‘තත්පරයක් දෙන්න‘ තත්පරයෙන් එපා වූ හැටි

ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වන ‘තත්පරයක් දෙන්න‘ කාලෙක ඉඳන් බලන ටෙලියක් යූ ටියුබ් හරහා. වන්නකුගේ නිල නොලත් රහස් පරීක්ෂක භූමිකාව ඇතුළු කළු සල්ලි සුදු කරන, පරිගණක දත්ත හොරකම් කරන කෑලි ටිකක් තියෙන නිසාත්, අන්තිමට කිව්ව මාතෘකාව මගෙ වැඩ කරන විෂයකට අදාළ වන නිසාත් දාගෙන බැලුව ටෙලියක්. ගිය සතියෙ අන්තිම විනාඩි කිහිපයෙදි මට මේ ටෙලිය තත්පරෙන් එපා වෙනවා. ඒකට හේතුව, බන්ධනාගාර පාලිකාව (චරිතය කරන්නෙ සේමිණී ඉද්දමල්ගොඩ), බන්ධනාගාරය තුළ සිද්ධ වෙන පිහි ඇනුම් දෙකක් සම්බන්ධයෙන් සැකකාරියකට පහර දෙන විලාසය දීර්ඝ වශයෙන් පෙන්වීම. සමීප රූප වගේම, දුරස්ථ සහ බොඳ වූ රූප වලත්, ඇය එම රැඳවිය බිම දාගෙන බෙල්ට් එකෙන් පහර දෙන හැටි පෙන්නනවා. කිසි හිරිකිතයක් නැතිව.

ඒ වගේම අද කතාව පටන් ගන්නෙ ඒකෙ ෆ්ලෑෂ් බැක් එකක් විතරක් නෙවෙයි, රිපීට් එකකුත් එක්ක. දෙබස් මෙහෙමයි.
බ්‍රිජට් – ‘ෂා රූපා.. මේකිට හරි ලස්සන දත් වහල්ලක් තියෙනවනෙ..
රූපා – ‘‘මොකක්ද මැඩම් ඕනෙ?‘‘

බ්‍රිජට් කිසිවක් කියන්නේ නැහැ. නමුත් ඇගේ මුහුණු බස තේරුම් ගන්නා රූපා ආපසු එන්නේ පොල්ලක් අරගෙනයි.
ප්‍රචණ්ඩත්වය උත්කර්ෂයට නංවන්න අපි මෙච්චර පෙරේත ඇයි? දශක ගණනක් තිස්සේ ස්ට්‍රක්චරල් සහ සිස්ටමික් වයලන්ස් එක්ක ජීවත් වෙලා පාළුයි වගේ නිසාද?
මොකක් හරි හේතුවකට මට දැන් මේ ටෙලිය බලද්දි ශ්‍රියානි සිල්වා එ. ඉද්දමල්ගොඩ (SCFR – 471/2000) මූලික අයිතිවාසිකම් නඩුව මතක් වෙනවා. ඉද්දමල්ගොඩ කියන්නෙ චානක ඉද්දමල්ගොඩ. මේ ඉද්දමල්ගොඩ සහ සේමිණී ඉද්දමල්ගොඩ අතර සම්බන්ධයක් තියෙනවද නැද්ද කියල දැන් අහන්න එපා. ඇත්තටම මම දන්නෙ නෑ. මං හිතන්නෙ ඒක අදාළත් නෑ. සේමිණී අති දක්ෂ චරිතාංග නිළියක්. චානක ඉද්දමල්ගොඩ කියන්නෙ ඒ කාලෙ කළුතර පයාගල පොලිසියෙ ඕඅයිසී. ඒ කියන්නෙ ස්ථානභාර නිලධාරියා. පොලිසිය විසින් කෙනෙක් ව ‘ඇතුළට දානව‘ කියල කියන්නෙ එයාව රැකවරණ භාරයට ගන්නව කියන එක. ඒ කියන්නෙ උසාවි දානකල් ‘පරිස්සම් කරන්න‘. පොලිසියක් වුණත් බන්ධනාගාරයක් වුණත් රැකවරණ භාරය (කස්ටඩි) කියන්නෙ කස්ටඩි. වධහිංසා කරන්න, ඒ වගේ තැන්වලදි බෑ. එහෙම වුණොත් ඒකෙ පළවෙනි වගඋත්තකාරයා වෙන්නෙ ඕඅයිසී. ලංකාව 1994 දි වධහිංසාවට එරෙහි පනත සම්මත කළා. ඒකෙන් වැඩිපුරම චෝදනා ලබන්නෙ පොලිස් නිලධාරියො. අවාසනාවකට වගේ නීතිපති උපදෙස් පතන්න ගියාම නඩු බ්ලොක් වෙනවා. තවමත් ලංකාවෙ මං හිතන්නෙ නඩු 10 කට වඩා මේකෙන් අහල ඉවර කරල නෑ.
කතාව මේකයි. කළුතර පයාගල පොලිසියෙන් ලසන්ත ජගත් කුමාර ව හමුදාවෙන් පැනල ආව කියන චෝදනාවට 2000 .06.12 දා අත්අඩංගුවට අරන් දින 5 ක් රඳවා තියාගන්නවා. ඊට පස්සෙ ජූනි 20 දින කොළඹ මැගසින් බන්ධනාගාර රෝහලේදී ඔහු මිය යනවා. මොට ආයුධවලින් තිරිසනුන් සේ පහර දී ස්නායු කැඩී ලේ වහනය වී වකුගඩු අක්‍රිය වෙලා හත් දවසක් තිස්සෙ මුත්‍රා පහ කරන්න බැරිව ඉඳලයි ඔහු මිය යන්නෙ.

