ගැරඬිඇල්ල බස් අනතුරෙන් අකාලයේ වැනසුණු මිනිස් ජීවිත ගැන කණගාටුය. කුමන හෝ හේතුවක් මත මිනිස් ජීවිතවල කිසිදු වටිනාකමක් නොදැනෙන, ඝාතනය ජීවිතයේ දෛනික අංගයක් බවට පත් වූ වර්ධනය වන අරාජිකත්වයක් මැදට අප ඇද වැටී ඇත.
ආණ්ඩුව පුද්ගල සංදර්ශන නවතා සිස්ටම් හදන්නට/ වෙනස් කරන්නට කටයුතු කළ යුතුය. ඔවුන්ට ජනවරමක් ලැබුණේ ඒ වෙනුවෙන්ය. එහෙත්, ගත වූ මාස හත තුළ සිදු කළ යමක් තිබේද?
ඊයේ බස් අනතුරට හේතුව පද්ධති දෝෂයි. මේ සියල්ල පසුපස දේශපාලන ප්‍රශ්නයක් ඇත.
- ලංගම/ ප්‍රයිවෙට් කියා වෙනසක් නැත. බස් සේවකයන්ට විනයක් නැත.
- මිනිස් ජීවිතවල වටිනාකම ගැන තබා බොහෝ බස් සේවකයන්ට තමන්ගේ, තම පවුලේ ජීවිතවල හෝ වටිනාකම ගැන අවබෝධයක් නැත.
- පෞද්ගලික බස් මුදලාලිලාට මෙන්ම ලංගමට ද අවශ්‍ය සල්ලි හොයන්නටය. සේවය ගැන හැඟීමක් කිසිවකුට නැත.
- මාර්ග නීති ගැන අධ්‍යාපනයේ මට්ටම කෙතරම්ද යත්, පාරේ පයින් යන විට යා යුත්තේ දකුණු පැත්තෙන් බවවත් අවබෝධ කරදීමට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අසමත්ය.
- සමාජය අධික ලෙස සල්ලි පසුපස ධාවනයකට ඇද වැටී ඇත. අනවශ්‍ය පරිදි ගමන් බිමන්, ට්‍රිප් යාම ද මේ පාරිභෝජනවාදී උන්මාදයේ ලක්ෂණයකි. ආර්ථිකය පදනම් වන්නේ මෙම පාරිභෝජනවාදය මත රජය උපයන ආදායම් මත බැවින් ආණ්ඩු මෙය තව තවත් දිරිගන්වයි. ධනේශ්වර ක්‍රමය වෙනස් කරන්නට පැමිණි අය ද එය හැර අන් විකල්පයක් නොමැතිය යන තත්වයට ඇද වැටී ඇත. ඔවුන්ට ක්රමයේ ගැටලුව ගැන කිසිදු ගැඹුරු දැක්මක් නැත.
- බස් සේවකයන්ගේ අධිවේගයට බස් මගීන්ගේ ද දිරිගැන්වීම් තිබෙන බව අමතක නොකළ යුතුය. මෙය සමාජ ප්රශ්නයකි. මුළු මහත් සමාජයම කුණු වී ඇත. ජනතාවට මග පෙන්වන නායකත්වයක් අවශ්‍ය එම නිසාය. ජනතාව පසුපස යන නායකයන්ට සමාජය වෙනස් කළ නොහැකිය.
Praja.lk