මෑතදී පැවති සුමති යූ.ඩබ්.සුමතිපාල “සුමති අර්ථපති ශතක අභිනන්දන” වැඩසටහන සඳහා විශේෂ දෙසුමක් සඳහා සහභාගි වූ කොමියුනිස්ට් පක්ෂ නායක ඩීව්.ගුණසේකර මහතා විසින් පැවැත්වූ එකී දෙසුම.
ජගත් ( සුමතිපාල) මාව හම්බවෙන්න ඇවිත් මේ සඳහා සහභාගිවීම සඳහා ආරාධනය කරන අවස්ථාවේදී මං ඇහැව්වා ඇයි මාව තෝරගත්තේ කියලා. මම සම සමාජ පක්ෂයේ සමාජිකයෙක් නෙමෙයි. මම සුමති එක්ක ඒ පක්ෂයේ සාමාජිකයෙකුත් නෙමෙයි. එතකොට ජගත් කිව්වා තාත්තත් (යූ.ඩබ්.සුමතිපාල) එක්ක දේශපාලනය කරපු එක්කෙනෙක් හොයා ගන්න නෑ කියලා. අන්තිමේදී හොයාගත්තේ මාව කිව්වා. ඒ නිසා සුමතිපාල පවුලේ අයට මම ස්තුතිවන්ත වෙනවා. ගෞරවය දක්වනවා මේ අවස්ථාව මට ලබාදීම ගැන.
ඔබ නොදන්නා, ඔබ අඩුවෙන් දන්නා සුමතිත් මාත් අතර තිබුණු දේශපාලන ගණුදෙනු අණාවරණය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සුමතිගේ ගමත්, මගේ ගමත් අකුරැස්සේ. දොස්තර එස්.ඒ වික්‍රමසිංහයන් අභාවයට ගියාට පස්සේ කොමියුනිස්ට් පක්ෂයේ අකුරැස්ස ආසනයේ සංවිධායකයා වුනේ මම. ඒ නිසා මට ලොකු ඇම්මකුත් හැදුනා.
සුමති මුලින්ම මට හම්බවෙන්නේ 1964 දි. විශ්ව විද්‍යාලයේ උපාධිය,තරඟ විභාගය සමත්වෙලා අපි කොළඹට ආවට පස්සේ මම රැකියාව කළේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ. මාත් එක්ක වැඩ කරපු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් එන්.එම්ගේ සහෝදරයගේ නංගිගේ පුතා තිස්ස විතාරණගේ අයියා නීල් විතාරණ. අනෙක් එක්කෙනා එන්.එම් ගේ අයියගේ පුතා සේන පෙරේරා. මේ අයත් එක්ක එකට වැඩ කරද්දි අපි දේශපාලන අදහස් හුවමාරු කරගත්තා. සේන දේශපාලන මධ්‍යස්ථවාදියෙක්. නීල් විතාරණ සමාසමාජ දේශපාලන මතධාරියෙක් රජයේ සේවයෙක් වුනාට. ඒ කාලේ අපි රජයේ සේවකයෝ එළිපිට දේශපාලනය කතා කරන්නේ නෑ.
