-ජනක එදිරිසිංහ-
සයිමන් නවගත්තේගම ශූරීන්ගේ ක්ෂීර සාගරය කැළඹිණ නම් කෘතිය 1990 වසරේදී නාට්‍යමය රචනයක් සහිත කෙටි නවකතාවක් ලෙස ප්‍රකාශයට පත් විය. අද එය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ අධ්‍යක්ෂණයෙන්, ජැක්සන් ඇන්තනී ගේ තිර රචනයෙන් සිනමාපටයක්ව ප්‍රේක්ෂකාගාරය වෙත පමුනුවා තිබේ.
පළමුව මේ ලියවිල්ලේ සෑම තැනකම. ‘සයිමන්”යන කෙටි යෙදුම් පාඨකයාට දෙන අර්ථය නම් ගෞරවයට පත් සයිමන් නවගත්තේගම ශූරීන් යන යෙදුම වන්නේය. එම ගරු අර්ථයෙන්ම එය කෙටිකර පාඨකයාගේ පහසුව පිණිස පවත්වාගෙන යන අතර ‘ජැක්සන්”යන යෙදුම සිත් ගත් ජැක්සන් ඇන්තනී කලාකරුවා සඳහා කෙටි කොට යොදා ඇත.
සිනමාව කලා මාධ්‍යයක් වන අතර චිත්‍රපටය කලා නිර්මාණයකි. අපට චිත්‍රපටයක් චිත්‍රපට නිර්මාණයක් ලෙස විචාරන්නට හැකි අතර සිනමාව යන කලා මාධ්‍ය තුළ එක් චිත්‍රපටයක් පුළුල් අර්ථයෙන් විචාරන්නට ද පුළුවන. සුනිල් ආරියරත්න ශූරීන් සංඛ්‍යාත්මකව චිත්‍රපට ගණනාවක් සඳහා දායක වී ඇති අතර අධ්‍යක්ෂණය යන කෝණයෙන් ලඝු කර බැලූ විට මෙය ඔහුගේ අධ්‍යක්ෂණයන් අතර සාර්ථකම අධ්‍යක්ෂණයක් ලෙස මුල් බැල්මට සටහන් කෙරෙයි. සංඛ්‍යාත්මක වශයෙන් ඔහුට උදම් ඇනිය හැකි ප්‍රමාණයක චිත්‍රපට අධ්‍යක්ෂණයන් තිබේ. ක්ෂීර සාගරය තිරයට ගෙන ඒමේදී විශාල දායකවීම සමුදායක් ඒ සඳහා යෙදී තිබේ.
චන්න දේශප්‍රිය කැමරාකරණයෙන් දක්ෂ දායක වීමක් දක්වන අතර ඔහු සමග බද්ධවන අධ්‍යක්ෂවරයා ද දෘශ්‍ය ප්‍රයෝග අධ්‍යක්ෂණය කරන සමින්ද වතවන විතානගේ සහ බුද්ධික විජේරත්න විසින් එකතුව චිත්‍රපටිය පුරා ප්‍රේක්ෂකයාට දිව අග රැදෙන මතක රසයක් ඉතිරි වන ලෙස එනම් විශිෂ්ට චිත්‍රපට ශිල්ප ක්‍රමයක් වන මිසොන් සේන් (Mise en -scene) භාවිතාවක් පවත්වාගෙන යයි. එය රසවත්ය.
ජැක්සන් මෙම තිර පිටපත ලිවීමේදී ජැක්සන්ලා විසින්ම ලංකාව තුළ නිර්මාණය කළ වර්ගෝත්තම වාදයේ මහේශාක්‍ය රාජාධිරාජ විඥානයටත්, ඊට බද්ධ වූ ආගමික උම්මත්තක උත්තම මනෝභාවයන්ට හා ඒවායේ ඇති භීම ස්වභාවයට ඇති බිය සිත තුළ ඇතුව පිටපත ලියූ බව මට පෙනේ. එය මගේ මතයයි. මන්දයත්, සයිමන් සිය කෘතියේ නොයෙක් ඡේදවල අන්තර්ගතය තුළින් නොකියා කියන්නේ මෙය බුද්ධෝත්පාද කාලයක උත්තර භාරතීය රාෂ්ඨ පාලනයක පදනමෙන් ගොඩනගන කලා කෘතියක් බවයි. නමුත් ජැක්සන් සිය තිර පිටපතේ පූර්විකාවක් සපයමින් මෙය නොදන්නා දේශයක නොදන්නා කාලයක කතාවක් බව කියා තිබේ.
