වාදයකට පෙර දැනගත යුතු යථාර්ථය – ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධන

බාලගිරි දෝෂයෙන් පෙළෙන විවාදය

ජාතික ජන බලවේගය නැතහොත් ජා.ජ.බ. සහ සමගි ජන බලවේගය නැතහොත් ස.ජ.බ යන ප්‍රධාන විපක්ෂ දෙක, එකිනෙකා අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති අතුරෙන් කුමන ප්‍රතිපත්තිය ඥානාන්විත බවෙන් අග්‍රගණ්‍ය වේදැයි උරගා බැලීමට කැඳවා ඇති වාදය සම්බන්ධයෙන් එකඟතාවකට නොපැමිණ වෙනත් මත ඉදිරිපත් කරමින් සිටිති. බාලගිරි අද නොවේ හෙට කියන්නා සේ, තත්වය තවත් නරක අතට හරවමින් එම විවාදය දිනෙන් දින කල් යයි. හෙට දිනය කිසි දින උදා නොවන බැවින්, ඊට බාලගිරි දෝෂය වැළඳී ඇත්තා සේ ය.

දේශපාලන විවාදවලින් කිසිවෙක් ජය නොගනිති

අපේක්ෂකයන් එකිනෙකා සමග තරග වදින මැතිවරණ සමයක දී නම් එවැනි විවාද ප්‍රයෝජනවත් හා ඵලදායී බවෙන් යුක්තය. එමගින් ඡන්ද දායකයන්ට වඩා බුද්ධිමත් තීරණයක් ගන්නට ඉඩ සැලසෙන්නේ  නැවුම් මතයකින් හෙබි මනසකින් ඔවුන්ට ඡන්ද පොළ වෙත යා හැකි බැවිනි. උදාහරණයකට 1960 දී ජෝන් එෆ් කෙනඩි සහ රිචඩ් නික්සන් අතර පැවැත්වූ වට 4 කින් යුක්ත විවාදය නිසා, ජනාධිපතිවරණයේදී පුළුල් මනාප පරතරයක් ලැබගන්නට කෙනඩිට හැකිවී යයි වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් නැති නිසා යෝජිත විවාදය ඡන්දදායකයන් කෙරේ යම් බලපෑමක් ඇති කිරීමට කල් වැඩිය.

ඇරත් මේ විවාදවලින් ජය ලබන්නෙක් නොමැතිය. වාද කරන දෙදෙනාම පරාජිතයන් වනු ඇත. එකම ජයග්‍රාහකයා වනු ඇත්තේ, ඊට සහභාගී නොවන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපති අපේක්ෂාවයි. ඔහුගේ ප්‍රඥාව මෙහිදී පරීක්ෂා කර බැලෙන්නේ නැත.

එසේ වුවද මෙම පිළිමල් දේශපාලන පක්ෂ දෙකට ඔවුන්ගේ ශක්තිය වැය කොට ආර්ථික ගැටලුවේ සැබැ ස්වභාවය අධ්‍යයනය කිරීම වඩා ඵලදායී වන්නේය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ විට රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත්වන ජනාධිපති අපේක්ෂකයාට අභියෝග එල්ල කිරීම ඒ මගින් කළ හැකිය.

දේශපාලන නායකයන්ට මහ බැංකුවේ පණිවිඩය

මීට පූර්විකාවක් ලෙස ටික දිනකට පෙර මහ බැංකුවෙන් නිකුත් කළ 2023 වාර්ෂික ආර්ථික විවරණය ආරම්භක ලේඛනයක් වශයෙන් වැදගත් වනු ඇත. මහබැංකුව පවසා ඇති දෑ  සම්බන්ධයෙන් විචාරාත්මක ඇගයුමක් කිරීම රජය පාර්ශවයෙන් ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති පැකේජය තුළ ඉදිරිපත් කරනුයේ එය බැවිනි.

මෙකී වාර්තාවේ සාරාංශය ලෙස මහ බැංකුව ඉදිරිපත් කරන ගැටලුව පහත පරිදිය.

