සෑම මට්ටමකම තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා කාන්තාවන් අන්තර්කරණය කර ගැනීම සඳහා වන කාන්තා සම්මන්ත්‍රණය

ශ්‍රී ලංකාව තුල පවතින ප්‍රධාන ගැටලුවක් වන්නේ අභිලාෂයන් සහ යථාර්ථය, වචන සහ ක්‍රියාව, නීති සහ ඒවා ක්‍රියාත්මක කිරීම අතර පවතින පරතරයයි. ස්ත්‍රී පුරුෂ සමජභාවයට අදාළ සම්බන්ධතාවයන් ඒ අනුව ව්‍යතිරේඛයක් නොවේ. ජාතික සාම මණ්ඩලය (NPC) විසින් සංවිධානය කරන ලද ප්‍රජා සහභාගීත්වය තුළින් අන්තර්කරණය සඳහා කාන්තාවන් සංවිධානය කිරීමේ ව්‍යාපෘතිය (WOICE) සඳහා වන ඉගෙනුම් සහ උපදේශන සම්මන්ත්‍රණය හරහා රට පුරා දිස්ත්‍රික්ක හතකින් කාන්තා නායිකාවන් සහ ක්‍රියාකාරිනියන් 120 කට වැඩි පිරිසක් එක්රැස් කරන ලදී. පුරවැසි පාර්ශවයෙන් සලකා බලන විට නීතිය පිළිබඳ දැනුම නොමැතිකම සහ රාජ්‍යය විසින් ඒවා ක්‍රියාත්මක කිරීම ප්‍රධාන නිරීක්ෂණවලින් එකක් වේ.

මෙම අවස්ථාවට එක් වූ ගරු. පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සභාව ආමන්ත්‍රණය කරමින් ඉල්ලා සිටියේ ඉදිරි මැතිවරණ සන්දර්භය තුළ දී එක් එක් ඡන්ද දායකයින්ට ලබා දෙන මනාප තුනෙන් එකක් හෝ කාන්තා අපේක්ෂකයින් සඳහා ඡන්දය ලබා දීමට භාවිත කරමින් මනාප ඡන්ද ක්‍රමය භාවිත කළ හැකි බවයි. එසේම ගරු. මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මිය පෙන්වා දුන්නේ, මානව හිමිකම් සහ විශේෂයෙන්ම කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නවලදී සුළු පිරිසක් හැරුණු විට, තේරී පත් වූ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් එක්ව නැඟී සිටිමින් පාර්ලිමේන්තුව තුළ දී සහයෝගීතාවයෙන් ක්‍රියා කල බවයි. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳව වන හිටපු එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ආචාර්ය රාධිකා කුමාරස්වාමි සෝමාලියාවේ උදාහරණයක් දක්වමින් පෙන්වා දුන්නේ ගෝත්‍ර පහක් එකිනෙකා සමඟ සටන් කර මරා ගත් බවත් ඉන් පසු කාන්තාවන් විසින් 6 වන ගෝත්‍රයක් පිහිටුවා ගත් බවයි. එසේම එය සෝමාලියානු කාන්තා ව්‍යාපාරය බවට පත් වූ අතර පාර්ලිමේන්තුවෙහි සියයට 12 ක කෝටාවක් ඔවුන් විසින් ලබා ගත් බව ඇය තවදුරටත් අවධාරණය කළේය.

කාන්තා ප්‍රජා නායිකාවන් විසින් මෙම අවස්ථාවට පැමිණ සිටි ජාතික මට්ටමේ දේශපාලන නියෝජිතයන් වෙත වාර්තාවක් භාර දෙන ලදී. WOICE ව්‍යාපෘතියේ කාන්තා නායිකාවන් දිස්ත්‍රික් හත පුරා සිදු කරන ලද කාර්යයන් සහ ඔවුන් විසින් විසඳිය යුතු සාකච්ඡා හා සංවාදයෙන් මතු කරගත් ගැටලු සහ කාන්තාවන්ට පමණක් නොව සමස්ත සමාජයටම ගැටලු බවට පත්ව ඇති හඳුනාගත් ගැටලු විසඳීම සඳහා යෝජනා කරන ලද නිර්දේශයන් මෙම වාර්තාව මඟින් සාරාංශ කර දක්වයි.

ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගෙන් සියයට 56කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන්ගෙන් සමන්විත වුවද, පාර්ලිමේන්තුවට තේරී පත් වූවන්ගෙන් සියයට හයකට වඩා අඩු ප්‍රමාණයක් කාන්තාවන් වේ. 2018 පළාත් පාලන මැතිවරණයේදී ප්‍රාදේශීය මට්ටමින් සියයට 25ක කාන්තා නියෝජනය සහතික කිරීම සඳහා පනවන ලද නීතිය වසරකට වැඩි කාලයක් තිස්සේ නිද්‍රාශීලීව පැවතීම සම්බන්ධයෙන් කනගාටුවට කරුණක් වන්නේ මෙම පළාත් පාලන මැතිවරණය නිසි කලට පැවැත්වීමට රජය අපොහොසත් වීමයි. මෙම සම්මන්ත්‍රණය අමතා කතා කළ ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් විශේෂයෙන් කල් පවතින විසඳුම් සැකසීමේ දී මෙම සංක්‍රාන්ති කාලය තුළ අන්තර්කරණය කිරීමේ වැදගත්කම ගැන සඳහන් කළා ය. සියලුම ජන කොටස්වල යහපැවැත්ම සපුරාලිය හැකි ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් අංගයක් ලෙස කාන්තාවන් අන්තර්කරණය කිරීම කළ යුතු බව ඇය විසින් පෙන්වා දුන්නාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන පරිදි ගත වූ මාස 14 තුළ රජය විසින් නව නීති 42ක් සම්මත කර ඇති අතර රටේ ආර්ථික පරිවර්තනය සහතික කිරීම සඳහා තවත් නීති 62ක් ක්‍රියාත්මක වෙමින් පවතී. ජාතික කාන්තා කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු කාන්තා අයිතිවාසිකම්වලට අදාළ නීති කෙටුම්පත් දෙකක් ද මේ අතර වේ. එසේම NPC විසින් තමන් සම්මත කරන නීති ක්‍රියාත්මක කිරීම සහතික කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තවදුරටත් රජයෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා කාන්තා අධ්‍යාපනයෙහි ඉහළ මට්ටමක් තිබියදීත්, 2023 අගෝස්තු වන විට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පිළිබඳ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) ශ්‍රේණිගත කිරීම්වලට අනුව රටවල් 187 කින් ශ්‍රී ලංකාව 180 වැනි ස්ථානයට පත්වීම අතිශය භයානක තත්ත්වයකි. සම්මත කරන ලද නීති සැබෑ ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ජාතික මට්ටමින් තීරණ ගැනීමේ ක්‍රියාවලියට කාන්තා සහභාගීත්වය ලබා ගැනීම අතිශයින් වැදගත් වේ. ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී කාන්තා සහ අනෙකුත් ආන්තික කණ්ඩායම් සඳහා ප්‍රමාණවත් නියෝජනයක් සහතික කිරීම සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමේදී ස්වේච්ඡා කෝටා ක්‍රමයක් සම්මත කරන ලෙස අපි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිමු.

-ජාතික සාම මණ්ඩලයේ මාධ්‍ය නිවේදනයකි-

Social Sharing
නවතම විශේෂාංග