මෙහි තිර පිටපත ලියන්නේ ජැක්සන් විසිනි. චිත්‍රපටය ගොඩනැගෙන්නේ තිරපිටපත මතය. පොත කියවා ඇති මට චිත්‍රපටය නරඹා පිටතට පැමිණෙන විට ගැටලු රැසකි. චිත්‍රපටකරුවාට පොතක් පාදක කොට එම පොතම හෝ ඒ අනුසාරයෙන් චිත්‍රපටයක් තැනිය හැක. ඔහුට පොතේ කථාව තුළ යම්තාක් පුළුල් වීමකට හෝ හැකිලීම් වලට යා හැකි නමුත් පොතක් චිත්‍රපටයකට නගන්නේ නම් පොතේ කතෘවරයා කියූ කතා වෙනුවට එම පොතේ එහෙන් මෙහෙන් උපුටා ගෙන වෙන කතාවක් ඒ නමින් චිත්‍රපටියට නැගීම කළ හැකිද නොහැකිද යන්න සදාචාරාත්මක ගැටලු මෙන්ම බුද්ධිමය දේපල නීතිමය ගැටලුද මතු කරන්නටද බැරි නැත.
මෙම ප්‍රශ්න පහදා ගනු පිණිස මා මිත්‍ර මහැදුරු සුනිල් ආරියරත්නයන් ගෙන් මා තොරතුරු කීපයක් අසා දැන ගතිමි. ඒ තිරපිටපත ලියන්නට ජැක්සන් පටන් ගත්තේ කොයි කාලයේදී ද යන්නත්, චිත්‍රපටය නිෂ්පාදනය පටන් ගත්තේ කොයි කාලේද යන්නත් වේ. ජැක්සන් 2020 මුල් කාර්තුවේ තිරපිටපත ලිවීම ආරම්භ කර තිබේ.
මානවවාදී විමුක්තිකාමීයෙකු වන සයිමන් අධිරාජ්‍යයකු ගේ කතාව මෙලෙස චිත්‍රණය කරන අතර එහි මුල් පරිච්ඡේදයේ මහා බ්‍රහ්ම සහ දිව්‍යමය නිර්මාණකරණය ගැන ලියා තිබේ. මෙම මහා බ්‍රහ්ම සංකල්පය අපට දැකගත හැකි වන්නේ භගවත් ගීතාව නොහොත් ගීතෝපනිෂද් ග්‍රන්ථය, චරක සංහිතාව සහ සුශෘත සංහිතාව යන භාරතීය ඓතිහාසික ග්‍රන්ථවල ය. මේ මුළු පොත පුරාම සයිමන් දුක් විඳින සුවහසක් රට වැසියන්ගේ විමුක්තිය සඳහා වන අරගලයක සිය පෑන යොදයි. රජ මැදුරුවල සීමැදුරු කවුළුවට නොපෙනෙන මානයේ දුක් විඳින වැඩ කරන මිනිස්සුන්ව සූරා කන හැටි, රජුගේ නමින් සූරා කන හැටි අධිරාජ්‍යයා නොදකින තාක් කල් අන් කවර කිසි දෙයකින් වත් මානව වර්ගයාට ඔවුන්ගේ ජන ජීවිතයට, ඒ දේශයට විමුක්තිය හදන්නට බැරි බව සයිමන් කියයි.
විමුක්තිය වන්නේ අන්ත දුක් විඳීමක් පරදා ඡීවිතයට ජීවත්වීමට ඉඩ තනා ගැනීමෙන් මිස දුක සංසාර උරුමය ලෙස භාර ගැනීමේ ස්වභාවයේ පොදු ජන මනස නිහීන කරන රාජධර්ම පැතිරවීම මගින් නොවන බවට කතුවරයා හබ කරයි.
