යුද-දේශපාලනික පසුබිම තුළ මුලින් එන්නෙ මොන ඡන්දෙද?

අජිත් පැරකුම් ජයසිංහ

පාර්ලිමේන්තු ඡන්දය පිළිබඳ තීරණයක් ගැනීමේ බලය ජනාධිපතිවරයාට තිබේ. ඒත්, ජනාධිපතිවරණය නියමිත කාලයට කලින් පවත්වන්නට වර්තමාන ජනාධිපතිවරයාට බලතල නැති බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයන් පවස්. දැන් ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කලින් විසුරුවයිද, නැද්ද කියන එකයි.

බොහෝ අවස්ථාවලදී ජනාධිපතිවරණය පවත්වා තිබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙරයි. 1982ී ජනාධිපතිවරණය පවත්වා, ඉන් පසු ජනමත විචාරණයක් පවත්ව අතුරු මැතිවරණ 18ක් පවත්වන ලැබුවේ 1983දීයි.

1988 නොවැම්බර් ජනාධිපතිවරණය පැවැත්වූ අතර මහ මැතිවරණය පැවැත්වුණේ 1989 පෙබරවාරි මාසයේදීය

1999 දෙසැම්බර් මස ජනාධිපතිවරණය පැවැත්වෙන අතර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ ඉන් පසුව 2000 ඔක්තෝබරයේදීයි. පාර්ලිමේන්තුව ස්ථාවර කරගන්නට නොහැකි වන නිසා 2001 දෙසැම්බරයේදී නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නට සිදු වේ. රනිල් වික්‍රමසිංහ අගමැති වෙමින් ද්විත්ව බලයක් නිර්මාණය වේ.

2004දි ‌ගැඹුරු බල අර්බුදයක් නිර්මාණය විය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව අතර ගැටුමක් නිර්මාණය විය. ඒ නිසා චන්ද්‍රිකා පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැර 2004 අප්‍රේල් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවාය. ජනාධිපතිවරණය පැවැත්වුණේ 2005 නොවැම්බර් මාසයේදීය.

2010දිත්, ජනාධිපතිවරණය ජනවාරිවල පැවැත්විිි. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණේ අප්‍රේල්වලය.

2015දී ජනාධිපතිවරණය ජනවාරි මස පැවැත්වුණ අතර මහ මැතිවරණය පැවැත්වුණේ අගෝස්තු මාසයේදීය.

2019 නොවැම්බර් මස ජනාධිපතිවරණය පැවැත්වුණ අතර මහ මැතිවරණය 2020 අගෝස්තු මස පැවැත්විණි.

බලයේ සිටින හෝ බලයට එන්නට අපේක්ෂා කරන ජනාධිපතිවරයා බොහෝ විට ජනාධිපතිවරණය කලින් පවත්වන්නට කැමති බව පෙනේ. ඔහුගේ/ ඇයගේ අරමුණ වේ වෙන්නට ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් උපරිම සහාය ලබාගැනීමයි. එහෙම නැතිනම්, තනි පුද්ගලයකුගේ ජනාධිපතිවරණ සටනට සංවිධායකයන් එතරම් උනන්දුවෙන් උරදේ නැත. 2005දී මහින්ද රාජපක්ෂ මෙම තත්වයට මුහුණ දුන් අතර, ජවිපෙ උපකාර නොලැබිණි නම්, ඔහු ජනාධිපතිවරණය ජයගන්නේ නැත.

ඒ අනුව බැලුවොත් ජනාධිපතිවරණය කලින් පැවැත්වෙන්නට ඉඩ තිබේ.

ඒ වගේම, ජනාධිපතිවරණය දිනන අපේක්ෂකයාගේ පක්ෂයට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය වාසිදායකය. ඒ නිසාත්, ජනාධිපතිවරණය කලින් පවත්වන්නට ඉඩ තිබේ.