ඵලදායීතාව හා කාර්යක්ෂමතාව ඉහළ දැමීමේ අරමුණින් යුතුව අත්‍යවශ්‍ය ආයතනික හා ප්‍රතිපත්ති ප්‍රතිංස්කරණ අඛණ්ඩව ක්‍රියාවට නංවන අතර, ආර්ථිකයේ තිරසර මාවතක් කරා යෑම තහවුරු කිරීම සඳහා රජය විසින් සිය රාජ්‍ය මුල්‍ය ඒකාග්‍රතා ප්‍රයත්න ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි. කෙසේ වෙතත් මේ දක්වා ක්‍රියාවට නංවන ලද ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යෑම මත ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත්ව යථා තත්වයට පත්වීම රඳා පවතී. මෙම ක්‍රියාවලියේම කොටසක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම ඉතා වැදගත්ය. තවමත් රට මුළුමනින්ම ආර්ථික අර්බුදයෙන් මිදී නොමැති බැවින් සැළසුම්ගත මාවතෙන් ඉවත්වීම සඳහා  කිසිදු අවකාශයක් නොපවතී. මනාව සැළසුම් නොකළ ප්‍රතිශක්ති අත්හදා බැලීම්වල ව්‍යසනකාරී සමාජ ආර්ථික බලපෑම මෑත කාලීන අත්දැකීම් මගින් සනාථ කර ඇත. තවද ක්‍රියාවට නැංවූ සහ සැලසුම් කරන ලද තීරණාත්මක ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම ආර්ථිකය නැවතත් අස්ථායී තත්ත්වයකට ඇද දැමීමට හේතුවනු ඇත.  එහෙයින් ප්‍රතිපත්ති ආපහු හැරවීම හා ඒ හේතුවෙන් ඇතිවන ආර්ථික පසුබෑම් වළක්වා ගැනීම සඳහා පුළුල් දේශපාලනික සහ සමාජීය එකඟතාවක් මත ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අතිශයින් තීරණාත්මකය. තිරසාර වර්ධනයකින් පොදු ජනතාවගේ සුබසාධනය ඉහළ නැංවීම එමගින් සහතික කෙරෙනු ඇත.

ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව නැංවීම

පාරිභෝගික විෂයනුබද්ධ වචනවලින් සමන්විතව ඉදිරිපත් කර ඇති මහ බැංකුවේ තාක්ෂණික විවරණය සාමාන්‍ය පාඨකයාගේ ප්‍රයෝජනය උදෙසා පහත පරිදි සරල බසකින් ඉදිරිපත් කළ හැකිය.

රට තවමත් දුෂ්කරතාවෙන් මිදී නොමැත. ආර්ථිකයේ දිගින් දිගටම පෙන්නුම් කරන අඩු කාර්යසාධනය නිසා ඉදිරියේ දිස්වන්නේ කම්කටොලු සහගත බවකි. මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එහි සියලුම රෝග නිධාන දුරුකොට රට දීර්ඝකාලීන වර්ධන මාවතකට ආපසු ගෙන ඒම අත්‍යවශ්‍ය ලෙස කළ යුත්තකි. ඒ මගින් නැවත ජනතාව වෙත සමෘද්ධිමත් බව ගෙන එනු ඇත.

ප්‍රධාන අවශ්‍යතා දෙකක් වනුයේ ඵලදායීතාව හා කාර්යක්ෂමතාව නැංවීමයි. ඵලදායීතාව යනු එකම යෙදවුම් යොදා පෙරට වඩා වැඩි නිෂ්පාදනයක් ලබාගැනීමයි. කාර්යක්ෂමතාව යනු, අවම වියදමකින් එකම ප්‍රතිඵල ලබාගැනීමය. උදාහරණයකට මේ වන විට මිනිසුන් 100  දෙනෙක්, කමිස 100 නිෂ්පාදනය කරන්නේ නම් එම මිනිසුන් 100 දෙනාම ඊට වඩා කමිස ගණනක් (200 ක් කියා සිතමු) නිෂ්පාදනය කිරීමේ වටපිටාවක් නිර්මාණය කළ යුතුය. එසේ වුවද, එසේ කළ යුත්තේ ඒ සඳහා යන වියදම අනවශ්‍ය ලෙස ඉහළ නොයන පරිදිය. මේ වන විට කමිසයක නිෂ්පාදන වියදම රු. 100 නම් එම සාමාන්‍ය පිරිවැයද වෙනස් නොවී තබාගත යුතුය. වෙනත් නිෂ්පාදන සංකලනයකින් සාමාන්‍ය පිරිවැය අඩු කළ හැකි නම් එම නිෂ්පාදන සංකලනය යොදාගත යුතුය.