සයිමන් සිය කෘතියේ හැත්තෑ හත්වෙනි පිටුවේ වල් වැදුණු බෝමැඩ බෝමුල් සියොළග එතෙද්දී වසර සියයකට වැඩි කලක් ධ්‍යාන වඩන භික්ෂු තවුසකු නිර්මාණය කරයි. ඔහු යටහත් දැහැමිකම තෙපලන්නේ නැත. ඒ වෙනුවට වාරි ශිෂ්ටාචාරයක් බිහි කළ යුතු, විජිතපුරය සශ්‍රීක කළ යුතු බව වටහා ගත් රට හා ජනයා සුරක්ෂිත කරන සක්විති රජෙක් වනු පිණිස ඇරයුම් කරයි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ පසු මෙවන් බමුණන් දෙදෙනකු සුදොවුන් රජ විසින් කැඳවනු ලබයි. ඒ උද්දකරාම සහ ආලාරකාලාම යන තවුස් පැවිද්දන්ය. ඉන් එක් අයෙක් සිදුහත් කුමරු ඒකාන්තයෙන් බුදුවන බවත් ඒ ආශා ප්‍රහීණ කරන සනාතන දහම වදාරන බවට ලකුණු ඇති බව පළ කළේයැයි සඳහන්ය.
අනෙක් තවුස් බමුණු තෙමේ එක්කෝ බුදු වීම හෝ නැත්නම් ජන සතට සෙත සදන සක්විති රජවීම වන බවට අනාවැකි කියයි. සයිමන් මේ පොත තුළ මෙම තවුස් චරිතය ගෙනෙමින් නිශ්චිත ලෙස කරනුයේ අධිරාජයා ජනතාවගේ කෘෂි ආර්ථිකය ගොඩනගා නීතිගරුක සංරක්ෂිත ජන ජීවිතයක් හදන සක්විති රජ කෙනෙක් වී නම් සුවිශාල ජන සතට කෙතරම් මෙහෙවරක් වන්නේ ද යන ප්‍රශ්නාර්ථය ඉස්මතු කිරීමද?
චිත්‍රපටයේ ආරම්භක ජවනිකා අතර, සුරාවෙන් ද සෝමයෙන් හා මධු පානයෙන් ද මත්ව කාමයෙන් හා රාගයෙන් උද්දීපනය වූ රාජකීය රාත්‍රීයයන් නිමවෙයි. නලඟනන්ගේ විප්‍රයෝග හෘදසාක්ෂිය කළඹන ප්‍රමාණයට වඩා රාජ මණ්ඩපයෙන් විදහාලන කෘර හා භීම රාජ්‍ය පාලනය පුරවැසියාට අත් කර ඇති දුකම රජකම හැරයාමට හේතු විය යුතු නොවේදැයි ව්‍යංගව ප්‍රශ්න කිරීමක් කරන සයිමන් කතාව අවසානයේ යහපත් වෙන්නට තනන රජෙකු රජුගේම සෙවන තුල වැඩෙන රාජකීය කුමන්ත්‍රණයකින් නසින බව පෙන්වයි. පොත අවසන්.
නමුත් ජැක්සන්ගේ තිර පිටපතෙන් රජාට මැරෙන්නට දෙන්නේ නැත. උට්ඨානය යන වචනය විවිධ සංස්කෘතීන් තුළ භාවිතාවට එයි. එයට තේරුම් කිහිපයක් හිමිව තිබේ. ඒ අතරෙන් වඩා ප්‍රකට තේරුම වන්නේ මියගිය අයෙකුට නැවත ජීවිතය තුළට නැගිටුවා ලීමෙන් උට්ඨානය වන බවයි. සයිමන් මරා දැමූ දුෂ්ට රජා ජැක්සන් සුදුරාජා කර උට්ඨාන කරවයි.
