විකට් පොල්ලෙන්, එස්ලෝන් බටෙන් විසඳෙන ලංකාවේ අපරාධ පරීක්ෂණ

paliyagoda police Murder

ජංගම දුරකතනයක් සොරකම් කළේ යැයි සැකපිට ස්වාමි දුවක විසින් පොලිසියට භාර දෙන ලද සැකකරුවකුට විකට් පොල්ලකින් පහර දී වධ හිංසා කර මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ පෑලියගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනකුට කොළඹ මහාධිකරණය ඊයේ (04දා) මරණ දඬුවම නියම කළේය.

විත්තිකරුවන්ට එරෙහිව දඬුවම් නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා චුදිත තැනැත්තන් සමස්ත පොලිස් සේවයටම අපකීර්තියක් ගෙනදුන් බව ප්‍රකාශ කර සිටියේය. දුරකතනයක් සොරකම් කිරීම වැනි සුළු අපරාධයකට ජීවිතයක් නැති කිරීම බලවත් වරදක් බවත් සාම නිලධාරියකු වන පොලිස් නිලධාරියා දඬුවම් නියම කිරීම මඟින් නැති බලයක් ආරෝපණය කරගෙන ඇති බව ප්‍රකාශ කළේය.

තවද චුදිතයකු සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමේ බලය ඇති අධිකරණයකට වුවද එය කළ හැක්කේ සාධාරණ නඩු විභා‍ගයකින් පසුව බව ප්‍රකාශ කළ විනිසුරුවරයා සමහර පොලිස් නිලධාරීන්ගේ මෙවැනි ක්‍රියා මඟින් පොලිසිය ගැන ජනතාවට ඇති විශ්වාසය පළුදු වන බව කියා සිටියේය.

මහාධිකරණ විනිසුරුවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියේ පෑලියගොඩ පොලිස් ස්ථානයේ දී රඳවාගෙන සිටිය දී 2005 වසරේ පෙබ: 14දා මරණයට පත්ව ඇති හෙට්ටිආරච්චිගේ අබේසිරි නොහොත් රංජිත් නමැති තැනැත්තාගේ මරණය සම්බන්ධයෙන් පැවැති නඩුවක තීන්දුව දෙමිනි.

සැකකරුවකු සාපරාධී ලෙස පොලිස් ස්ථානයේ රඳවා ගෙන අමානුෂික ලෙස වධහිංසා කිරීම හා ඔහු මරණයට පත් කිරීම ඇතුළු අධි චෝදනා 7ක් යටතේ පෑලියගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ පරිපාලන නිලධාරි ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් 2008 වසරේ දී මෙම නඩුව ගොනුකර තිබේ.

විත්තිකරුවන්ට එරෙහිව දීර්ඝ නඩු විභාගයක් පැවැති අතර එහිදී මියගිය තැනැත්තා පෑලියගොඩ පොලිසියට භාරදුන් ගෙහිමි කාන්තාව වන නිරෝෂා සංජීවනී රත්නායක, පහර දීම සිදු වන අවස්ථාවේ පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවකු වන අශෝක් කුමාර්, මිය ගිය තැනැත්තා සමඟ අත්අඩංගුවට ගත් ඔහුගේ බෑණා, විශ්‍රාමික මූලස්ථාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උමගිලිය, පොලිස් ස්ථානයේ ගේට්ටු මුරකරු ඇතුළු සාක්ෂිකරුවන් 13 දෙනකු පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන්නේය.

ගෙහිමි කාන්තාව සාක්කි දෙමින් මිය ගිය තැනැත්තා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බව කියා සිටියාය. සිය වාහනයෙන් රාත්‍රී 9.00ට පමණ පොලිසියට ගෙන ගොස් භාර දුන් අත්උදව්කරු පොලිසිය නැවත පාන්දර තම නිවෙසට රැගෙන ආ බව සාක්කිකාරිය කියා සිටියාය. තමන් නැවත පොලිස් ස්ථානයට යන විට අත්උදව්කරු ඇවිදගත නොහැකි තත්ත්වයේ සිටි බව ඇය වැඩිදුරටත් කිව්වාය.

එසේම සැකකරු රඳවාසිටි සිරමැදිරියේ සිටි සැකකරුවකු සාක්කි දෙමින් පළමු විත්තිකරු මියගිය තැනැත්තාගේ අත ජනේල් කවුළුවකට එක්කර මාංචු දමා තිබූ මුහුණට පහර දුන් බවත් කියන ලදි. එහි දී දෙවැනි විත්තිකරු මියගිය තැනැත්තාට විකට් පොල්ලකින් පහර දුන් බව කියා සිටියේය.

