුරු ලබාදුන්නා.රජයේ අමාත්‍යංශවලටත් පක්ෂයේ ක්‍රියාකාරීන් පත්කර ගත්තා.
රාජ්‍ය තන්ත්රයට හෙන්චයියන් පත්කර ගැනීම
පළපුරුදු නිලධාරීන් සිටිය යුතු තනතුරුවලට ඔවුන් පත්කර ගත්තේ තමන්ගේ සහ පක්ෂයේ හිතවතුන් බව දිගට ම පෙනෙන්නට තිබෙනවා. මුලින් ම කළ ජනාධිපති ලේකම් පත්කිරීමේ සිට මෑතක මුදල් අමාත්‍යංශයේ ලේකම් පත්වීම දක්වා අපට මෙය දිගට ම දකින්නට ලැබෙනවා. විගණකාධිපති තනතුරටත් යෝජනා කළේ එබඳු පත්වීමකි.
පසුගිය කාලයේ ගම් මට්ටමින් ද මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනු දක්නට ලැබුණා. ගමේ විවිධ සමිති සමාගම් තනතුරු සඳහා ඔවුන් තමන්ගේ පක්ෂ ක්‍රියාකාරීන් පත්කර ගැනීමට ක්‍රියා කළා.
මෙබඳු තොරතුරු බොහොමයක් තිබෙනවා. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ රටේ කළ යුතු ප්‍රතිසංස්කරණ නොකළත් ඔවුන් තම පක්ෂයේ බලය වර්ධනය කර ගැනීමට සියලු බර යොදා ක්‍රියාත්මක වන ආකාරය යි. ‘යටින් වැඩක් යනවා’ කියා මාලිමා නායකයින් තම අනුගාමිකයින්ට කියන්නේ මේ වැඩ පිළිවෙළ ගැන විය හැකියි.
රටේ කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන කිසිදු දැක්මක් හෝ වැඩ පිළිවෙළක් මාලිමා ආණ්ඩුවට තිබෙන බවක් පෙනෙන්නට නැහැ. ඔවුන් තමන්ගේ ප්‍රධාන කාර්යයක් කියා ප්‍රකාශ කළ හොරු ඇල්ලීම සහ දුෂණ පිටුදැකීම සම්බන්ධයෙන් පවා විශාල ප්‍රගතියක් පෙන්වා නැහැ. දැන් අධිකරණ තීන්දු ලැබෙන්නේ සහ නඩු පැවරෙන්නේ මීට පෙර සිට ක්‍රියාත්මක කළ විමර්ශන වල ප්‍රතිඵල ලෙස යි. එහි දී ද මාලිමා ආණ්ඩුව කළ දෙයක් නැති බව විවේචකයින් පේනවා දෙනවා.
ආර්ථිකයේ වැඩ බංකොලොත්
බංකොලොත් ලබා යන්තම් ගොඩ එමින් සිටින රටක් ලෙස අපට වේගවත් ආර්ථික සංවර්ධනයක් අවශ්‍ය බව බොහෝ දෙන පිළිගන්නා කාරණයකි. ට්‍රම්ප් ජනාධිපතිගේ තීරු බදු සහ මැද පෙරදිග යුද තත්ත්වය නිසා අප තවත් අභියෝග රැසකට මුහුණ දී සිටිනවා. එබැවින් වේගවත් ආර්ථික වර්ධනයක් සඳහා ඉක්මනින් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි.
ජාතික ජන බලවේගයේ ආර්ථික වැඩ පිළිවෙළ ලෙස දැනට පෙනෙන්නට තිබෙන්නේ පුරන් කුඹුරු අස්වැද්දීම, වගා නොකළ ඉඩම් වගා කිරීම වැනි කටයුතු ය. මේවා කිරීමෙන් රටට විශාල ආර්ථික වර්ධනයක් ලබාගත නොහැකි ය.
මෙම ඉඩම් ඒවායේ හිමිකරුවන් විසින් වගා නොකරන්නේ ඒවායින් ප්‍රමාණවත් ආදායමක් ලබාගත නොහැකි නිසා ය. උදාහරණයක් ලෙස මාතර වැනි ප්‍රදේශවල ගොවියන් කියන්නේ ඔවුන්ට කුඹුරු අක්කරයක් සී සා ලියදි බැඳ වගාවට සකස් කිරීම සඳහා අක්කරයකට රුපියල් ලක්ෂ එකහමාරක් වියදම් වන බව යි. මේ ප්‍රදශයේ කුඹුරු අක්කරයකින් බලාපොරොත්තු විය හැකි අස්වැන්න කිලෝ 1200 ක් පමණ ය. එයින් ලබන ආදායමෙන් ගොවීන්ගේ වියදම් පියවා ගැනීමවත් කළ නොහැකි ය. වගා නොකළ අනෙක් ඉඩම් සම්බන්ධයෙන් ද තත්ත්වය ඒ හා සමාන යි.
මෙබඳු සිල්ලර වැඩ කිරීමේ රටේ වේගවත් ආරථික සංවර්ධනයක් ඇති කළ නොහැකි ය.
ජනතාවගෙන් විරෝධය
රටේ වේගවත් ආර්ථික සංවර්ධනයක් සඳහා දේශීය ආයෝජන දිරි ගැන්වීමත් විදේශ ආයෝජන ලබා ගැනීමත් කළ යුතුව ඇත. ඒ සඳහා වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ආණ්ඩුවට මෙතෙක් හැකි වී නැත.
ආර්ථිකය වේගවත් ලෙස වර්ධනය නොකර ජනතාවගේ දරිද්‍රතාවය අඩු කර නොහැකි ය. ජනතාව පෙලන පීඩාවන්ගෙන් ඔවුන් මුදාගත නොහැකි ය. ප්‍රතිඵලය වන්නේ ජතතා විරෝධය රජයට එරෙහිව එල්ලවීම යි.
එබැවින් රට හදන වැඩ ක්‍රියාත්මක නොකර පක්ෂය හදන්නට යෑමෙන් දේශපාලන බලය වර්ධනය වන්නේ නැත. සිදුවන්නේ බලය තවත් දුර්වල වීම යි.
පලාත්පාලන මැතිවරණ ප්‍රතිපලයේ දී ඡන්ද ලක්ෂ 23 ක් අහිමි වීමෙන් ආණ්ඩුව මෙම පාඩම ඉගෙන ගත යුතුව තිබිණි.
ඉගෙන ගත යුතු පාඩම්
ජනතාවගේ පීඩාවන්ට විසඳුම් නොලැබෙන විට දැවැන්ත පක්ෂ ඇද වැටෙන බව සෝවියට් දේශයේ සහ නැගෙනහිර යුරෝපයේ ද අත්දැකීම යි. මෙරට දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවට අත් වූ ඉරණම මගින් ද පෙන්නුම් කරන්නේ එම කරණය යි.
මෙම කරුණු තේරුම් ගෙන රටේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළහොත් මාලිමා ආණ්ඩුවත් , රටත් ගොඩ යනු ඇත. එසේ නොවුණහොත් රටට ද විනාශයක් අත්වීමත් මාලිමා ආණ්ඩුවේ බලය බිඳ වැටීමත් සිදුවනු ඇත.
මෙම යථාර්ථය තේරුම් ගෙන ක්‍රියා කිරීමට අවශ්‍ය බුද්ධිමය හැකියාව මාලිමා ආණ්ඩුවට තිබේද යන්න ගැටලුවකි.