“මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩපිළිවෙළ” අතීසාරයට අමුඩේ ගැසීමක්..!

රථ වාහන අනතුරු අඩු කිරීම සඳහා ප්‍රවාහණ අමාත්‍ය බිමල් රත්නායක ඊයේ අතීසාරයට අමුඩේ ගැහුවා. ඒත් ඒක “මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩපිළිවෙළ” කියලයි නම්කර තිබුණේ.

අදාළ මාධ්‍ය හමුව ආරම්භයේදී ඔහුම කියනවා, දැනට සමහර ක්‍රියාමාර්ග පැවතියත් ඒවා Implement වෙන්න නැහැ කියලා. එනිසා “අයියෝ ඕවා මොනවාද” කියලා අහයි කියලත් එතුමාම කියනවා.

ඇත්තටම එහෙම අහන්න වෙනවා තමයි. මොකද අමාත්‍යවරයාම කියන විදියට මෙකී යෝජනා බොහොමයක් පසුගිය නොවැම්බර් මාසේ සිට ක්‍රියාත්මක කරලා.

ඒත් මේ මාධ්‍ය හමුවෙදිම රථ වාහන භාර නියෝජය පොලිස්පති ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වසරේ මේ දක්වා (මැයි 20) මාරක අනතුරු 958 කින් 1021 ක් මිය ගිහින්. පසුගිය වසරේ එකී කාලය තුළ අනතුරු 905 කින් මිය ගොස් ඇති ගණන 944 ක්.

ඒ කියන්නේ පහුගිය නොවැබර් සිට ආණ්ඩුව ක්‍රියාත්මක කළා යැයි කියන යෝජනාවලින් කිසිදු සුගතියක් වෙලා නැහැ. අනතුරු තිබුණු ගණනටත් වඩා ඉහළ ගිහින්.

එනිසයි මා කියන්නේ අතීසාරයට අමුඩ නොගසා අතීසාරය වළක්වා ගැනීමයි කළ යුත්තේ කියලා. වැඩපිළිවෙලට ක්‍රියාමාර්ග 85 ක් ඇතුලත් බව මාධ්‍ය හමුවෙදි කියවුණා. එහි ප්‍රකාශ වූ දේවල් බොහොමයක්ම අන්තුරු පාලනය කර ගැනීමට වඩා අනතුරු සිදුවුන පසුව කරන දේවල්.

මගේ නම් අදහස අවශ්‍යයම කරුණු දෙක ගැන අවධානය යොමුවුනේම නැහැ. ලංකාවේ අනතුරුවලින් 90% කටම හේතුව රිය පැදවීම (Driving) පිළිබඳ ගැටළුව. අනෙක් එක, මාර්ග පද්ධතිය සහ එහි වේග සීමා, සංඥා ආදියේ තිබෙන අඩුපාඩු. බිමල් ප්‍රවාහණ ඇමති වුනත් මාර්ග ගැන නම් ඊයේ ඔහුගෙන් කිසිදු ප්‍රමාණාත්මක අදහසක් පළ වුනේ නැහැ.

ලංකාවේ රියදුරු බලපත්‍රය දෙන තැනින් වැඩේ පටන් ගත යුතුයි. නීතියට අනුගතව, නියම විනයගරුක රියදුරන් බිහි කළ හැක්කේ එතැනින්.

බටහිර රටක, ඇමෙරිකාවේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ ආදී රටවල විවිධ දේශගුණ බාධක මැද්දේ වුනත් රියදුරන් අවම අනතුරු සහිතව රිය පදවන්නේ ඔය රියදුරු බලපත්‍රය නියමාකාරයට දෙන නිසා. ඒ කියන්නේ වාහනයක් පැදවීමට හැකිවූ පමණින්ම ලයිසන් ගන්න බැහැ. එය ඇතැම් විට වීසා එකක් ගන්නවාටත් වඩා අමාරු වැඩක්.

විදෙස්ගත ලාංකිකයෙක් ලංකාවට දැන් කියන දේ තමයි “ලංකාවේ නම් වාහන පදවන්න භයයි” කියන එක. ඒකෙන්ම මේ වෙනස තේරුම් ගන්න පුළුවන්.

කොහොම හරි රියදුරු බලපත්‍රය ගැන ඊයේ ඇමති කිව්වේ ලයිසන් කාඩ් එක ඩිජිටල් කරනවා කියලා විතරයි. ඒකෙන් අනතුරු අඩුකරන්න බෑ ඇමතිතුමා! එතනින් නියම රියදුරන් හදන වැඩේ පටන් ගන්න.

ඔය කියන ජාතික වැඩපිළිවෙලේ මහා පෙළහරක් හෝ පෙරදැක්මක් නොතිබූ අතර තිබුණේ පරණ දේවල්ම තමයි. ඒත් ඒ ටික හරි නියමාකාරව ක්‍රියාත්මක වුනොත් වටිනවා.

(රිය අන්තුරුවලින් සත්තු වගේ මිනිස්සු මැරෙන හැටි දකින කොට දැනෙන වේදනාවත් මේ ගැන කලිනුත් ලියා ඇති නිසාත් සම්පූර්ණ මාධ්‍ය හමුවම බැලුවා.)

මහින්ද රුබසිංහ

Social Sharing
නවතම පුවත්