අධිකරණ වෛද්‍යවරයා සාක්කි දෙමින් තමන් මරණ පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් පවත්වා ඇති නමුත් මේසා විශාල දරුණු තුවාල තිබෙන ආකාරයේ පහරකෑමකට ලක්වූ තැනැත්තකුගේ මරණ පරීක්ෂණ පවත්වා ඇත්තේ ස්වල්පයක් බව කියා සිටියේය.

මියගිය තැනැත්තාගේ ශරීරයේ ස්ථාන 26ක තුවාල ඔහු හඳුනාගත් බවත් ඒවායින් 15ක් අභ්‍යන්තර තුවාල බවත් එයින් එක් තුවාලයක් වුවත් මරණය සිදුවීමට ප්‍රමාණවත් බවත් කියා සිටියේය. තවද ඒවා මොට ආයුධයකින් පහරදීමෙන් සිදු වූ ඒවා බව කීවේය.

මියගිය තැනැත්තාගේ උරහිස්, අස්ථි තැන් කිහිපයකින් බිඳි ඇති බවත් පපුව පිටුපස සෙ.මී. 32ක් විශාල තුවාලයක් සිදුව ඇති බවත් කියා සිටියේය. මොට ආයුධයකින් පහරදීම නිසා ඇති වූ අභ්‍යන්තර රුධිරය වහනය වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට ඔහු විශේෂඥ සාක්ෂියක් දෙන ලදි.

ගෙහිමි තැනැත්තියගේ හා වධහිංසා සිදුවූ ස්ථානයේ සිටි රැඳවුම්කරුගේ ඇසින් දුටු සාක්ෂිය විශ්වාසනීය සාක්ෂි බව ප්‍රකාශ කළ විනිසුරුවරයා ඒවා අධිකරණ වෛද්‍යවරයාගේ හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සමඟ මනාව සැසැඳෙන බව ප්‍රකාශ කළේය.

සියලුම සාක්ෂි සම්පිණ්ඩනය කළ මහාධිකරණ විනිසුරුවරයා ජංගම දුරකතනයක් සොරකම් කළේය යන සැකය මත පැමිණිලිකාරියක විසින් පෑලියගොඩ පොලිස් ස්ථානයට භාර දුන් සැකකරුවකු ඉන් පැය 24කට පසු මළ සිරුරක් ලෙස රෝහලට ඇතුළත් කිරීමට උත්සාහ ගෙන ඇති බව ප්‍රකාශ කර සිටියේය.

මියගිය තැනැත්තා මත්පැන් පානය කර සිටි බව හා ඔහුට හදවත් රෝග ඇති බව විත්තිතරුවන් ප්‍රකාශ කළ ද එවැනි රෝග තත්ත්ව හෝ ඔහු මත්පැන් පානය කර නැති බව මරණ පරීක්ෂණයේ දී තහවුරුව ඇති බව කියමින් විනිසුරුවරයා නඩු තීන්දුව දෙමින් ප්‍රකාශ කර සිටින ලදි.

සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසියේ කිසිම ලේඛනයක විත්තිකරුවන් විසින් සටහන් කර නොතිබීම හා මූලස්ථාන පොලිස් අධිකාරිවරයා රැඳවූවන් ගණන් ගැනීම කරන අවස්ථාවේ සැකකරු පිටතට ගෙන යෑම ද විනිසුරුවරයාගේ අවධානයට ලක් විය.

පහරදීම් පිටතට දිස්නොවන ආකාරයට සැලසුම්සහගත ලෙස සිදු කිරීම මරණය සිදු කිරීමේ පොදු අරමුණක් විත්තිකරුවන්ට තිබුණු බවට සාධකයක් බව කියා සිටියේය. මෙම සමස්ත කරුණුවලට අනුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව සනාථ කර ඇති බව ප්‍රකාශ කළ විනිසුරුවරයා පළමු හා දෙවැනි විත්තිකරුවන් වැරැදිකරුවන් බව ප්‍රකාශ කළේය.

විත්තිකරුවන් වැරැදිකරුවන් බව තීරණය කිරීමෙන් පසු දඬුවම් නියම කිරීමට පෙර නිදහසට කරුණු දක්වන ලෙස විනිසුරුවරයා නියෝග කරන ලදි.