දුෂ්ට කෲර රජෙකු සිහිනයකින් ජන දුක දැක, කෲරත්වයත්, කාම ගින්නත් මිනීමරු හැසිරීමත් පමණක්ම නොව රාජ සම්පත්තියද, නිල රාජ බල කාලයද අවසන් වන්නට පෙර අතහැර ජනතාව වෙනුවෙන් සිහිනයෙන් අවදි වී නික්මයාමක් මවයි. ආපසු අලුත් වී එන ප්‍රේමණීය අධිරාජ්‍යයෙකු චිත්‍රපටය තුළ තිර පිටපත් කරයි. කෙටියෙන් කියතොත් කෲර රජෙක් රජ සැප හැර දමා ජන බලය මගින් නෙරපා හරින්නට පෙරම පිටව ගොස් ජනතාව වෙනුවෙන් උණු වූ සිතින් නැවත ජනතාව අතරට පැමිණෙන බවයි.
ජැක්සන් මේ පිටපත ලියන්නේ 2020 දී ය. ඔහු දේශපාලනය කලාවක් කර ගත් සහ කලාව දේශපාලනයක් කරගත් දක්ෂ නළුවෙකි. කලාව දකුණතටත්, දේශපාලනය වමතටත් ගෙන ඒ දෙකම තෙමා ගන්නේ නැතුව ආර්ථික සයුරේ කිමිදෙන්නට දන්නා නළු ශූරයෝද සිටිති. ජැක්සන්, සයිමන්ගේ කිරි සයුරේ දියබුන් ගසන්නට යාම නම් ප්‍රහසනයකි. මේ ඔහුම තැනූ රජකුට නැවත රාජ්‍යත්වයට පත්වීම සඳහා ජන මනස සකසා දෙන පාවඩ එළීමක්දැයි මගේ සිත වික්ෂිප්ත වේ. කෙසේ වෙතත් මේ සයිමන් ඔහුගේ ක්ෂීර සාගරයේ දී ලියූ කතා අවසානය නොවේ. ජැක්සන් ඒ පොත මත සිට පොත වෙනස් කර අනෙකක් ලියා තිර පිටපත සකසා තිබේ.
මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සිංහල සිනමාව වෙනුවෙන් අනුපමේය නිෂ්පාදන සේවයක් කරන එච්.ඩී. ප්‍රේමසිරි විසිනි. ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට උනන්දුවෙන් නිරතවෙන ඔහු ඒ සඳහා විශාල ධනයක් වැය කරයි. අනෙක් අතට ඔහු ලංකාවේ පොත්පත් ප්‍රකාශනයෙහි ලා විශිෂ්ටතම ප්‍රමුඛයෙකු ද ග්‍රන්ථකරණයෙහි මඟ කියන්නෙකු ද වෙයි.
නමුත් මා තුෂ්නිම්භූත වන පැනය නම් සයිමන් නවගත්තේගමගේ ක්ෂීර සාගරය කැළඹිණ පොත විසින් කියන කතාවට හාත්පසින් වෙනස් කතාවක් චිත්‍රපට තිර නාටකය තුළ ගොඩනගා තිබියදී මේ පොත් ප්‍රකාශකරු කෙසේ ඒ විකෘතියට මුදල් යෙදවීමට එකඟ වුණා ද යන්නයි. පොත් ප්‍රකාශනය ව්‍යාපාරයක් වන නමුදු එහි අන්තර්ගතය දැනුම හෝ සාහිත්‍යය වේ. ප්‍රධාන පොත් ප්‍රකාශකයෙකු මෙම විකෘතිය නොසලකා හැරීම ගැන මම සතුටු වෙන්නේ නැත. ඔහු ලගත් කතුවරයා සහ පොත රක්ෂා නොකර ව්‍යාපාරය රක්ෂා කිරීමට මුල්තැන දී ඇති සෙයකි. චිත්‍රපටිකරුවාට පොතක් චිත්‍රපටයට නැගීමේ දී එක්තරා සීමාවකට පොතෙන් පිටව යා හැකිය. නමුත් ඒ පොත විකෘතිකරණයකට ලක් නොකරමිනි. එය මෙම පොත් නිෂ්පාදකයා මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයා ද ප්‍රත්‍යක්ෂ ලෙස දන්නා කරුණකි.
