සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති රාජ්‍යය විනාශ වෙයිද? පරිවර්තනය වෙයිද?

Sinhala Buddhist dominant state

-අජිත් පැරකුම් ජයසිංහ-

ආර්ථික අර්බුදයත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දේශපාලනික අර්බුදයත්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය මෙන්ම දේශපාලන සමාජය ද දැවැන්ත පරිවර්තනයකට ලක්කරන විප්ලවීය අවධියක අප ජීවත් වන බව කියා ලිපිය ආරම්භ කරමි. මේ වචන ටික කියවූ සැණින් විප්ලවවාදීන් ලෙස තමන් ස්වයංව නාමකරණය කරගෙන සිටින ගතානුගතිකවාදීන්ට ගැරඬින්ට භූමිතෙලින් පහර දුන් කල මෙන් සලිත වන බව දනිමි.

විප්ලවය යනු මනස් කුහර තුළ නිර්මිත පරිකල්පනයක් නොවේ. විප්ලවයක් යනු සැබැවින්ම සිදුවන දෙයකි. විප්ලවය පිළිබඳ අදහස මුලින්ම පැනනැගෙන ඇරිස්ටෝටලියානු යුගයේදී එයින් අදහස් වූයේ ආණ්ඩු ක්‍රමවල චක්‍රීය වෙනස්කම් පිළිබඳවයි. එහෙත්, නූතන යුගයට එන විට විප්ලවයෙන් අදහස් කරනු ලබන්නේ පෙර පැවති දේශපාලන පර්යායට අභියෝගයක් වන අතර අවසානයේ පෙර පැවති එකට වඩා රැඩිකල් ලෙස වෙනස් වූ නව පිළිවෙලක් ස්ථාපිත කිරීමයි. ඉතිහාසයේ මහා විප්ලවයන් ලෙස සැලකෙන ඉංග්‍රීසි, ප්‍රංශ සහ රුසියානු විප්ලවයන්වලදී ආණ්ඩු ක්‍රමය මෙන්ම එම සමාජවල ආර්ථික ක්‍රමය, සමාජ ව්‍යුහය සහ සංස්කෘතික වටිනාකම් ද පරිවර්තනයට ලක්විය.

ලංකාවේ වාමාංශික ඊනියා විප්ලවවාදීන්ට සමාජ දේශපාලනය හා විප්ලවය පිළිබඳ තිබෙන සීමිත රාමු අනුව ඔවුන් විප්ලවය යයි සිතාගෙන ඉන්නේ වාමාංශික ආණ්ඩුවක් යටතේ රාජ්‍ය මූලිකත්වය තවදුරටත් ශක්තිමත් කරන ආර්ථිකයකි. මෙම ඊනියා විප්ලවය උපරිම තලයකට ගෙන ආවේ රාජපක්ෂ පාලනය විසිනි. ඔවුන් රාජ්‍ය අංශය කෙතරම් ‘ශක්තිමත්’ කළාද යත්, එය ලංකාවේ ප්‍රධාන රැකියා සම්පාදන මාර්ගය විය. ආර්ථික අර්බුදයක දොරකඩ සිටිමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බදු ද කප්පාදු කරමින් රාජ්‍ය සේවය ද තවත් ලක්ෂ ගණනකින් වැඩි කළේය. 2022 වන විට රාජ්‍ය ආදායමෙන් 85%ක්ම වැය වුණේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වෙනුවෙනි. රාජ්‍ය ණය ආපසු ගෙවීමේ වියදම් රාජ්‍ය ආදායමෙන් 100% ඉක්මවා ගොස් බොහෝ කල්ය. එවැනි රජයක් පවත්වාගෙන යා නොහැකිව බිඳ වැටෙද්දීත්, වාමාංශික ඊනියා විප්ලවවාදීන් තවදුරටත් ඉල්ලා සිටිනේනේ රාජ්‍යයම ශක්තිමත් කරන ලෙසයි. එහෙත්, ලංකාවේ මේ මොහොතේ සිදුවිය හැකි විප්ලවය වන්නේ රාජ්‍ය මූලික ආර්ථික ක්‍රමය පදනමින්ම වෙනස් කිරීමයි.

