ඔක්තෝබර් 01 වැනිදා එල්ල වූ ඉරාන බැලැස්ටික් මිසයිල ප්‍රහාරයට පළිගැනීමක් ලෙස, ඊශ්‍රායල් ගුවන් හමුදාව සෙනසුරාදා (26දා) අලුයම් කාලයේ ඉරානයේ හමුදා ඉලක්ක වෙත දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
ඊශ්‍රායල් ගුවන්යානා කිලෝමීටර් 1600ක දුරක් පියාසර කරමින් ඉරාන ගුවන් සීමාවට ඇතුළුවී මෙම ප්‍රහාර දියත් කර තිබිණි. මේ සඳහා ප්‍රහාරක යානා සියයක් යොදාගෙන තිබිණි. ඉරාන බලධාරීන් පවසන්නේ මේ ගුවන් ප්‍රහාර නිසා හමුදා භටයන් සිව්දෙනකු මියගිය බවයි.
ඊශ්‍රායල් ගුවන් හමුදාව මගින් ඉරාන බැලැස්ටික් මිසයිල මධ්‍යස්ථාන මෙන්ම ඒවා නිෂ්පාදනය කරන කඳවුරුවලට ද ප්‍රහාර එල්ල කර තිබේ. එසේම මේ ගුවන් ප්‍රහාර ඉරානය සතු රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතියට ද එල්ලවී තිබේ.
කෙසේ නමුත් ඊශ්‍රායලය ඉරාන බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථාන හෝ ගබඩා ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කර නැත. ඇමරිකාව පවා ඉරාන තෙල් මධ්‍යස්ථාන ඉලක්ක කර නොගන්නා ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබිණි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම මැදපෙරදිග සාමය හා ආරක්ෂාව තවදුරටත් බිඳ දැමීමක් බව ප්‍රකාශ කරමින් මැදපෙරදිග අරාබි රටවල් ඇතුළුව රටවල් රැසක් එම ප්‍රහාරය හෙළා දැක ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම ප්‍රහාරය ඉරානයේ ස්වෛරීභාවය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත්, එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත් කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති අතර, වහාම සාම සාකච්ඡා ආරම්භ කර ගැටුම් නැවැත්වීමට පියවර ගන්නා ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කර තිබේ.
මැද පෙරදිග කලාපයේ ස්ථාවරත්වයට සහ ආරක්ෂාවට තර්ජනයක් වන සියලු ක්‍රියාකාරකම් හෙළා දකින බව ඊජිප්තුව ප්‍රකාශ කර ඇති අතර, ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලීම වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින බව ද සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මේ අතර ඊශ්‍රායල ප්‍රහාරය දැඩි ලෙස විවේචනය කරමින් තුර්කිය ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරමින් බටහිර ඉවුර ඈදා ගැනීමට ඊශ්‍රායලය උත්සාහ කරන බවය. ඉරානයට එල්ල කළ ප්‍රහාරයත් සමඟ මැදපෙරදිග කලාපය පුළුල් යුද්ධයක් අද්දරට පැමිණ ඇතැයි ද තුර්කිය සඳහන් කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, සිරියාව, පාකිස්තානය, මැලේසියාව, රුසියාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ප්‍රංශය ද ඊශ්‍රායලයේ ඉරාන ප්‍රහාරය සම්බන්ධව ප්‍රකාශ නිකුත් කර තිබේ.
ලොව සියලුම රටවල් ගෝලීය වශයෙන් බරපතළ අභියෝග රැසකට මුහුණපා සිටින මේ මොහොතේ සාමය සඳහා ස්ථාවර බලවේගයක් ලෙස ගාසා තීරයට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට බලපෑම් කළ යුතු බවත් සහ ලෙබනනයේ ගැටුම් වැළැක්වීමට පියවර ගත යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං ‘බ්‍රික්ස්‘ සමුළුවේදී ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමරිකානු ජනපති ජෝ බයිඩන් පවසා ඇත්තේ මේ ප්‍රහාරයෙන් පසු නැවත ඉරාන – ඊශ්‍රායල ගැටුමක් ඇති නොවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි. එසේම ඊශ්‍රායල ගුවන් හමුදාව, හමුදා ඉලක්ක වෙත පමණක් පහර දී ඇති බවත් ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.