ඔහු මිය ගියාම ඔහුගෙ භාර්යාව වන ශ්‍රියානි සිල්වා මූලික අයිතිවාසිකම් නඩු පවරනවා. ඒ නඩුවෙ තීන්දුව ඓතිහාසිකයි. මූලික අයිතිවාසිකම් කඩවීමකදී තුන්වැනි පාර්ශවයකට, එනම් මිය ගිය තැනැත්තාගේ කලත්‍රයා හෝ නීතීඥවරයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න තියෙන අයිතිය නඩු තීන්දුවෙන් ලබාදෙන්නෙ ලංකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිත අයිතියක් විදිහට දීල නැති ජීවත් වීමේ අයිතිය ලබාදෙමින්.

කතාව මේකයි. මිනිස්සු පරිණාමය වෙන්නෙ තිරිසනුන්ගෙන්. අපේ ඉඩ් එක ඇතුළෙ ප්‍රචණ්ඩ වීමේ ආශාව තියෙනවා. ඒ කියන්නෙ ඔබ කොයි තරම් මනුස්සද කියන එකට ඔබ කොයි තරම් ප්‍රචණ්ඩ ද කියන එක ප්‍රතිලෝම ව සමානුපාතිකයි.

පයාගල පොලිසියට එරෙහිව වධහිංසා නඩුව ඇදගෙන යමින් මහා සටනක් දුන්/ අදටත් දෙන ලසන්ත ජගත් කුමාරගෙ සහෝදරිය අමිතා අක්කා Amitha Priyanthi වගේ අය මේ වගේ ටෙලියක් බැලුවොත් කොයි තරම් කම්පනයකට ලක් වෙයිද කියල මට හිතාගන්න බැහැ. ‘ලංකාවෙ යුක්තියේ කතාන්දරය‘ කියල Basil Fernando සංස්කරණය කළ , වධහිංසාව වෙනුවෙන් වැඩ කරන සංවිධාන ගණනාවක් විසින් ලේඛනගත කරපු සිද්ධි 410 ක පොත පරිවර්තනය කළ කෙනා විදිහට මම පොලිසියෙ තිරිසන් ඉතිහාසය ගැන කම්පනයට පත් වෙනවා. මගේ සේවාදායකයන්ගෙ අත්දැකීමුත් ඇතුළත් ව.

අමිතක්කේ, බැරි වෙලාවත් මේ ජරාව නම් බලන්න එපා ප්ලීස්..

 

 

 

 

 

Social Sharing
නවතම පුවත් විශේෂාංග