ජනවාර්ගික සංහිඳියාව නව ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතාවය විය යුතුය – NPC

ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අවසන් වන විට අවධානය යොමුකළ යුතුව ඇත්තේ මැතිවරණ තරගයේ සිට රට මුහුණදෙන හදිසි අභියෝග කෙරෙහිය. මැතිවරණ ප්‍රතිඵලය තවමත් අවිනිශ්චිතය. කෙසේවෙතත් නිශ්චිත කාරණය වන්නේ, ආර්ථික අස්ථාවරත්වය සහ වැරදිකරුවන් දඬුවමින් මිදී සිටීම සහ දූෂණය පිළිබඳ ගැඹුරින් මුල් බැසගත් ගැටලු සමඟ පොරබදමින් සිටින රටක් මීළඟ ජනාධිපතිවරයාට උරුම වනු ඇති බවයි. ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවේ පෙරමුණේම තිබිය යුතු ප්‍රධාන අභියෝගයක් වන්නේ බලය බෙදීම මත පදනම් වූ තිරසාර දේශපාලන විසඳුමක් හරහා දීර්ඝ කාලීන ජනවාර්ගික ගැටුම විසඳීමේ අවශ්‍යතාවයි. රට තුළ තිරසාර සාමයක් සහ සමගියක් ඇති කිරීමට නව ජනාධිපතිවරයා මෙම ප්‍රශ්නයට ප්‍රමුඛත්වය ලබාදිය යුතුය.

නිදහසින් පසු, බහු වාර්ගික සමාජයක් සාධාරණත්වය සහ සියලුදෙනා ඒකාබද්ධ වන ආකාරයෙන් පාලනය කිරීමට අසමත් වීම දශක ගණනාවක යුද්ධයට හා ත්‍රස්තවාදයට හේතු වී තිබිණි. මෙම බෙදීම් විසින් රටේ ආර්ථික හා මානව සම්පත හානියට පත්කර ඇති අතර, ඉදිරියට යෑමට බාධා කරන කැළැල් ඉතිරි කර ඇත. එබැවින් විශ්වාසය යළි ගොඩනඟා ගැනීමට සහ ජාතිකත්වය පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීමට සියලු ප්‍රජාවන්ගේ අභිලාෂයන් පිළිගන්නා සැබෑ දේශපාලන විසඳුමක් අත්‍යවශ්‍ය වේ. දශක හතකට පෙර ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා සිට අසීරුතා රැසක් විඳදරාගත් මලයහ දෙමළ ප්‍රජාව ඕනෑම දේශපාලන විසඳුමකදී අත්නොහැර සිටීමට බලයට පත්වන ජනාධිපතිවරයා වගබලාගත යුතුය.

තරගයේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයන් තිදෙනාම විවිධාකාරයෙන් සිය හැකියාවන් ප්‍රදර්ශනය කරමින් නායකත්වය ලබාදීමට ඇති සිය ශක්‍යතාව හෙළිකර ඇත. කෙසේවෙතත්, රට ඉදිරියට ගෙනයෑමට නම්, ඔවුන් ජනවාර්ගික ගැටුම පසුපසට නොදමා, එය විසඳීමට කැපවිය යුතුය. මැතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළත් නව ජනාධිපතිවරයා නායකත්වය ප්‍රදර්ශනය කළ යුත්තේ පළාත්සභා බල ගැන්වීමේ සහ සුළුතර ප්‍රජාවන්ට සාධාරණ නියෝජනයක් සහතික කෙරෙන බලය බෙදාගැනීමේ වැඩපිළිවෙළක් ඉදිරියට ගෙනයමිනි. දේශපාලන ස්ථාවරත්වය සහ වාර්ගික සංහිඳියාව නොමැති නම්, රටට අත්‍යවශ්‍ය විදේශ ආයෝජන සහ අන්තර්ජාතික හවුල්කාරිත්වය ආකර්ෂණය කර ගැනීමට දිගටම අරගල කරන්නට සිදුවනු ඇත.

බලය බෙදීම, වගවීම සහ සියල්ලන් ඒකාබද්ධ කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන නව සමාජ ගිවිසුමක් සකස් කිරීම සඳහා මීළඟ ජනාධිපතිවරයා දේශපාලන, වාර්ගික සහ පන්ති රේඛාවන් හරහා ක්‍රියාකළ යුතුය. යුක්තිය, සමානාත්මතාව සහ කල්පවත්නා සාමය මගින් සනිටුහන් කරන ලද, රටේ ජනතාවට ලැබිය යුතු නිසි අනාගතය කරා ශ්‍රී ලංකාවට ගමන් කරවිය හැක්කේ එවිටය. රටේ අභියෝගවලට විසඳුම ඇත්තේ ආර්ථික ප්‍රතිසංස්කරණ තුළ පමණක් නොව, රටේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ අභිලාෂයන්ට ගරුකරන දේශපාලන රාමුවක් ගොඩනැගීම තුළය. බලය බෙදීම හරහා ජනවාර්ගික ගැටුම විසඳීමට කටයුතු කිරීම පාලනය පමණක් නොව ආර්ථිකයද ප්‍රකෘතිමත් වීමකි. අන්තර්ජාතික ප්‍රජාව සහ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් මෙම ප්‍රයත්නයට සහාය ලබාදිය යුතුය.

ජාතික සාම මණ්ඩලයේ මාධ්‍ය නිවේදනය

Social Sharing
නවතම පුවත්