ඒත්, මේ වන විට තත්වය වෙනය. ත්‍රස්තවාදී ඉතිහාසයක් ඇති, තවමත් ක්‍රම විරෝධී හෙවත් රාජ්‍ය විරෝධී දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ මෙම ආර්ථික අර්බුදය තුළ ජනප්‍රිය වී ඇත. ඔවුන් ජනප්‍රිය වී තිබෙන්නේ කිසිදු ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමෙන් නොවේ. එසේම, ඔවුන්ගේ දෘෂ්ටිවාදීමය පදනමින් ද නොවේ. ආර්ථික අර්බුදය නිසා ජනතාව තුළ ඇති වන අසහනකාරීත්වය මැද ඔවුන් කරන්නේ මෙතෙක් සිටි නායකයන්ට එරෙහිව වෛරය වැපිරීමයි. ඔවුන් ද පාර්ශ්වයක් වූ ඉතිහාසය සම්බන්ධ තම වගකීම් ද ඔවුන් ඉතා සූක්ෂම ලෙස මගහැර ඇත. කල්ලියක් අතට බලය පැහැරගැනීමේ පටු අභිමතාර්ථයෙන් යුතුව කරන මෙම දේශපාලනය සහ 1971, 1989 කැරැලි අතර මූලධාර්මික වෙනසක් නැත.

ආණ්ඩු බලය ගැනීම දේශපාලනයේ එකම අරමුණ ලෙස සලකන පක්ෂ, කල්ලි, කණ්ඩායම්වලට මේ අන්දමින් කටයුතු කිරීම හැර වෙනත් මාර්ගයක් ද නැත. එහෙත්, රාජ්‍ය දේශපාලනය යනු සම්පූර්ණයෙන්ම පක්ෂ දේශපාලනය පමණක් නොවේ. රාජ්‍යය ආරක්ෂා කරගැනීම අරමුණු කරන සියලු බලවේගවලට එහිදී වගකීම් බෙදී යයි. ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ආණ්ඩු දේශපාලනය හමුවේ රාජ්‍ය දේශපාලනය කුමන ආකාරයකින් හැසිරේද යන්නයි.

දැනට නිර්මාණය කර තිබෙන අසහනය, වෛරය, ඉච්ඡා භංගත්වය ප්‍රවර්ධනය කරන සමාජ රැල්ල තුළ ජනප්‍රියම දේශපාලන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ඊනියා මාලිමාව බව පැහැදිලිව පෙනේ. වෙනත්, ප්‍රබල මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක් නැතිකම ද එහිදී සැලකිල්ලට ගත යුතුය. ආණ්ඩු සන්ධානය පැත්තෙන් තවමත් ජනාධිපති අපේක්ෂකයකු ප්‍රකාශයට පත්කර නැත.

මෙවැනි සංදර්භයක් තුළ දේශපාලනය පෙළගැසෙන්නේ ජනප්‍රිය කැරැල්ලක් හා රාජ්‍යය ආරක්ෂා කරගැනීමේ සටනක් ලෙසය. එය විග්‍රහ කරගත යුත්තේ යුද-දේශපාලනික වශයෙනි. හුදු පක්ෂ දේශපාලනයෙන් නොවේ.

ජනාධිපතිවරණය මුලින් පැවැත්වීමේලා වැදගත් වන ජනාධිපති අපේක්ෂකයන්ගේ පෞද්ගලික හේතුවලට වඩා, මෙම සංදර්භය තුළ වැදගත් වන්නේ රාජ්‍යය ආරක්ෂා කරගැනීමේ මූලෝපායන්ය.

