කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පළවෙනි අදියරේ පිහිටා තිබූ ඉතා පැරණි සහ 1500 කට වැඩි සේවක සංඛ්‍යාවක් රැකියා කළ නෙක්ස් මැනුෆැක්චරින් ආයතනය අද දින සවස හයෙන් පසුව වසා දමා සීල් තබා ඇති බව සේවකයන් වෙත දන්වා ඇත්තේ කිසිදු පෙර දැනුම් දීමකින් තොරවය.
මෙය ඉතා අසාධාරණ මෙන්ම අසාරණ ක්‍රියාවක් බවත් අද සවස හය වනතුරුත් සේවකයින් සේවය කර ඇති අතර පසුගිය සතියේමත් රාත්‍රිය 8 – 9 වනතුරුත් ,ඒ වගේම පසුගිය ඉරුදිනත් අඛණ්ඩ සේවයකයන් සේවයේ නියැළී ඇති අතර ඒ වගේම ඊයේ දිනයේ (19) දිනත් සවස හය දක්වා සේවකයෝ සේවය කර ඇති බවත් කියමින් සේවකයෝ මැසිවිලි නගන්නේ තමා වසර ගණනාවක් සේවය කරන මෙම ආයතනය හිටිහැටියේ මෙලෙස වසා දමයි කියන බිය කෙසේවත් තමන් තුළ නොතිබූ බවයි.
ලෝකයේ ප්රමුඛ පෙළේ සන්නාමයක් වන next ළමා ඇඳුම් නිෂ්පාදනයෙහි යෙදෙන අතර එම නිෂ්පාදන අපනයනය කරනු ලබන්නේ එක්සත් රාජධානියේ පිහිටි ඔවුන්ගේ මව් සමාගම වෙත බවද සේවකයෝ සඳහන් කරයි.
ඊයේ දිනයේ සේවය නිමාකර සිය නවාතැන්පළ වෙත ගිය සේවකයෝ වෙනදා මෙන්ම පසුදින සේවයට යෑම සඳහා සූදානමින් සිටියත් රාත්‍රී අටට පමණ ඔවුන්ට වටස්ඇප් (Whatsapp) මගින් ආයතනයෙන් ලිපියක් ලැබුණේ හෙට දින සිට ආයතනය සම්පූර්ණයෙන්ම වසා දමා සීල් කර ඇති බවටයි.
එම අකාරුණික හදිසි පණිවුඩයත් සමඟ සේවක සේවිකාවන් දැඩි ලෙස අපහසුතාවයට පත් වූ අතර සමහරුන්ගේ රෝගී තත්ත්වයන්ද උත්සන්න වී ඇති බව වාර්තා වේ.
මෙම අවස්ථාවේ එක්සේවිකාවක් හැඬූ කඳුළින් පවසා ඇත්තේ,
” පොතේ සන්තකයටම තිබුණේ රුපියල් හාරදාහයි. අනිද්දා ඇඩ්වාන්ස් දෙන නිසා අද ඒකෙන් දෙදහස් පන්සීයක් අරන් බඩු ටිකක් ගෙනාවා. හෙට උදේට දරුවන්ට උයලා තියලා යන්න කුකුල් මස් 250කුත් ගෙනාවා. අද ඇඩ්වාන්ස් ෆෝම් හිටං පිරෙව්වා. ඉතින් කොහොමද අපි හිතා ගන්නේ හෙට ඉඳලා ජීවත් වෙන්නේ කොහොමද රස්සාව නෑ කියලා හිතන්නේ කොහොමද දරුවෝ දෙන්න ජීවත් කරන්නේ කොහොමද මම තනියම ජීවත් වෙන අම්මා කෙනෙක් මට යන්න එන්න තැනක් නෑ. හෙට ඉඳලා කොහොමද ජීවිතේට මුණ දෙන්න කියලා හිතා ගන්න බැරුවයි මම ඉන්නේ. අපි ඔච්චර ආදරේ කරපු ආයතනය ඇයි අපිට මේ වගේ කුරිරු අසාධාරණකමක් කරේ ආයතනයට අපි වැරැද්දක් කළේ නැහැ. උදේ වැඩට ගියාම රාත්‍රියට වැඩ ඉවර කරනකම්ම වහලියෝ වගේ වැඩ කළා. අඩුම තරමේ අපිට කලින් දැනුම් දීලා වත් තිබ්බනම් මෙහෙම ආයතනය වහනවා කියලා අපි කොහෙන් හරි රැකියාවක් හොයාගන්නවා. එහෙමවත් කළේ නැත්තේ අපි එක්ක තියෙන මොනතරහකටද? ආයතනය මෙහෙම කළේ. මේක නම් හරිම අසාධාරණයි”