1964 ආචාර්ය එන්.ඇම් පෙරේරා මුදල් ඇමති වුනා. මාස හයක් පැවති රජයේ. එන්.ඇම්. පෙරේරා මුදල් ඇමති මම ඔහු යටතේ සිටි නිලධාරියෙක්. ඔහු එනවා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයකට. ඔහු ආවේ මුදල් ඇමති වී දින කිහිපයකට පසුවයි. ඔහු සියළුම නිලධාරීන් කැඳවනවා. ඒ අවස්ථාවේ දී එන්.ඇම් මුදල් ඇමතිවරයාව පිළිගැනීමේ කතාව කළේ මම සියළුම නිලධාරීන් වෙනුවෙන්. මම සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි කතාව කලා. මම කවදාවත් අහලා තිබුණේ නෑ එන්.ඇම් ට කව්රුත් මහත්තයා කියනවා. කවුරුත් කතා කරන්නේ එන්.ඇම්. සහෝදරයා කියලා. මේක නිල අවස්ථාවක් වුනත් මම කතාව කරද්දි එන්.එම් සහෝදරයා කියලා තමයි කතා කලේ. ඔක්කෝම හිනාවුනා. ඒ රැස්වීමට ඇවිත් හිටියා සුමති. එදා තමයි යූ.ඩබ්. සුමතිපාල මම අඳුනගත්තේ. එන්.ඇම් යන යන තැන ඔහු යනවා. ඔහු පිටකොටුවේ ඔහු ඉන්න තැන ඉඳලා එන්.ඇම් එනවා කියලා ආරංචි වෙලා පයින්ම එතනට ඇවිල්ලා තිබුනා. රැස්වීම ඉවර වෙලා ඔහු මට ඇවිත් කතා කළා. මම “සහෝදරයා” කියලා එන්.ඇම් ට කියපු එකට ඔහුට ආඩම්බරයි. අනෙක් මිනිස්සු මාව විවේචනය කරනකොටෙ. එදා තමයි සුමතිව මට මුණ ගැහුණේ. අපි අතර සම්බන්ධයක් ඇති වුනේ ඒ විදියට.
කොටුවේ පැගෝඩා කියලා හෝටලයක් තියෙනවා. පෞද්ගලික අංශයේ සහ රජයේ ඉහළ නිලධාරීන් දිවා ආහාරය ගන්න එන්නේ. ඊට පහළ ජනතාව එන්නෙත් නෑ ආවත් ඇතුළත් කරගන්නතේ නෑ. සුමති එතනට ඇවිද ගෙන එනවා. ඔහු කතා කරන්නෙ දේශපාලනය. මම එතකොට කිසිම පක්ෂෙකට බැඳිලා නෑ, සම්බන්ධයක් ඇත්තෙත් නෑ. පස්සේ තමයි දැනගත්තේ සුමති ලංකා සම සමාජ පක්ෂයේ සමාජිකයෙක් කියලා. අවුරුදු 20 දී තමයි ඔහු පක්ෂෙට බැඳනේනේ. පුංචි බොරැල්ලේ එන්.එම් පදිංචි වෙලා ඉන්නකොට සුමතිත් පදිංචි වෙලා හිටියේ පුංචි බොරැල්ලේ. එන්.එම් ගේ දුක සැප සියල්ලම බලාගත්තේ සුමති කියලා මම පසුකාලයේ දී තමයි මම දැනගත්තේ.
සුමතිගේ ඉතාමත්ම ප්‍රීතිමත්ව දවස මොකක්ද කියලා සුමති මට කිව්වා. 1963 මැයි 01 වෙනිදා. ඒ වාමාංශික පක්ෂ පිලිප් ගුණවර්ධන, එන්.එම්.පෙරේරා, දොස්තර වික්‍රමසිංහ තුන්දෙනා මහා දැවැන්ත මැයි දින පෙළපාළියක් ගාලුමුවදොර පිට්ටනියේ ජීප් රථයක නැගිලා ගිය දවස. 1939 පස්සේ නායකයෝ තුන්දෙනා එකතුවීම සුමතිට විශාල ප්‍රීතියක් ගෙන දුන් බව ඔහු පැවසුවා. “හෙට මැරුණත් කමක් නෑ අපේ නායකයෝ තුන්දෙනා එකතුවෙලා” කියලා සුමති එදා කිව්වා. එදා ජනගහනය මිලියන 07, 08 ක් විතර ඇති. ලංකා ඉතිහාසයේ ඇති දැවැන්තම මැයි දින පෙළපාළිය එයයි. උදේ 10.00 ට පිටත් වෙච්ච පෙළපාළිය ගාලුමුවදොරට ළගා වුනේ රෑ 10.00 ට. මම ඒ පෙළපාලියේ ඇතුල්වෙනකොට රෑ 10.00 යි. රැස්වීම ඉවරයි. සුමතිගේ ජීවිතයේ ප්‍රීතිමත්ව දිනය එදයි.