රාජ්‍ය විරෝධී දේශපාලනයට ජනාධිපතිවරණය වාසිදායක සූදුවකි. රාජ්‍ය විරෝධීන්ට පරාජය වළක්වාගැනීමේ උවමනාවට වඩා ජයග්‍රහණයේ අවදානම වැදගත්ය. මෙය මැනැවින් පෙන්වූ අවස්ථාවක් වන්නේ අවසාන ඊලාම් යුද්ධයයි. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය තෝරාගත්තේ ජයග්‍රහණයේ අවදානමයි. පරාජය වළක්වාගෙන තිරසාර අන්දමින් කටයුතු කිරීමේ උවමනාවක් ඔවුන්ට නොතිබිණි. මන්ද, ඒ වන විට ඔවුන් පරිවර්තනය නොවී තව දුරටත් ඉදිරියට යා නොහැකි උපරිමයට ළඟා වී සිටියහ. ජයග්‍රාහී සංදර්භයක් තුළ පරිවර්තනය වීම දුෂ්කර නමුත් පහසුය. වින් වින් තත්වයක් තුළ පවා පරිවර්තනය වීම පහසු නැත. වැඩිදුරටත් පැහැදිලි කරනවා නම්, වෙනම රාජ්‍යයක දුෂ්කර ජයග්‍රහණයක අවදානම ඔවුන්ට ‌ෆෙඩරල් රාජ්‍යයක සම්මුතියට වඩා දේශපාලනිකව වැදගත්ය. ඔවුන් පරාජය පෙනි පෙනීත් යුද්ධයම තෝරාගත්තේ ඒ නිසාය. ඒ් අවදානම ගැනීම දේශපාලනිකය.

ජනතා විමුක්ති පෙරමුණට ද මෙම සංදර්භය තුළ එක්කෝ උපරිම බලයක් සහිතව ආණ්ඩුව, නැතිනම්, විපක්ෂය යන තෝරාගැනීම් දෙකෙන් එකක් තෝරාගැනීමට සිදු වේ. එහිදී උපරිම බලයක් නොමැතිව ආණ්ඩුව යන තෝරාගැනීමට ඔවුන් යන්නට තිබෙන අවස්ථාව අඩුය. හේතුව, සන්ධාන තබා පක්ෂය තුළවත් බලය බෙදාගන්නා අය නොවන නිසාය. ජවිපෙ යනු දැඩි ලෙස බලය සංකේන්ද්‍රණය කරගන්නා පක්ෂයකි. ජාතික ජන බලවේගය නම් ඊනියා සන්ධානය පවා මුළුමනින්ම ජවිපෙ ආධිපත්‍යයට යටත් කිරීමෙන් එය මනාව පැහැදිලි වේ.

කෙතරම් බලයක් අල්ලා ගත්තත්, හුදෙක් වෛරයම ප්‍රවර්ධනය කර ගොඩනගාගන්නා සහායක පදනමේ සිටින මහජනයා සතුටු වන අන්දමින් රට පාලනය කිරීමේ කිසිදු ආර්ථික හැකියාවක් ජවිපෙට තබා මොන සක්කරයාටවත් නැත. දිගටම මෝරන මහජන අසහනය තුළ පාලනය ගෙන යාමට නම් ජවිපෙට උපරිම බලයක් අවශ්‍යය. උපරිම බලය ලැබුණත්, අවුරුදු දහයක්වත් යනකල් ගමන අතිශය දුෂ්කරය.

රාජ්‍යය පැත්තෙන් මේ මොහොතේ ජවිපෙට ප්‍රධාන විරුද්ධ පක්ෂය බවට පත්වීමට අවස්ථාව ලබාදීම අවාසිදායක නැත. ජවිපෙට ද ඒය ‌වාසිදායක සම්මුතියකි. ජවිපෙ සන්ධාන කෙරෙහි විශ්වාසය නොතබන සංදර්භයක් තුළ ‌පාකිස්තානයේ මෙන් ප්‍රධාන සම්ප්‍රදායික පක්ෂවලට සන්ධානයක් ඔස්සේ බලය රැකගැනීමට අවස්ථාවක් තවමත් තිබේ.

මුලින් මහ මැතිවරණයක් පැවැත්වීමට මෙය එක් සාධාරණ හේතුවකි.

Social Sharing
නවතම පුවත් විශේෂාංග