ලංකාවේ දේශපාලනික ක්‍රමය ද මේ අනුව වෙනස් විය යුතුව තිබේ. ලංකාවේ මෙතෙක් පැවති රාජ්‍ය පාලන ක්‍රමය විසංයෝජනය කර බැලුවහොත් එහි දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ රාජ්‍යය පාලනයේ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති ස්වරූපයයි. ලංකාවේ පැවති ආර්ථික, දේශපාලනික, සමාජ ක්‍රමය නිර්මාණය වූයේ මෙම ආධිපත්‍යය මත පදනම්වය.

සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති ශ්‍රී ලංකා රාජ්‍යය සිලෝන් නම් තම යටත් විජිතය තුළ පැළ කර ගිය ඉංග්‍රීසි යටත් විජිතවාදීන් පවා එය මෙතරම් දුරට ශක්තිමත් වනු ඇතැයි නොසිතන්නට ඇත. උඩරට, පහතරට වශයෙන් තිබුණු බෙදීම බොහෝ දුරට එක් සිංහල දේශපාලන ප්‍රජාවක් බවට පත් වූව ද, එම ප්‍රජාව තුළ පැවති කුල අනන්‍යතා තව දුරටත් සුරැකිනි. වර්තමානය වන විට කුලය හා සම්බන්ධ ආර්ථික පදනම අහෝසි වී තිබේ. යම් දුරකට සුරැකී තිබුණත්, කුලය ආර්ථික කටයුතුවල අනන්‍යතා සාධකයක් වී තිබේ. උදාහරණයක් ලෙස රන් වැඩ කරන අයට කුලය සිය පාරම්පරික උරුමය ප්‍රකාශ කරන අනන්‍යතාවකි. ධනවාදය විසින් සෑම නිෂ්පාදනයකට හා සේවාවකටම වෙළඳපොළ නිදහස නිර්මාණය කර දී තිබෙන අතර ආර්ථික කටයුතු ඔස්සේ තව දුරටත් කුල ධූරාවලි නඩත්තු කළ නොහැකිය.

එහෙත්, ආවාහ විවාහ ආදී සමාජ සංස්කෘතික සම්බන්ධතාවලදී කුලය තවමත් වැදගත් සාධකයකි. ඊටත් වඩා කුලය වැදගත් වන්නේ දේශපාලනයේදීය. විශේෂයෙන්ම සමානුපාතික නියෝජනයත් සමග ජාති, ආගම් හා කුල දේශපාලනය ශක්තිමත් වූ බව දැකිය හැකිය. විසිරී සිටින කුල ප්‍රජාවන්ට දිස්ත්‍රික් පදනමින් එක්සත් වීමේ හැකියාව ලැබී තිබේ. අවශ්‍ය නම්, විසිරුණු, කුඩා කුලවලට ජාතික ලැයිස්තුවෙන් නියෝජනය ලබාගැනීම සඳහා උත්සාහ කිරීමේ හැකියාව පවා තිබේ.

කෙසේ වෙතත්, සංඛ්‍යාත්මකව සිංහල ගොවිගම කුලය ලංකාවේ බලවත්ය. ඔවුන් අතරින් අති බහුතරය බෞද්ධ වීම නිසා එය සිංහල-බෞද්ධ-ගොවිගම දේශපාලනික අනන්‍යතාවක් ලෙස හඳුනාගත හැකිය. මෙම ප්‍රජාව දැඩි ලෙස පුරුෂෝත්තමවාදී වන නිසා එය සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අනන්‍යතාවක් ලෙස නම් කළ හැකිය. මෙම අධිපතිවාදී දේශපාලනය තුළ ස්ත්‍රිය, ස්ත්‍රී හෝ පුරුෂ හෝ නොවන සංක්‍රාන්ති ලිංගික වැනි වෙනත් සමාජභාවයන්, වෙනත් කුල, ජාතීන් හා ආගම් සම්බන්ධයෙන් ඇත්තේ යටත් කරගැනීමේ හෝ පිටුදැකීමේ මනෝභාවයකි. මෙම අධිපතිවාදයට එරෙහි අරගලයන් ශ්‍රී ලංකා රාජ්‍යය නිර්මාණය වූ 1940 දශකයේ සිටම දක්නට ලැබිණි.

