රණවිරුවාට රණවිරුවා කිව්වාම මොකද? – අජිත් පැරකුම් ජයසිංහ

මං හිටියෙ හිරු කණ්ඩායමේ. හිරු කණ්ඩායම කියන්නෙ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වෙනස් ස්ථාවරයක් අරගනිමින් ජවිපෙන් වෙන් වුණ කණ්ඩායමක්.

අපි හිටිය ස්ථාවරය වුණේ ස්වයං නිර්ණ අයිතිය සඳහා දෙමළ අරගලය විමුක්ති අරගලයක්ය කියන ස්ථාවරය. ලංකාවේ දෙමළ ජනයා තමන් වෙනම ජාතියක් බව සිතමින්, ජාතියට රටක් කියන පදනමින් දෙමළ ඊලාම් වෙනුවෙන් කරපු අරගලය සාධාරණයි කියන එකයි අපේ අදහස වුණේ. කොළඹ කේන්ද්‍රීය සිංහල මූලික රාජ්‍යය අර්බුදයට යමින් සිටියදී, දෙමළ ඊලාම් කොටි සංවිධානය සෙසු සටන්කාමී බලවේග පසුබස්වා බලය තහවුරු කරගෙන කේවල් කිරීමේ උසස් හැකියාවක් අත්කරගෙනයි හිටියෙ.

සටන් විරාම ඔස්සේ අපි උත්සාහ කළේ, රජය හා කොටි සංවිධානය අතර බලය බෙදාගැනීමේ සම්මුතියක් නිර්මාණය කරන්නටයි. එය දෙපැත්තටම වින් වින් තත්වයක්.

එහෙත්, දෙමළ ජාතිකවාදීන්ට මෙන්ම සිංහල ජාතිකවාදීන්ටත් අවශ්‍ය වුණේ සතුරා යටපත් කරගත් පූර්ණ ජයග්‍රහණයක්. වඩා දුර්වල පාර්ශ්වය වූ දෙමළ පාර්ශ්වයවත් අතරමග සම්මුතියකට කැමති වුණේ නැහැ. සටන් විරාමයත්, සාකච්ඡාත් කඩාකප්පල් වුණේ එහෙමයි.

යුද්දෙන් දෙමළ පාර්ශ්වය පරාජය වුණා. දෙමළ ඊලම ඉතිහාසයේ බොහෝ ඈතට පසුබැස්සා. ඒ එක්ක නිර්මාණය වුණ සුසමාදර්ශීය වෙනස විග්‍රහ කරගන්න එක වැදගත්. නැවත තහවුරු වුණේ තිබුණාටත් වඩා ගැඹුරු සිංහල-බෞද්ධ ආධිපත්‍යයක්.

රණවිරුවා කියන සංකල්පය නිර්මාණය වෙන්නෙ මේ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ආධිපත්‍යයෙන් යුත් කතිකාව ඇතුළෙ. තවමත් අපි කැරකෙන්නෙ ඒ කතිකාව ඇතුළෙ. ඒක විනාශ කරන්නට හදපු හැම උත්සාහයක්ම නැවත නැවත පරදින්නට නියමිතයි. ඒ තරමට ඒ අධිපතිවාදය තහවුරු වෙලා ඉවරයි. එයට හේතුව තමයි යුද ජයග්‍රහණය.

යුද ජයග්‍රහණය සමරන ගමන් රණවිරුවා කියන වචනය භාවිතා නොකර ඉන්නට බැහැ.

රණවිරුවන්, මහවිරුවන්, ඉල්මහ විරුවන්, අප්‍රේල් විරුවන් කවුරුත් එක් එක් සංදර්භය තුළ විරුවන්. ඔබ ඉන්නෙ සිංහල-බෞද්ධ ආධිපත්‍යය පිළිගන්නා සංදර්භයක් තුළ නම්, කතා කරලා වැඩක් නැහැ, එතන ඉන්නෙ රණවිරුවන්. සොල්දාදුවන් කියා ඔවුන් හෑල්ලු කරන්නට යාම මහවිරුවන්ට ත්‍රස්තවාදීන් කියනවා හා සමානයි. ඒ සංදර්භය තුළ ඒක ප්‍රකෝපකාරීයි.

මේ සම්බන්ධ වීඩියෝව පහත. යූටියුබ්වලට ආධුනිකයි. අදහසක් දක්වන්න. සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න.

Praja.lk

Social Sharing
අවකාශය නවතම පුවත්