අපේ සම්බන්ධකම දිගටම පැවැත්වුනා. 1977 මහ මැතිවරණයෙන් එන්.එම්.පෙරේරා සහෝදරයා පරාජයට පත් වුනා. එන්.එම්. පැරදුනාට පස්සේ සුමති දවස් දෙකක් ඇඩුවා කියලා ජගත් මට කිව්වා. තමන්ගේ පවුලේ කෙනෙක් මියගිය පසුවවත් ඇඬූ නැති පුද්ගලයෙක් එන්.එම්.ගේ පරාජයෙන් පසුව ඇඩුවා. එතරම් දැඩි සම්බන්ධතාවයක් ඔවුන් අතර තිබුණා. ඉස්සර රජයේ හෝ සේවකයෙක් වැඩ අවසන් වී, සිකුරාදා වැඩ අවසන්ව නිවසට යද්දී පුවත්පතක් හෝ කීපයක් අරගෙන යන පුරුද්දක් තිබුණා. මේක දේශපාලන සාක්ෂරතාවය පිළිබඳ ඇත්තක්. මම සියරට, සමසමාජ, කොමියුනිට්ස් පුවත්පත් අරගන්නවා. ඒ එක් අවස්ථාවක මම සමසමාජ පත්තරේ කියවනකොට තමයි දැන ගත්තේ සුමති හර්තාලයේ වීරයෙක් විදියට සලකලා තියෙන විත්තිය. පිටකොටුව තමයි හර්තාලයේ බිහිසුණුම අවස්ථාව. වමේ පක්ෂ තුනක්, ඊ.එම්.ගුණසිංහ එක්ක එකතු වෙලා ඒ වෙලාවේ ශත විසි පහට තිබුණු හාල් සේරුව, ශත 55 ට කලාම ඒ වෙනුවෙන් විරෝධය දැක්වීම. ඒ වෙලාවේ රජයේ සේවකයන්ට දේශපාලන අයිතිවාසිකම් තිබුණේ නෑ. අරගලයකට ගන්න අමාරුයි. ඒ නිසා ඔවුන් තීරණය කලා මේ විරෝධතාවයට ජනතාව සහභාගි කරවාගෙන කරන්න. ඒ නිසා ස්ට්‍රයික් කියන වචනය පැත්තකට දාලා ඉන්දියාවේ ඒ වන විට පුළුල් වශයෙන් භාවිතා වුනු හර්තාලය කියන වචනය භාවිතා කරමින් විරෝධතාවයක් පැවැත්වුවා. ඒ තුළින් කඩ සාප්පු වැහීමටක් ඔවුන් රට පුරා සිදු කළා. කොළඹ කඩසාප්පු වැහීමේ නායකත්වය ලබා දුන්නේ සුමති. පිටකොටුවේ එක කඩයක් ඇරලා තිබුණේ නෑ 53 හර්තාලෙදි. එතන තමයි හමුදාවයි පොලීසියයි අතර සංකීර්ණම ගැටුම ඇතිවුනේ. කිහිප දෙනෙක් එහිදී මියගියා. එඩ්වින් කියලා සමසමාජ පක්ෂයේ සහෝදරයෙක් ඝාතනය වුනා. ඔහු කමිසයේ බොත්තම් ඇරලා පපුව පෙන්නලා වෙඩි තියපන් කිව්වා. වෙඩි තිබ්බා. ඔහු එහිදී මියගියා. මේවා අපි දැනගත්තේ පසුකාලයේදීයි.
