අසත්‍ය තොරතුරු පැතිරවීම පිළිබඳව මුජිබර්, පෝද්දලගෙන් මිලියන 50ක වන්දි ඉල්ලයි

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන පෝද්දල ජයන්ත මහතා තමන් පිළිබඳව ඔප්පු කිරීමට  කිසිදු සාක්ෂියක් නොමැති චෝදනාවක් ෆේස්බුක් පෝස්ට් එකක් හරහා ඉදිරිපත් කිරීම සම්බන්ධව දැඩි විරෝධය ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (30) තමන්ගේ නිල Facebook පිටුව හරහා සජීවීව වීඩියෝවක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය 19 වැනිදා “කොළඹ රථ ගාල්වලින් “මුජුබර්ගේ” Sadid Enterprise නගර සභාවට නොගෙවා පැහැර හැර ඇති මුදල රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයයි” යනුවෙන් මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා විසින් අදාල පෝස්ටුවක් පළ කර තිබුණි.

ඒ පිළිබඳව කණගාටුව පළ කරමින් මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේ, තමන්ට කොළඹ නගර සභාවට ගෙවිය යුතු කිසිදු මුදලක් නොමැති බවත්  කොළඹ නගර සභාව සමඟ තමාගේ හෝ තම ඥාතීන් කිසිවෙකුගේ වෙළඳ ගනුදෙනුවක් ද නොමැති බවයි.

මීට පෙරද  තමන්ට අපහාස කළ පුද්ගලයෙකුට එරෙහිව 2023 නොවැම්බර් මාසයේදී දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළ බවත් එයට අදාලව රුපියල් මිලියන 500ක දඩයක් නියම වූ නඩු තීන්දුවක් ද ලබාගෙන ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර තිබේ.

තමන්ට සිදු කළ අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතාට එරෙහිව මිලියන 50ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක්ද යොමු කළ බව මුජිබර් රහුමාන් මහතා ඒම වීඩියෝව මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ සම්බන්ධව පෝද්දල ජයන්ත මහතා ප්‍රථිචාර දක්වමින් පවසා ඇත්තේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ගැන පලකර ඇති ප්‍රවෘත්තියේ (පෝස්ටුවේ) මූලාශ්‍රයන් හි ගැටළු තිබෙන බව තමන් පිළිගන්නා බවත්, මෙම ප්‍රවෘත්තිය ආශ්‍රයෙන් යම් සිත් තැවුලක් අපහසුතාවක් ඇති වූයේ නම්, ඊට බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවයි.

පෝද්දල ජයන්ත මහතා තව දුරටත් ප්‍රකාශ කරන්නේ, මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා පිළිබඳ පළකළ ප්‍රවෘත්තිය නිවැරදි නොවන බව දැන ගත් පළමු අවස්ථාවේම එය නිවැරදි කිරීමක් ලෙස ඔහු එහි අසත්‍යතාව අවධාරණය කරන ප්‍රකාශයක් , පළමු පෝස්ට්ටුවට ලබාදුන් ප්‍රමුඛත්වයම ලබාදෙමින් පැය තිහකට ආසන්න කාලයක් ප්‍රසිද්ධ කළ බවත්, වැඩිමනක් වශයෙන් එකී නිවැරදි නොවන ප්‍රවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා වෙත මාගේ “බලවත් කණගාටුව” නැවත ප්‍රකාශ කරන බව සදහන් කරයි.

මේ සම්බන්ධව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට පහත ලින්කුව ඔස්සේ සම්බන්ධ විය හැක.

https://www.facebook.com/mujiburrahmanmpofficial/videos/700329106196868/

Social Sharing

නවතම පුවත්