වරෙක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ගම්පෙරළිය චිත්‍රපටයට නැගීමේදී තිස්ස අබේසේකරයන් විසින් එකී පොතේ නැති දෙබස් ඛණ්ඩයක් චිත්‍රපටය තුළට ගෙන ඒමෙන් විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත විය. මෙවර සයිමන් ගේ පොත උඩු යටිකුරු කර චිත්‍රපට තැනෙද්දී ඒ ගැන වගේ වගක් නැත්තේ, බරපැන දරන චිත්‍රපට නිෂ්පාදකයා තවත් අතෙකින් ප්‍රධාන ග්‍රන්ථ ප්‍රකාශකයා හැටියට අත්පත් කර ගෙන තිබෙන ආර්ථික බලයේ වපසරිය නිසාමදෝ කියා මගේ සිත උපහාසයෙන් ඔච්චම් කරන්නේ ලංකා සාහිත්‍යය අඹරේ හිමිකරුවෝ අප වම්හ’යි වන උදාරම් වැකි කරුවෝ කොයිබදෝ’යි විපරම් කරමිනි.
ශ්‍රී ලාංකික සිනමාවට මෙන්ම ලාංකික සිනමා ප්‍රේක්ෂකාගාරයට රජ කතා සහ රාජ කතා දැකබලා ගැනීමෙන්ද සහ අසා සිටීමෙන්ද කියවා දැන ගැනීමෙන් ද මනා හුරුපුරුදු බවක් තිබේ. කලෙක වර්තමාන රාජතන්ත්‍රික ව්‍යුහය තුළ මහජන ඡන්දයෙන් සීමිත කාලයකට රාජ්‍යත්වයට පත්වන ජනතා නියෝජිතයන් මුරුංගා ගස් වල හිනිපෙත්තටම නංවා ඔවුන්ගේ නොපැසුණු සිත් ප්‍රහර්ෂයට පත්කොට අන්තේවාසික ලාභ ලබනු පිණිස රාජ කතා සිනමාව ලෙස සිනමා කලාව යොදා ගැනීම තුල සිනමාව කුප්ප කරණයට පාත්‍ර කළ අවස්ථාද නැතුවා නොවේ.
එවන් රාජ ප්‍රශස්ති ලෙසින් විකෘත රජ කතා තුළින් කුප්පකරණයට භාවිතා කළ සිනමාව තුළම මානව වාදය හා මානව විමුක්තිය සඳහා රාජ කතා සිනමාකරණය කළ හැකි බවට පර්යේෂණ අවස්ථාවක් ලෙස “ක්ෂීර සාගරය කැළඹිණ” චිත්‍රපටය ප්‍රශ්නාර්ථයක් සහිතව සටහන් කළ හැකිය.
මෙම චිත්‍රපටිය විමර්ශනය කිරීමේදී එය ඒ තුළින්ම පැන නංවන තලයන් දෙකක් තුළ තේරුම්ගෙන කෝණ ගත කර ගතයුතු බව පැහැදිලිව පෙනේ. සයිමන් ජීවත්ව සිටි සමයේ දී මෙම පොත චිත්‍රපටයකට නැඟීම සඳහා උත්සාහ කළ ද එහි ඇති බරසාර බව ඔහුට සුදුසු අධ්‍යක්ෂවරයෙකු හෝ සුදුසු නිෂ්පාදකවරයෙකු සම්මුඛ කරන්නේ නැත. ක්ෂේත්‍රය තුළ මේ සඳහා ලෝක පූජිත අධ්‍යක්ෂවරයෙකු වන කුරසෝවා වෙතට තිර පිටපත ගෙනයාම යෝජනා වූ බවට ද මතයක් තිබේ. පොතට අනුව සහ කතාවේ ඇති ප්‍රබලත්වය අනුව එම අධිරාජයාගේ චරිතය ශිවාජී ගනේෂන් වැනි මහා නළුවෙකුට හැර ජීවත් කරවිය නොහැකි චරිතයකි.