සුමති මියයන තෙක්ම ඇන්.ඇම්. අතහැරියේ නෑ. සුමති මුල් කාලයේදී මැලිබන් වීදියේ පොඩි ව්‍යාපාරයක් කරමින් ඔහු හිටියේ. මාත් ගිහිං තියෙනවා එතැනට. මැයි දිනය දවසට මැයි දිනයට සහභාගිවන සියළුම දෙනාට මිනිස්සු කන්න බොන්න නිකන් දෙනවා. පිටකොටුවේ ව්‍යාපාරිකයන් සරුවත්, අඹ කපලා, අන්නාසි කපලා මිනිස්සුන්ට දෙනවා. එදා තිබුණු දේශපාලන සාක්ෂරතාවය, එදා තිබුණු දේශපාලන සංස්කෘතිය, එදා තිබුණු දේශපාලන සදාචාරය අද දකින්න නැ. ඒකට හේතුව කුමක්ද යන්න වෙනම විග්‍රහ කළ යුත්තක්. එන්.ඇම් පැරදිලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ දිනයේ වමේ කවුරුත් නෑ පාර්ලිමේන්තුවේ. අපි ඔක්කෝම පැරදිලා. මම තංගල්ලේ ආසනේට තරඟ කළේ. ඇන්.එම්. ආවා මගේ මැතිවරණ වේදිකාවට කතා කරන්න. මැතිවරණයට දින දෙකයි. මම ඇහැව්වා එන්.ඇම්ගෙන් කොහොමද මැතිවරණය ප්‍රතිඵලය කියලා. එන්.ඇම් කිව්වා ආසන 50 ක් දිනනවා කිව්වා. අන්තිමේ දි බින්දුවයි පැරදුනා. හයෙන් පහක බලයක් ගියා.
එන්.ඇම්. සහහෝදරයටත් මටත් ආරාධනයක් ලැබෙනවා යුගෝස්ලොවේයානු ජනාධිපති ජෝෂප් මාෂල් ටිටෝ ගේ ආරාධනයකට සම්මේලනයක් සඳහා. අපේ පක්ෂයෙන් මාව තෝරගත්තා. සමසමාජ පක්ෂය නියෝජනය කළේ එන්.ඇම් පෙරේරා සහහෝදරයා. අපි බ්ල්ග්‍රේඩ් ගියා. එක ප්ලේන් එකේ. එක ළග වාඩිවෙලා. අපි සතියක් ගත කළා එකම ගෙදර. මම ඉස්සර අහලා තිබුණා එන්.ඇම්. උදේට ඔලුවෙන් හිටගන්නවා කියලා. මිනිස්සු කිව්වට මං විශ්වාස කළේ නෑ. බලනකොට ඇත්ත. උදේට ඔලුවෙන් හිටගෙන ඉන්නවා. එන්.ඇම් සහෝදරයා මට වඩා හුඟාක් ජේෂ්ඨ දේශපාලනඥයෙක්. ඔහු මත්පැන් වීදුරුවක් විතර බීලා බෝතලේ මගේ කාමරේ තියලා යනවා. අපි අතරේ ඒ වගේ සම්බන්ධතාවයක් ඇති වුනා. ඒ නිසාම සුමති සහ අපි අතර සම්බන්ධතාවය දැඩි වුනා.
මේ කාරණා අපි තේරුම්ගත යුතු කාරණා. මධ්‍යම පාංතික කොටස්, සුළු ව්‍යාපාරිකයන් මුළුමනින්ම වමත් එක්ක හිටියේ. වමට ආධාර දුන්නේ. සුමති හිටියේ මැලිබන් වීදියේ. කොමියුනිට්ස් පක්ෂ නායක, අපේ නායක පීටර් කේනමන් මැතිවරණයන්ට මැද කොළඹින් තරඟ කරනකොට ආධාර ලබාගැනීමට පාර දිගේ යනවා. හැම කඩේකින්ම සල්ලි මල් මාලා දානවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කියලා කිසිම වෙනසක් නෑ ආධාර කරනවා. කැන්වසින් ඉවරවෙනකොට කාර් එක පිරිලා සල්ලි. ඒ කාලේ මැතිවරණ කළේ එහෙමයි. ඉතුරු වෙන සල්ලි එන්.එම් ට පීටර් සහෝදරයට, දෙවෙනි ඉලෙක්ෂන් එකේදී වාහන අරන් දුන්නා. තුන්වෙනි ඉලෙක්ෂන් එකේදි පර්ජෝ එකක් අරන් දුන්නා. ඒ ඔක්කෝම මිනිස්සු දුන්නු සල්ලි. පාරේ යනකොට සල්ලි දෙනවා.
