ජනතාව ඉල්ලා සිටින අයුරින් හොරු ඇල්ලීම, ප්‍රමාද වීමට හේතු දක්වන ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය පරිද්දෙන් පොලිසියේ ස්ථාන මාරු සිදු නොකිරීම ගැන පොලිස් සේවය නිර්දේශපාලනීකරණය බාර ස්වාධීන කොමිසමට රතු එළියක් දක්වා තිබේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ සැනින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ගැන දන්නා නිලධාරීන් සිය ගණනක් මාරු කර යැවීම ජනාධිපති අනුර කුමාර දිසානායක දක්වන හේතුවකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරණ පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු දන්නා නිලධාරීන් යළි එම දෙපාර්තමේන්තුවට කැදවීමට අවශ්‍ය වු නමුත් එයට පොලිස් කොමිසමෙන් ‘අදි මදි වීම්’ සිදු වු බව පවසන ජනාධිපතිවරයා කියා සිටියේ එම කොමිසම ගැන තමන්ද සිටින්නේ අදිමදියට බවයි.
පොලිස් සේවයේ සියලූ පත්වීම්, උසස්වීම්, ස්ථාන මාරු දේශපාලනීකරණයෙන් තොරව සිදු කිරීම සඳහා පොලිස් කොමිසමට බලය ලබාදෙන බව අනුර කුමාර දිසානායක ගේ ‘පොහොසත් රටක්’ මැතිවරණ ප්‍රකාශය පොරොන්දු දී තිබුණි.
“දැන් අපිට ඕන විදිහට පොලිසියේ මාරු කිරීම් කරන්න බෑ. ඒකට තියනවා පොලිස් කොමිසමක්. කොමිසමෙන් ඒ මාරු කිරීම් ටික කරන්න ඕන. සමහර ඒවට කොමිසම අදි මදි කරලා තියනවා. ඒ කොමිසම ගැන මමත් ඉන්නේ ටිකක් අදිමදියට තමයි. කොමිසමේ මහත්තුරුන්ට කියන්නේ,” යි ජනාධිපතිවරයා කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ ජනවාරි 19 වැනි ඉරිදා පැවති ජන හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මෙම අනතුරු ඇගවීම සිදු කර තිබුනේ, බස්නාහිර පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් 17 දෙනකු මාරුකිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කර ඇති ඉල්ලීමට තවදුරටත් හේතු දක්වමින් වැඩිදුර විස්තර ලබා දෙන්නැයි ජාතික පොලිස් කොමිසම වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබියදීය.
ජාතික පොලිස් කොමිසමට යවන ලද පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ලැයිස්තුව අනුව 17 දෙනකු පොලිසියේ ‘සාමාන්‍ය රාජකාරි’ සඳහා මාරු කිරීමට ඉල්ලීම් කර තිබු බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුව නිර්දේශපාලනීකරණය කිරීම මුලික අරමුණු කරගනිමින් පිහිටවු ජාතික පොලිස් කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය යටතේ, පොලිස්පතිවරයා හැර අනෙකුත් පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් ද පුළුල් බලතල තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 19 වැනිදා වැඩි දුරටත් පවසා තිබුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිලධාරීන් මාරු කරගැනීම සදහා පොලිස් කොමිසමෙන් ඉල්ලීම් කරන්නේ ජනතාව දෙන ලද ජන වරම ඉටු කිරීමේ අරමුණින් බවයි.
“මේ කිසිදු මාරුවීමක් අපි ඉල්ලා සිටින්නේ අපේ පුද්ගලික ආරක්ෂාව සදහා නෙමෙයි. පුද්ගලික ව්‍යාපාරයක් සදහා නෙමෙයි. අපි මේ මාරුවීම් ඉල්ලා සිටින්නේ ජනතාවට දෙන ලද ජන වරම ඉටු කිරීමේ අරමුණින්. ඒ හින්දා ඒ මාරුවීම් ටික කොමිසම සාධාරණව කරලා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් ප්‍රමාණයකට නිසි පරිදි ස්ථානගත කර ඇති බව පවසන ජනාධිපති අනුර කුමාර දිසානායක එම දක්ෂ නිලධාරීන් මේ වන විටත් වැඩ අරඹා ඇති බව එහිදි සදහන් කර තිබුනි.
“දැන් යම් ප්‍රමාණයක් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි පරිදි ස්ථානගත කරලා තියනවා. දක්ෂ, අවංක හැකියාව තියන නිලධාරීන්ගෙන්. ඔවුන් දැන් වැඩ ටික පටන් අරගෙන තියනවා.”
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක සභාපතිත්වය දරන ජාතික පොලිස් කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමලත් අමාත්‍යාංශ ලේකම් ඩී කේ රේණුකා ඒකනායක, විශ්‍රාමලත් දිස්ත්‍රික්ක ලේකම් කනපතිපිල්ලේ කරුණාහරන්, නීතිඥ දිල්ෂාන් කපිල ජයසූරිය, ජනාධිපති නීතිඥ ඒ.ඒ.එම්. ඉල්ලියාස් හා විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ජයසිංහ ය.
theleader.lk