දෙමළ බස කතාකරන පදනමින් උතුරු හා නැගෙනහිර පළාත් මුල් කරගෙන ජාතික ගොඩනැගීමක් සිදු විය. එහෙත්, එය පසුව දෙමළ හා මුස්ලිම් ලෙස වෙනස් වූ අතර කඳුරට දෙමළ ජනයා අවශෝෂණය කරගැනීමට පවා අසමත් විය. එහෙත්, දෙමළ ජනයා සිංහල මූලික රාජ්‍යයට එරෙහිව ප්‍රබල කැරැල්ලක් ගසා ජයග්‍රහණය ආසන්නය දක්වාම පැමිණ පරාජයට පත්වූහ. එකී පරාජයෙන් සිංහල රාජ්‍ය අධිපතිවාදය තවදුරටත් ශක්තිමත් විය. කරාව, සලාගම වැනි බලවත්, එහෙත්, සංඛ්‍යාත්මකව විශාල නොවන කුල ද ගොවිගම ආධිපත්‍යවාදයට එරෙහි අඛණ්ඩ අරගලයක නියැලී සිටියි.

සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති රාජ්‍යය ආර්ථික හා දේශපාලන වශයෙන් අර්බුදයට යාමත් සමග ඒ පසුපසින් ක්‍රියාත්මක වූ දේශපාලන අරගලය තුළ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණය වන්නේ එය ඉහත කී අනන්‍යතාවට එරෙහි බලවේගවල ඒකාබද්ධ නායකත්වයකින් දියත් වීමයි. අරගලයේ නායකත්වය විශ්ලේෂණය කර බැලීමේදී මෙය ඉතා පැහැදිලිව දැකිය හැකිය. අරගලයේ පරාජයත් සමගම මේ වන විට එකී නායකයන් විසින් එල්ල කරනු ලබන ඇතැම් ප්‍රහාරවල කිසියම් බලාපොරොත්තු සුන් වූ ලක්ෂණයක් ද දැකිය හැකිය. චැනල් ෆෝ ප්‍රහාරය ඒ සඳහා හොඳම නිදසුනයි. එය පාස්කු ප්‍රහාරය වැනිම තවත් ප්‍රහාරයක් ලෙස සැලකිය හැකිය.

එහෙත්, වඩාත් වැදගත් කාරණය වන්නේ මෙම තත්වය හමුවේ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති බලවේගය කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇද්ද යන්නයි. ඔවුන්ට එරෙහිව සම්මුතිගත වී සිටින දේදුනු සන්ධානයට ජාත්‍යන්තර සහාය ද ලබාගෙන ඔවුන් පරාජය කළ හැකිද? එසේ පරාජය කිරීමෙන් පසු ජයග්‍රාහකයන්ට ඔවුන්ගේ විවිධත්වය හරහා ඒකීයත්වයක් නිර්මාණය කරගෙන අලුත් රාජ්‍යයක් ගොඩනැගිය හැකිද? ඒ සඳහා සම්මුතියකට එළැඹීම සඳහා ඉවහල් කරගත හැකි කතිකාවක් ඔවුන් අතර තිබේද? කෙසේ වෙතත්, සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි හෝ ඊට එරෙහි යන කවර බලවේගය වුවත්, ලංකාවේ මෙම විභේදනයන් අවසන් කරන, වඩා සියල්ලන් ඇතුළත් කරගන්නා සමාජ-දේශපාලනික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අසමත් වේ නම්, ශ්‍රී ලංකාවේ අනාගතය තවත් අඳුරු වනු ඇත. ඒ සඳහා සියල්ලන් ඇතුළත් කරගන්නා හෙවත් අන්තර්කරණය කරගන්නා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, නීති සංශෝධන හා සමාජ ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුය.

විනාශ කිරීම හෝ විනාශ වීම වෙනුවට පරිවර්තනයට සූදානම් සියල්ලන් ඇතුළත් කරගන්නා බලවේගවලට පමණක් අනාගතය නිර්මාණය කළ හැකිය.

Praja.lk

Social Sharing
අවකාශය නවතම විශේෂාංග