සේනක බටගොඩගේ ගීත තහනම සහ කණට විලංගු දැමීම.

Senaka Batagoda

ජනප්‍රිය ගායන ශිල්පී සේනක බටගොඩ හට ගීත 07 ක් ගායනා කිරීම වලක්වන වාරණ නියෝගයක් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් අප්‍රේල් මස 02 නිකුත් කර තිබේ. සේනක බටගොඩ සමග මෙම ගීත නිර්මාණය කිරීමට දායක වූවා යැයි සැලකෙන ජනත් කුලතිලක විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ කොළඹ වානිජ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව ගායන ශිල්පී සේනක බටගොඩ ගායනා කරන ජනප්‍රිය ගීත වන සැනසෙන්නම් මා, අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පනක් තියෙනවා, හොඳම දේ, යන ගීත 07 ගායනා කිරීම තහනම් කර තිබෙනවා.

ජනත් කුලතිලක හා සේනක බටගොඩ යන අය එක්ව මෙම ගීතවල පද රචනය, තනු නිර්මාණය, සහ සංගීත සංයෝජනය කළ බවත්, ඒ සඳහා කර්තෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් 2022 අංක 08 දරණ බුද්ධිමය දේපල (සංශෝධන) පනත අනුව නඩු පැවරීමට සිදුව තිබේ. ජනත් කුලතිලක වෙනුවෙන් නීතිඥ සඳුන් සේනාධිපති පෙනී සිටි අතර සේනක බටගොඩ වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොවීය.

මේ සම්බන්ධව සමාජ ක්‍රියාකාරිකයෙක් සහ නිර්මාණ ශිල්පියෙක් වන චින්තන ධර්මදා තමන්ගේ මුහුණුපොතේ මෙසේ සටහන් කර තිබුණා.

‘‘සේනක බටගොඩට එයාගෙ හොඳම සිංදු හතක් ගායනා කරන්න තහනම් කරලා කියල ප්‍රවෘත්තියක් ඊයෙ දැක්කා. ඒක වෙලා තියෙන්නෙ ඒ සිංදු ලියපු, ඒවාට තනු හදන්නත් දායක වුනා කියන කෙනෙක් තමන්ට හිමි ලාභයේ කොටස ඉල්ලා නඩු පැවරීම. ඒක බැලුබැල්මට අසාදාරණයක් නෙමෙයි.

ඒත් මේ බුද්දිමය දේපොල කතන්දර හින්ද අන්තිමට වෙන්නෙ මොකක්ද? ඒ ගීත අහන උන්ට ඒවා අහිමි වෙන එක. ගායකයෙකුගේ හඩ නවත්තන්න අණ කරනවා කියන්නෙ අපේ කණට විලංගු දානවා කියන එකයි. මේ වගේ සාහිත්‍ය හෝ කලාව සම්බන්ද දේකදි බලන්න ඕන කාරණය වෙන්නෙ ඒකෙන් අදාල සංස්කෘතික නිෂ්පාදනයට සිද්ද වෙන්නෙ රුකුලක්ද බාධාවක්ද කියන එකයි. මොකද ඒක සමාජයට බලපාන කාරණයක්.

එතනදි සංස්කෘතික නිෂ්පාදනයට බාධාවක් නොවන තීන්දුවලට යන එකයි වැදගත්. තමන්ගේ කොටස ගෙවලා නැත්තං ඒ කොටස ලැබීමට අවශ්‍ය කටයුතු සැලසීම, කොපි කරලා නං ඒ කොපියට අදාල ගෙවීම කිරීමට සැලැස්වීම වගේ එළඹුමක් මිස වාරණ නියෝග පැනවීම කියන්නෙ සංස්කෘතික නිෂ්පාදනවලදි ලොකු අසාධාරණයක් වෙනවා. මේකට හේතු වෙන්නෙම ගීත හෝ වෙනත් නිර්මාණ ඉඩම් දේපොල හා සමානව සැලකීම නිසයි. ඒක සම්පූර්ණ වරදක්.

ගීතයක් හෝ වෙනයම් නිර්මාණයක් කියන්නෙ meme එකක්. ඒක ප්‍රතිනිෂ්පාදනය වෙමින් පැතිරෙන ක්‍රියාවලියක්. ඒ සම්බන්ධ අයිතීන්, නීතින් සකස් විය යුත්තේම ඒ නිර්මාණ බෝවෙන්න, පැතිරෙන්න අවශ්‍ය ඉඩකඩ සලස්වන ආකාරයෙන්. නැතුව ඉඩමකට වගේ ඇතුල්වීම තහනම් බෝඩ් දාන ආකාරයට නෙමෙයි.

සේනක බටගොඩ සජීවීව අහන්න අපිට වැඩි කාලයක් නෑ. ඒ හින්ද වහාම ඒ ගීතවලට අදාල හඩ නිදහස් කිරීමයි සිද්ද විය යුත්තෙ. මුදල් ගෙවීමක් වගේ කාරණයක් මත සිංදු කියන්න තහනම් පැනවීම කියන්නෙ සංස්කෘතික අපරාධයක්.’’

Social Sharing
අවකාශය නවතම