එහි දී පළමු විත්තිකරු ස්වාමීනි, මා මිරිහාන පොලිස් හදිසි ඇමතුම් අංශයේ සේවය කර කෙටි පුහුණුවකින් පසු පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත කර සේවය කළා. අපරාධ අංශයේ කටයුතු ගැන මම පුහුණුවක් ලබා නැහැ. මා මේ අංශයේ සේවයට වාර්තා කළ දින මගේ උසස් නිලධාරියා වන උමගිලිය මහතා ඔහුගේ නියෝගවලට පිටින් වැඩ නොකරන ලෙස දැනුම් දුන්නා. මා එම නියෝගය පිළිපැද්දා. මරණකරු අත්අඩංගුවට ගැනීම, පරීක්ෂණ සඳහා පිටතට ගෙන යෑම හා රෝහල්ගත කිරීම යන සෑම අවස්ථාවකදීම දුරකතනයෙන් ඔහුට දැනුම් දුන්නා. ඔහු රජයේ සාක්ෂිකරුවකු ලෙස මේ නඩුවේ සාක්ෂි දුන්නා. උසස් පොලිස් නිලධාරීන් බේරී පොඩ්ඩන් වරදකරුවන් කර තිබෙනවා. මා නිර්දෝෂියි ස්වාමිනී, මේ කිසිම චෝදනාවකට මා වගකිවයුතු නැහැ යැයි කීය.

අනතුරුව විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කළ දෙවැනි විත්තිකරු ස්වාමීනි, මා පොලිස් සේවයට එක්ව වසර 11ක් සිටියත් අපරාධ අංශයේ කටයුතු ගැන විධිමත් පුහුණුවක් ලබා නැහැ. උසස් පොලිස් නිලධාරීන් ඇඟ බේරාගෙන අපට වරද පටවා තිබෙනවා. මේ චෝදනා නිසා මගේ විවාහය දෙදරා ගියා. දරුවා මා භාරයේ සිටිනවා. 84 හැවිරිදි මහළු මව රැකබලා ගැනීමට සිටින්නේ මා පමණයි යැයි කීවේය.

මේ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් පෑලියගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන කඹුරුගමුව ලොකු ආරච්චිලාගේ චමින්ද කුමාර හා හිටපු කොස්තාපල්වරයකු වන සුදු අප්පුලාගේ අනුර වීරවර්ධන යන දෙදෙනා ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කළ මනුෂ්‍ය ඝාතන චෝදනාවට වරදකරු කර මරණ දඬුවම නියම කළේය.

මෙයට අමතරව විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් වූ 1, 4 යන චෝදනාවන්ට අතිරේකව වසර 12 බැගින් බරපතළ වැඩ සහිතව සිරදඬුවමක් හා රුපියල් 50, 000ක දඩ මුදල් නියම කළේය.

එයට අතිරේකව පියාගේ මරණයෙන් පසු ආර්ථික දුෂ්කරතා නිසා මැදපෙරදිග රටක ගෘහ සේවයයට ගොස් සිටින දියණියට මව්බිමට පැමිණි දිනෙක ගත හැකි ආකාරයට ලක්ෂ 20ක වන්දියක් උසාවියේ තැන්පත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය. එම දඩ හා වන්දි නොගෙවන්නේ නම් වසර 4ක ලිහිල් වැඩ සහිත සිරදඬුවම් නියම කර ඒවා වෙන වෙනම ගෙවෙන ලෙස දඬුවම් නියෝග කළේය.

නඩුවේ සෙසු පාර්ශ්වකරුවන් වූ තුන්වැනි හා සිවුවැනි විත්තිකරුවන් වන පෑලියගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ පරිපාලන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාවුස් දසනායක හා පොලිස් සැරයන් මොහොමඩ් අමින් අජිස් ඔවුන්ට එරෙහි චෝදනාවන්ගෙන් නිදහස් විය.

රජයේ අධිනීතිඥ චතුරි විජේසූරිය පැමිණිල්ල මෙහෙය වූ අතර 3, 4 විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ ශවින්ද්‍ර රුද්‍රිගූ පෙනි සිටින ලදි.

පො.සැ. අනුර ජයන්ත රත්නායක (35432) විසින් සාක්ෂි ඉදිරිපත් කිරීම කරන ලදී.

 

ඡායාරූපය – සුදත් මලවීර

චන්දන ජයවීර

www.dinamina.lk

Social Sharing
අවකාශය නවතම විශේෂාංග