ලංකාවේ රජවරු සිටිය නමුත් කිසිකලෙක අධිරාජ්‍යයෙක් හිටියේ නැත. ලංකාව තුළ අධිරාජයෙකු නොසිටින්නට බලපෑ තවත් හේතුවක් වන්නේ ලංකා රාජ්‍යය මහද්වීපික ලෙස හෝ අර්ධද්වීප ලෙස ව්‍යාප්ත නොවුනු කුඩා දිවයිනකට සීමා වීමයි. එසේනම් සයිමන් නවගත්තේගම නම් මහා ප්‍රඥාධරයා මෙම චිත්‍රපටයට පාදක වන ඔහුගේ ග්‍රන්ථය “ක්ෂීර සාගරය කැළඹිණ” රචනා කිරීමේදී රජෙකු වෙනුවට “අධිරාජ්‍යයකු” වටා සිය කෙටි නවකතාව ගෙත්තම් කර තිබේ. ඒ ඇයි?
ලංකාවේ වෙසෙන අපට හොඳින් දන්නා ආසන්නතම අධිරාජ්‍යයන් හමුවන්නේ ඉන්දියාව නොහොත් මහා භාරතය තුළිනි. සයිමන් නවගත්තේගම සිය කුඩා නවකතාව තුළ පාඨකයා වෙත සියලු රසයන්ගෙන් සන්තර්පණය වූ මහා භීම අධිරාජ්‍යයෙකු පිරිනමන අතර අධිරාජයාගේ මාලිගා ජීවිතය තුළ ශ්‍රී ලාංකික අපට හොඳින් ඉව වැටෙන, නොදන්නා නමුත් දැන හඳුනාගත් නාඩි ස්පන්දනයක්, සුපුරුදු බවක් සහ හඳුනන අධිරාජ්‍යයෙකු ගැන ඉව අල්ලන්නට සලස්වයි. ඉව අල්ලන්නට නම් සුපුරුදු පුසුඹක් ඕනෑය. සුළග හමන අත දැන ඉව තේරුම් ගත යුතුව ඇත.
සයිමන් නවගත්තේගමයන්ගේ මූළු පොත පුරාම මානව විමුක්තිය උදෙසා සිදුකර ඇති ඓතිහාසික ඉදිරිපත් වීම් නැවතත් අභියෝග කර විමසා බලන්නට පාඨකයාට සිදු කරයි. මේ සඳහාම නවගත්තේගම ආශ්‍රිත ප්‍රදේශයන් ඇවිද පිරික්සන්නට මම ගියෙමි. අදටත් පිටිසර සුන්දර ගොවි ගම්මානයක් වන නවගත්තේගම ඒ අවට ඇති දළදාගම, මහව, කෝංවැව, රිදී බැඳි ඇල්ල ආදී ගම්මානවල එදා පටන් අද දක්වා සිදුවන ගොවි ජනතාවගේ අස්වනු සූරාකෑම සහ ශ්‍රම සූරාකෑම සයිමන් නවගත්තේගමයන්ගේ හිස කම්පනය කළ ඛේදවාචකයෙකි. සයිමන් නවගත්තේගමගේ ළමා වියේදී එවකට මහව ආණ්ඩුවේ මහ ඒජන්ත ලෙස සේවය කළ විමලරත්න කුමාරගම මහතා ගේ මානවවාදී චින්තනය ඔහු තුළ පොපියන විමුක්තිකාමී නිර්භීත බවට හේතු නොවීයැයි සිතිය නොහැක.