මෙතන ආගමික නායකයින්, විද්වතුන්, දේශපාලඥයින්, පවුලේ අය එක්ව සුමතිපාල මැතිතුමා සිහිපත් කරන මේ වෙලාවේ මා කාරුණිකව කියා සිටින්නේ මා දකින ආකාරයට රට ඉතාමත් අනතුරුදායක තත්ත්වයකට දිනෙන් දින තල්ලු වෙනවා. සංස්කෘතික හෝදා පාළුව තමයි භයානකම. මම රූපවාහිනී ප්‍රවෘත්ති බැලීම නැවැත්වුවා. මම බැලුවොත් මට තව කල් ජීවත්වෙන්න බෑ. හාට් ඇටෑක් හැදිලා මැරෙනවා. හැමදාම මිනි. මරණ එකයි කොල්ල කන එකයි. මරණ එකයි.
මම අදත් ආඩම්බර වෙනවා ජාතික රූපවාහිනියේ වැඩිම කලක් සභාපති හැටියට හිටියේ මම. අවුරුදු හයක්. යුද්දේ යද්දිත් එක මිනියක් රූපවාහිනියේ පෙන්වන්න දුන්නේ නෑ මම. රූපවාහිනියේ නීතිය පාවිච්චි කරලා අනෙක් ආයතන වලත් පෙන්වන්න දුන්නේ නෑ. තිස් අවුරුදු යුද්ධයක් යන වෙලාවෙත් ම්ලේච්ඡත්වයක් ඇති වෙන්න දුන්නේ නෑ. යුද්ධයක් නැතිව වුනත් අද රටම ම්ලේච්ඡත්වයකට ගිහිල්ලා. අද ගම්වල තත්ත්වය අතිශයින්ම භයානකයි.
මල්වත්තේ, අස්ගිරියේ මහානායක හමුදුරුවරුන් අපි හමුවෙන්න ගියා. මල්වත්තේ නායක හාමුදුරුවන් අපිට කියනවා “අනේ මහත්තයෝ වමවත් එකතුවෙන්න. මට නං එපා වෙලා.” උඩකැන්දේවෙල සරණංකර හාමුදුරුවෝ අපවත් වෙනකම්ව සාමනේර. උපසම්පදාවක් දුන්නේ නෑ කිසිම නිකායකින්
කොමියුනිට්ස්කාරයා කියලා. අද නායක හාමුදුරුවන් අපිට එක්වෙන්න කියනවා.
මගේ ඉල්ලීම ගෙදර ගිහිං හිතන්න. අපේ කාලේ ඉවරයි. ඊළග පරම්පරාවට රටක් තියෙන්න ඕන. අඩුම ගානේ සදාචාරය, සංස්කෘතිය ආරක්ෂාවෙන. ඒ සියල්ල තීරණවෙන්නේ ආර්ථිකය මත. මාක්ස්වාදයේ හොඳම නිර්වචනය දීලා තියෙන්නේ ලෙනින්. ඉතිහාසය, දර්ශනය, දේශපාලන ආර්ථිකය, දේශපාලන ඉතිහාසය, සමාජ විද්‍යාව, ස්වභාවික විද්‍යාව යන හය එකතුවෙන තැන මාක්ස්වාදය තිබෙනවා. ප්‍රාග්ධනය කොහෙද තියෙන්නේ. ප්‍රාග්ධනය තියෙන්නේ ගෝලීය දකුණේ. වෙළඳපොළ තියෙන්නේ ගෝලීය දකුණේ. තාක්ෂණය තියෙන්නේ ගෝලීය දකුණේ. පස්වෙනි කාර්මික විප්ලවය එන්නේ චීනෙන්. නමුත් අපේ පාසැල් වල, විශ්ව විද්‍යාල වල උගන්වන්නේ වෙන දෙයක්. රජයේ සේවකයෝ මෙලෝ හසරක් දන්නේ නෑ. පාර්ලිමේන්තුව දන්නේ නෑ. මාධ්‍ය දන්නේ නෑ.
ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
© De Silva