ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැඩ තහනම් කරයි..!

පළාත් සභාවට අයත් වාහන ටෙන්ඩර් සිදුවීමකට අදාළව රූපවාහිනී නාලිකාවකට අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාව මත ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩ තහනමකට ලක්කර තිබේ.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ. ජයලත් මහතා විසින් 2025.06.06 දිනැති ලිපිය මගින් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට චෝදනා සමග වැඩ තහනම දැනුම් දී ඇත.

ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරන අතර, වසර කිහිපයක සිට ලංකා ගුරු සංගමයේ සභාපති ධූරය හොබවයි. ඒමෙන්ම ඔහු,  “අපි පුරවැසියෝ” සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක ප්‍රබල ක්‍රියාකරුවෙකු ලෙස ද ඔහු කටයුතු කරයි.

වෘත්තීය සමිති කටයුතු සඳහා 2025.02.01 දින සිට 2026.01.31 දින දක්වා නිදහස් කාලයක් ලබා දී තිබියදී, එයින් පරිබාහිරව, “අපි පුරවැසියෝ” සංවිධානයේ කැඳවුම්කරු ලෙස තමන් හඳුන්වා දෙමින්, මැයි මස 30 වැනි දින රූපවාහිනී නාලිකාවකට අසත්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා කර ඇත.

මේ සම්බන්ධව අයිතිය වෙත අදහස් දැක්වූ ප්‍රියාන්ත ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මෙය නීති විරෝධී වැඩ තහනම් කිරීමක් බවත්, ඊට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීම සදහා කටයුතු කරමින් සිටින බව පැවසීය. එමෙන්ම,  මෙම ලිපිය මගින් තම මූලික අයිතිවාසිකම් උල්ලඝණය වී ඇති බවත්, ඒ් සදහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට ද සැලසුම් කර ඇති බවත් ප්‍රකාශ කරන ලදී.

 

Social Sharing

නවතම පුවත්