නවෝත්පාදනය සහ නවීකරණය පිළිබඳ කාර්යය

මහ බැංකුව මේ ගැන සඳහන් නොකළත් නවෝත්පාදන නිර්මාණය කිරීම ඔස්සේ සාමාන්‍ය පිරිවැය අඩු කෙරෙන බව එයින් අර්ථවත් වේ. එහෙත් නවීකරණය නම් කාර්ය පරිපාටිය යම්කිසි නිෂ්පාදකයකු විසින් යොදා ගන්නා තුරු නවෝත්පාදන පමණක් සිදුවීමෙන් ආර්ථිකයට එය උපකාරී නොවේ. එම නිසා මහ බැංකුව සඳහන් කර ඇති ආයතනික හා ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ ඔස්සේ ඵලදායීතාව නැංවීම කළ යුතුය. ඊට අනුබල දෙන නවෝත්පාදන හා නවීකරණ ඔස්සේ කාර්යක්ෂමතාව ද නැංවිය යුතුය.

මෙය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ විය යුතුය. රට නැවත ස්ථිරසාර සංවර්ධන මාවතට තල්ලුකර හරිනා යතුර එයයි. එම මාවතට රටක් එක්වරක් එළඹුණු විට නැවත විතැන්වීමේ අවදානමක් නොපවතී. රජයේ සියලුම වර්තමාන සහ අනාගත ප්‍රතිපත්ති මෙම අරමුණට එළඹීම සඳහා සකස් විය යුතුය. යම් ප්‍රතිපත්තියක් මෙම අරමුණට හටහැනි වේ නම් එය එසැණින්ම ඉවත් කළ යුත්තේය. ස්ථිර සාර සංවර්ධනයේ මාවතට පිවිසීමේ මග හරස් කරනුයේ එකී පරස්පර ප්‍රතිපත්ති ය.

මහ බැංකුවේ උපදේශය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති නොකඩවා ක්‍රියාත්මක කරනු

මැතිවරණයෙන් අනතුරුව කුමන රජයක් බලයට ආවත්, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් යටතේ යොදා ගත් වර්තමාන ස්ථාවර ප්‍රතිපත්ති නොකඩවා පවත්වාගෙන යා යුතු බව මහ බැංකුව අවධාරණයෙන් ප්‍රකාශ කොට ඇත. මෙම ප්‍රතිපත්ති පැකේජයේ පහත සඳහන් දෑ අන්තර්ගත වේ.

පළමුවැන්න, පාලනයෙන් තොර (හීලෑ නොවූ) අයවැය වැඩි වෙන ආදායම් සාධකය ඔස්සේ නොවැදගත්කොට සැලකිය යුතු වීමය. එය ආදායම පදනම් කරගත් මූල්‍ය ස්ථාපනය යනුවෙන් හැඳින්වේ.  තවත් කළ යුත්තක් වන්නේ රාජ්‍ය හිමි ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමයි. පිරිවැය පදනම් කරගත් මිල තීරණ ප්‍රතිපතිපත්තියක් ඇතිකොට ඒ මාසයේ අභ්‍යන්තර මෙහෙයුම් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වර්ධනය කිරීමට පියවර ගත යුතුය. තුන්වැන්න, 2023 සැප්තැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම විසින් සම්පූර්ණ කරන ලද පාලන දෝෂ නිරීක්ෂණ අධ්‍යයනයේ නිර්දේශ කළ යහපාලන ප්‍රතිපත්ති අනුගමනය කිරීමයි. සිව් වැන්න, අවදානමට ගොදුරුවන  කණ්ඩායම් සඳහා සමාජ ආරක්ෂණ දැල් රටාවක් අනුගමනය කිරීමයි. ඉහත සඳහන් කළ ප්‍රතිසංස්කරණවල වේගය දරාගත නොහැකි වූවන් සඳහා එය අනිවාර්යයෙන්ම උපකාරී වේ.

නිසි මූල්‍ය ප්‍රතිපත්ති පැකේජයකින් උද්ධමනය පාලනයක් යටතේ පවත්වා ගැනීම, වෙළෙඳපොළ පදනම් කරගත් විනිමය අනුපාතික ක්‍රමයක් අනුගමනය කිරීමෙන් විනිමය අනුපාතිකය ස්ථාවරව පවත්වා ගැනීම මූල්‍ය ආයතන හා මහ බැංකුවට අදාළ නීතිරීති යාවත්කාලීන කොට පවත්වා ගැනීම, වඩාත් යෝග්‍ය උද්ධමන ඉලක්ක ක්‍රමයක් කරා වෙනස් වීම ආදී අනෙකුත් ප්‍රතිපත්ති අදාළ වනුයේ මහ බැංකුවටය. මහ බැංකුව මෙම අවශ්‍යතා සියල්ල සපුරා තිබේ. තවමත් සම්පූර්ණ නොකොට පවතින්නේ මධ්‍යම ආණ්ඩුවේ තෝරාගත් බාහිර ණය වගකීම් ප්‍රතිව්‍යුහගතකරණ කිරීමේ ප්‍රතිපත්තිය.

ආදායම පදනම් කරගත් මූල්‍ය සංස්ථාපනයේ ඇති අනතුරුදායක බව

ආදායම පදනම් කරගත් මූල්‍ය සංස්ථාපනය ඇතුළත් ක්‍රමෝපාය තනි පැත්තකට පමණක් අවධානය යොමු කළ එකකි. මන්දයත් එයින් ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන ප්‍රවේශය වූ ආදායම වැඩි කිරීමේ හා වියදම් පිරිමසාලීමේ සංකූලනය ඇතුළත් ක්‍රමය නොසලකා හැරෙන බැවිනි. ආදායමට වඩා වැඩි වේගයකින් වියදම් වැඩිවෙන විට නිරන්තරයෙන්ම අයවැය  පරතරය වැඩිවේ. ඒ ඔස්සේ ආදායම් උපයා ගැනීමේ වඩ වඩාත් දැඩි පියවර ගන්නට රජයට බල කෙරේ. එය ප්‍රායෝගික වශයෙන් දිගටම පවත්වා ගැනීම කළ නොහැක්කකි. ශ්‍රී ලංකාව දැනටමත් මෙම තරගයට අසුවී තිබේ.

2022 අග භාගයේදී ආදායම් බදු නැංවීමේ වැඩසටහනක් මෙරට හඳුන්වා දුන් අතර එය 2023දී ආන්තික මට්ටමක් දක්වා විස්තීරණය වූයේය. වැට් බද්ද හෙවත් එකතු කළ අගයට අය කරන බද්ද මුලින් සියයට 15ක අනුපාතයක පැවතියද පසුව එය සියයට 18 දක්වා වැඩි විය. කලින් කලට ඒ ඒ වෙලාවට අපිළිවෙළට හඳුන්වා දෙන ආදායම් නැංවීමේ පියවර ඔස්සේ වැඩිවෙන වියදම් මට්ටමට ගැළපීමට දරන උත්සාහය ඔස්සේ රටේ බදු ක්‍රමය තුළ අස්ථාවරයක් ජනිත වේ. එහි ප්‍රතිඵලයක් ලෙස තනි තනි බදු ගෙවන්නා මෙන්ම ව්‍යාපාර ආයතනවලට ද අනාගතය සැලසුම් කර ගැනීමට නොහැකිවේ. ස්ථිරසාර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට එය හිතකර තත්වයක් නොවන්නේය.

රාජ්‍ය හිමි ව්‍යවසායවල කාර්යක්ෂභාවය තහවුරු කොට පවත්වා ගැනීමේ අවශ්‍යතාව

ප්‍රධාන වශයෙන් පාඩු ලබන රාජ්‍ය හිමි ව්‍යවසාය උදෙසා පිරිවැය පදනම් කර ගත් මිල ක්‍රමයක් රජය හඳුන්වා දී තිබේ. එය හොඳ පියවරක් වන්නේ එයින් පාඩුවේ බර, සාමාන්‍ය බදු ගෙවන්නා පිට පටවනවාට වටා එකී ව්‍යවසායවල පාරිභෝගිකයන් මත පටවන නිසාය. මෙම ව්‍යවසායවලට දැන් පාඩු අතිරික්ක බවට පත් කරගත හැකිය. මෙකී ව්‍යවසාය සිය අකාර්යක්ෂමතා, පාරිභෝගිකයන් වෙත හරවාලීම වැළැක්වීමට ඒවායේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව සොයා බැලීම එක් මග හැරුණු සාධකයකි. එසේ වුවද මහ බැංකුව එහි 2023 වාර්ෂික ආර්ථික සමීක්ෂණයේ එය හුවා දක්වා නැත. එසේ වුවද හදිසි අවශ්‍යතාවකි.

යහපාලන පිළිවෙත් අනුගමනය කිරීමට අසමත් වීම

රජය විසින් යහපාලන පිළිවෙත මත විශ්වාසය තැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත් විඳ තිබෙන්නේ දැඩි පිරිහීමකි. නීතිමය පාලනය කෙරේ විශ්වාසයක් නොතිබුණ අතර නීතිමය පාලනය ඉවහල් කරගෙන ඇත්තේ විරුද්ධවාදීන් උදෙසාය. එය බ්‍රසීලයේ සුප්‍රසිද්ධ සටන් පාඨයකින් කියන්නා සේ ‘මිතුරන්ට හැම දේ, විරුද්ධවාදීන්ට දැඩි නීති’ වැනි තත්වයකි. මෙකී අයුක්තියට එරෙහිව විවෘතව හඬ නගන්නට අවසර නැති කල ජනතා නිහඬ වෙති. එයින් පාලකයන්ට දෙනු ලබන්නේ වැරදි සහතිකයකි. තමන් කරන දේ රටවැසියන් පිළිගැනීමට සූදානම් බවත් එයින් සැඟවේ. එයින් සිදු වන්නේ සමාජ අතෘප්තිකරභාවයක් යටින් ගොජ දමමින් පැසවීමයි. යම් විටක එය පිටතට අවුත් සමස්ත සමාජ ආර්ථික ව්‍යුහයම එයින් වනසා දැමෙනු ඇත. 2022 අසහනයට පත් ජනතාව රජයට එරෙහිව නැගී සිටිමින් එවැනි කැරැල්ලක් ගැසූහ.

එහි ප්‍රතිඵලය වූයේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජය බිඳ වැටීම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තනතුර හැරදා අවිචාරවත් ලෙස පලායාමය. තනි විපක්ෂ ව්‍යවස්ථාදායක රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයට එන්නට එයින් මඟ පෑදිනි. එම නිසා ඔහුගේ පුර්වගාමියා අනුගමනය කළ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ගණයේ පිළිවෙත් ස්ථාපිත කිරීමෙන් වැළකී සිටින්නට ඔහුට සිදුවිය. මෙම වාතාවරණය මැද පාලන දෝෂ පිළිබඳ අධ්‍යයනයක් කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළ විටදී සත්කාර්ය ලැදි පොදු ජනයාගේ සිත් පිනා ගියේය. එහෙත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම දිනෙන් දින කල්යන විට එම චිත්තප්‍රිතිය අසහනයට හැරිණි. ඉහත සඳහන් කළ ආකාරයට බුද්ධිමත් සමාජයක් තුළ යහපත් ලක්ෂණයක් නොවේ. එය ස්ථිරසාර ආර්ථික වර්ධනයකට අවශ්‍ය විචාරශීලි බවකි.

සමාජ ආරක්ෂණ ජාලය

ගැටලුකාරි සමෘද්ධි ගෙවීම් ක්‍රමය, රජය විසින් වඩාත් ඉලක්ක සහගත අස්වැසුම වැඩසටහන බවට පරිවර්තනය කිරීම අවදානමට ගොදුරු වන ජනයාට නිසි ආරක්ෂක ජාලයක් හඳුන්වා දී ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමේ පියවරකි. එහෙත් එසේ මුදල් ගෙවීමෙන් ඔවුන්ට ලැබෙන්නේ තාවකාලික සහනයක් පමණකි. ඔවුන් සදාකාලිකව දරිද්‍රතාවෙන් මුදා ගැනීමට නම් ආදායම් උත්පාදන පහසුකම්වලින් ඔවුන් සන්නද්ධ කළ යුතකුය. වර්තමාන ආරක්ෂණ ජාල වැඩසටහනේ නොසලකා සැර තිබෙන්න් එම පැත්තයි. වර්තමාන මුදල් ගෙවීම් සහ සීමිත සහල් ප්‍රමාණයක් ලබාදීම ඔස්සේ වඩාත් දරිද්‍ර වූ ගැලවිය නොහැකි වක්‍රයක් තුළ ඔවුන් උගුලට හසුකර ගැනේ.