මෙවැනි විචිත්‍ර රචකයෙකුගේ පොතක් හා කතාවක් සිනමාවට නැගීම ඉතාම අපහසු සහ බරපතළ කාරණයකි. දැන් අප ඉදිරියේ ඇත්තේ සම්මානනීය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ක්ෂීර සාගරය කැළඹිණ පොත චිත්‍රපටයක් බවට පත්කිරීමෙන් පොතට හා සයිමන්ට කළේ මොකක්දැයි සොයා තේරුම් ගැනීමේ බ්‍රාන්ත වන පැනයයි. ඊට මුඛ්‍ය හේතුව වන්නේ සයිමන් නවගත්තේගමගේ පොත් ඡේද වශයෙන්ම නාට්‍යානුසාරී සහ නාට්‍ය අනුභූතී වීමයි. එවන් අනුභූතියක් චිත්‍රපට තිර රචනාවක් බවට පත්කිරීමත්, එම චිත්‍රපට තිර රචනාව මුල් කෘතියේ අනුභූතීන් විනාශ නොවන සේ චිත්‍රපට රූප රාමු අතරේ රංග කාර්යයේ යොදවා ගැනීමත් යම්තම් හෝ සමාන කළ හැක්කේ “දැලි පිහියෙන් කිරි කෑම” වැනි රසාස්වාදනය කළ හැකි අනතුරකටය.
චිත්‍රපටයක් කිරි මෙන් රසවත්ය. දැළි පිහිය දිව සිඳ ලන්නට තරම් බලවත්ය. ඉතින් මේ කිරි රසය ප්‍රේක්ෂකාගාරයට පිරිනැමීමේදී මුල් කෘතිය නො නසා එනම් දිවකපා නොගෙන සීරුමාරුවට මෙම නිර්මාණය නොකළහොත් සයිමන්ගේ ‘කිරි සයුර සුනිල් ආරියරත්න නිසා හෝ ජැක්සන් නිසා හෝ කෑලඹෙනවා” නිසැකය.
නමුත් මෙහිදී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ගේ භූමිකාව පැහැදිලි ලෙස වෙන් කොට හඳුනාගත යුතුය. චිත්‍රපට අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කරන්නේ තිර පිටපතක්ය. එහි එන රූප රාමු මිස පොත නොවේ. පොතක් චිත්‍රපටයට නැගීමේදී පොත චිත්‍රපටිය තුළ ජීවත් කරවීම හෝ මරා දැමීම චිත්‍රපටයෙහි තිර නාටකය ලියන තිර පිටපත් කරු අතින් සිදුවන ක්‍රියාවලියකි.
මෙහි තිර පිටපත හෙවත් තිරනාටකය සපුරා ම ලියා ඇත්තේ විශිෂ්ට රංගධරයකු වන ජැක්සන් ඇන්තනි විසිනි. සයිමන්ගේ පොත කියවා ඇති මට ජැක්සන්ගේ තිර පිටපත මත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන එම චිත්‍රපටය නැරඹීමෙන් පසු ක්ෂණිකව හා වහාම විසඳාගත යුතු සොයා දැනගත යුතු ඇතුළාන්තර ප්‍රශ්න රාශියක් පැන නැගුණි.
සිද්ධාර්ථ කුමරුන් ගිහිගෙය හැර යන විට සුද්ධෝදන රජු රාජ්‍ය කරවීය. සිද්ධාර්ථ ඔටුන්න හිමි කුමරා ය. ඔටුන්න නොදරන යෞවන කුමරෙකුට නාටිකාංගනාවන් ගේ විප්‍රයෝගය රජ මැදුර හැරයාමට පෙළඹවීමක් කරතත් අධිරාජයකු ට රාජ්‍යත්වය සහ රජ සැපත්, පේරැස් මුදුවත් හැරයාමට ඊට වඩා බෙහෙවින් බරසාර මානවවාදී හේතු තිබිය හැක. තිබිය යුතුය. ජනයා පෙළෙන බව නොදැන භීම රාජ්‍ය ව්‍යුහයකට අධිපතිකම් දරන දුර්දාන්ත නොහික්මුණු රජෙකුට හිනයක් දැක අවදි වී අංශක 360 ක වංගුවක් ගෙන නැවත ධර්මිෂ්ඨ ජනහිතකාමී ප්‍රේමවන්තයෙකු හැටියට පරිවර්තනය විය හැකි බව ප්‍රේක්ෂක මනසට කවමින් වෙනස් ලෙස ජැක්සන් තිර පිටපත ලියන්නේ ