2023 සංචිත මුදල් සැපයුම

සල්ලි අච්චු ගැසීම ගැන පසු ගිය කාලයේ රටේ බොහෝ දෙනෙක් කතා කළා. මෙසේ කතා කළ ඇතැම් අයට සල්ලි අච්චු ගැසීම කියන සංකල්පය ගැන නිරවුල් අවබෝධයක් නොතිබූ බැවින් අප විසින් වරින් වර මේ හා අදාළ තාක්ෂණික කරුණු පැහැදිලි කර තිබෙනවා.

සාමාන්‍යයෙන් සල්ලි අච්චු ගැසීම යන්නෙන් අදහස් වන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. එය සිදු වන ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය, මහ බැංකුව විසින් අලුතෙන් මුදල් නිර්මාණය කර රජයට ණය ලෙස ලබා දීමයි. රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් මෙන්ම සෘජුව රජයට ණය දීම වැනි වෙනත් ක්‍රම හරහාද මෙය සිදු වෙනවා. සංචිත මුදල් ඉහළ යා හැකි දෙවන ආකාරය මහ බැංකුව විසින් අලුතෙන් මුදල් නිර්මාණය කර එම මුදල් වලින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීමයි.

ඉහත ක්‍රම දෙක අතරින් වැඩි දෙනෙකුගේ කතාබහට හා විවේචන වලට බඳුන් වන්නේත්, වඩා හානිකර වන්නේත් පළමු ක්‍රමයයි. ඊට හේතුව මහ බැංකුව විසින් විදේශ විණිමය මිල දී ගැනීමේ හැකියාව රටේ විදේශ විණිමය සැපයුම හරහා නෛසර්ගික ලෙස පාලනය වන නමුත් රජය විසින් ලබා ගන්නා ණය හා අදාළව එවැනි පාලනයක් නොමැති වීමයි. අලුත් මහ බැංකු පණත මගින් ඉලක්ක කළේ මෙම පාලනය ඇති කිරීමටයි.

ඉහත ප්‍රධාන ආකාර දෙකට අමතරව තවත් විවිධ ආකාර වලින් සංචිත මුදල් සැපයුම වෙනස් වන නිසා සංචිත මුදල් වෙනස් වීමට හේතු වන එක් සාධකයක් දෙස පමණක් බලා එය සල්ලි අච්චු ගැසීමක් සේ අර්ථ දැක්විය නොහැකි වුවත්, ඇතැම් අය මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය වැඩි වන විට ඊට සමාන සල්ලි අච්චු ගැසීමක් සිදුව ඇති බව ප්‍රචාරය කරනු අපට දැක ගත හැකි වුනා.

ලංකාවේ උද්ධමනය ඉතිහාසයේ කිසිදා නොපැවති ඉහළ මට්ටමක් දක්වා වැඩි වීමට මුදල් සැපයුමෙහි සිදු වූ විශාල ඉහළ යාම හේතු වූ බව ප්‍රචලිත කරුණක්. රටේ මුදල් සැපයුම ඉහළ යාමට හේතු වන ප්‍රධානම සාධකයක් වන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි.

විශේෂයෙන්ම 2021 වසර තුළ සංචිත මුදල් සැපයුමෙහි 35.4%ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා වුනා. එම වසර තුළ මහ බැංකුව විසින් රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය සංචිත මුදල් ප්‍රමාණයද ඉක්මවූ අතර මහ බැංකුවේ විදේශ වත්කම් සෘණ පැත්තට හැරුණා. ඒ කියන්නේ අලුතෙන් සල්ලි අච්චු ගසා රජයට ණය දෙනවාට අමතරව මහ බැංකුව ණය වී ලබා ගත් මුදල්ද රජයට ණය ලෙස ලබා දුන්නා. මෙය උද්ධමනය විශාල ලෙස ඉහළ යාමට මෙන්ම විණිමය අනුපාතය කෙරෙහි වූ මහ බැංකුවේ පාලනය ගිලිහීමටද හේතු වුනා.

කෙසේ වුවත්, 2022 වසර තුළ මහ බැංකුවේ ඉහළ පුටු මාරු වීමෙන් පසුව තත්ත්වයේ වෙනසක් දැකිය හැකි වුනා. එම වසරේ මුල් මාස වලදීද සංචිත මුදල් ඉහළ ගිය නමුත් පසුව එම ප්‍රවණතාව ආපසු හැරවුණු නිසා වසර තුළ සංචිත මුදල් ඉහළ ගියේ 3.3%කීන් පමණයි.
ගෙවුණු 2023 වසර තුළ සංචිත මුදල් කොපමණ ඉහළ ගොස් ඇත්ද? වෙනත් විදිහකින් කිවුවොත් ගෙවුණු වසර තුළ මහ බැංකුව විසින් කොපමණ සල්ලි අච්චු ගසා ඇත්ද?

පසුගිය වසර තුළ ඇත්තටම සිදු වී තිබෙන්නේ සංචිත මුදල් සැපයුම 1.5%කින් පහළ යාමක්. ඒ කියන්නේ පෙර වසර වල අච්චු ගැසූ සල්ලි වලින් කොටසක් සංසරණයෙන් ඉවත් කිරීමක්. මීට පෙර 2019 වසර තුළද මෙවැනි තත්ත්වයක් දැක ගත හැකි වුනා. පහත තිබෙන්නේ පසුගිය වසර කිහිපය තුළ සංචිත මුදල් වෙනස් වූ ආකාරය.

2017 අවසානයේදී – රුපියල් බිලියන 939.8
2018 අවසානයේදී – රුපියල් බිලියන 961.1
2019 අවසානයේදී – රුපියල් බිලියන 932.6
2020 අවසානයේදී – රුපියල් බිලියන 964.4
2021 අවසානයේදී – රුපියල් බිලියන 1,305.8
2022 අවසානයේදී – රුපියල් බිලියන 1,349.4
2023 අවසානයේදී – රුපියල් බිලියන 1,328.7

දිගින් දිගටම අලුතෙන් සල්ලි අච්චු ගැසීම නැවතී ඇතත්, 2021දී අලුතෙන් අච්චු ගසා සංසරණයට එකතු කළ මුදල් ප්‍රමාණය බොහෝ දුරට තවමත් එලෙසම ඇති බවත්, 2017-2020 පැවති මට්ටමට සාපේක්ෂව 2021-2023 සංචිත මුදල් මට්ටම වෙනම, ඉහළ මට්ටමක් බවත් ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති. උද්ධමනය, එනම් මිල ඉහළ යන වේගය, අඩු වී ඇතත් මිල මට්ටම අඩු වී නැත්තේ ඇයි කියන එකත් මේ ඇසුරෙන් තේරුම් ගැනීමට හැකි විය යුතුයි.

පසුගිය වසර තුළ රුපියල් බිලියන 20.7කින් සංචිත මුදල් අඩු වී තිබෙනවා. එයට ප්‍රධාන හේතුව මහ බැංකුව විසින් රජයට දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,432.5 සිට රුපියල් බිලියන 2,376.2 දක්වා රුපියල් බිලියන 1,056.3කින් පහළ යාමයි. 2019 අවසානය වන විට මහ බැංකුව විසින් රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 363.0ක් පමණක් වුවත්, 2022 වසර අවසන් වන විට එම ප්‍රමාණය රුපියල් බිලියන 3,432.5 දක්වා ඉහළ ගොස් තිබුණා.
මහ බැංකුව විසින් රජයට දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය අඩු වී තිබෙන්නේ රජය විසින් එම ණය මහ බැංකුවට ආපසු ගෙවා ඇති නිසා. එසේ රජය විසින් මහ බැංකුවට ණය ආපසු ගෙවීමේදී කලින් මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල් මහ බැංකුවට ආපසු ලැබෙනවා. මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීම පිණිස වැය කර තිබෙන්නේ එසේ ආපසු ලැබුණු රුපියල් බැවින් වසර තුළ වෙළඳපොළෙන් විශාල ලෙස විදේශ විණිමය මිල දී ගෙන ඇතත් ඒ හේතුවෙන් සංචිත මුදල් වැඩි වී නැහැ.

ආර්ථික අර්බුදයට පෙර, 2019 වසර අවසානයේදී, මහ බැංකුව සතුව රුපියල් බිලියන 896.0ක වටිනාකමැති ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයක් තිබුණා. එහෙත්, 2022 වසර අවසන් වන විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් රුපියල් බිලියන 1,613.7ක සෘණ අගයක්, එනම් එපමණ ශුද්ධ විදේශ බැරකමක් ලෙස වෙනස් වී තිබුණා. මහ බැංකුව විසින් පසුගිය වසර තුළ විදේශ විණිමය එකතු කර ගැනීම නිසා වසර අවසාන වන විට ඉහත විදේශ වත්කම් හිඟය රුපියල් බිලියන 837.3 දක්වා අඩු වී තිබෙනවා.

මේ සමඟ තිබෙන ප්‍රස්ථාරයේ ඔබට දැකිය හැක්කේ සංචිත මුදල් සැපයුම සහ රටේ නිවාස ඒකකයක සාමාන්‍ය මාසික වියදම (ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසේ වියදම) විචලනය වී ඇති ආකාරයයි.
#ඉකොනොමැට්ටා

Social Sharing
නවතම පුවත් විශේෂාංග