වඩාත් කල්පමාවී කරන ප්‍රමාණවත් නොවන විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය

රටේ සමස්ත ණය ඩොලර් බිලියන 55ක් තිබියදී ද්විපාර්ශ්වික හා වාණිජ ණයකරුවන්ට හිමි ඩොලර් බිලියන 27ක් පමණක් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීම ප්‍රමාණවත් නොවේ.

ඒ අනුව නිසි ණය ප්‍රතිව්‍යුහගතකරණයකින්  ඒවා රටට විදේශ ණය අර්බුදයෙන් ගොඩ එ්මේ හැකියාවක් නැත. එසේ කළ ද දැන් පමණටත් වඩා කල් පමාවී හමාරය. ණය සහන ඉල්ලා සිටීමේ සාකච්ඡාවලින් සිදුවන්නේ මතු දිනයකට ගෙවීම් කල් තැබීම පමණි. ණය ප්‍රතිව්‍යහගතකරණය කළ විට ශ්‍රී ලංකා මග හැරුණු හිඟ ණයත් අනාගත ණය වාරිකත් යන දෙකම ගෙවා දැමීම පටන් ගන්නට සිදුවේ. මේ වනවිට ඩොලර් මිලියන 3400ක පවතින භාවිතා කළ හැකි විදේශ සංචිතය ඉව ගලා යාම ඒ ඔස්සේ සිදුවනුයේ ඊට අලුතෙන් එකතුවීම්ද පහත් මට්ටමක තිබියදීය.

මේ ඉහළ අවදානම් සහගත ස්වභාවය  ශ්‍රී ලංකාව නැවත 2022 අප්‍රේල් වාතාවරණයට ඇද දමන බවද  මම සඳහන් කළෙමි. එහිදී ශ්‍රී ලංකාව දැඩි ආනයන හා විනිමය පාලන සීමාකරණ හඳුන්වා දෙමින් ද්විපාර්ශ්වික හා වාණිජ ණය වාරික ගෙවා දැමීම අත්හිටුවා දැමීය. දැන් මැතිවරණ වසරක් පැමිණ ඇති නිසා විනිමය සහ ආනයන සීමා ඉවත් කිරීමට රජයට බල කෙරේ. කෙසේ වුවද ප්‍රමාණවත් විදේශ විනිමය සංචිත  නොමැති වුවහොත් නැවත 2022 අප්‍රේල් වාතාවරණ හා සමාන තත්වයක් එළඹෙනු ඇත.

මෙයින් තේරුම් යන්නේ ප්‍රතිවිරුද්ධ විපක්ෂ නායකයන් දෙදෙනා එකිනෙකාට එරෙහිව වාදයට එළඹීමට පෙර වර්තමාන ආර්ථික තත්වය පිළිබඳව දැනුවත්ව සිටිය යුතු බවයි. ගැටලුවට නිසි විසඳුම් නො සොයා එකිනෙකාගේ ප්‍රතිපත්ති විවේචනය කර ගැනීමෙන් ඡන්දදායකයාට වැඩක් වන්නේ නැත. මෙම දේශපාලන වාදවලින් ජයග්‍රාහකයන් නිර්මාණය නොවන නිසා දෙදෙනාම පරාජිතයන් බවට පත්වනු ඇත. එවැනි තත්වයක් තුළ සුප්‍රසිද්ධ විවාදයකින් ඡන්දදායකයන් පරීක්ෂාවට ලක් නොකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රාහකයා බවට පත් වනු ඇත.

තමන් හා තරග නො වැදුණු පොදු සතුරට විපක්ෂයේ ප්‍රතිවිරුද්ධ දේශපාලකයන් දෙදෙනා දිනුම පවරා දිය යුත්තේ ඇයි? මෙවැනි ඵල රහිත විවාදයකින් ඔවුන්ගේ පොදු සතුරා වූ ජනාධිපතිවරයා ජයගනු ඇත.

2024 මැයි 6 Daily FT හි පලවු, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධන මහතාගේ Pointless debate on the economy when issue at hand is much broader නම් ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ – උපුටා ගැනීම ලංකාදීප.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග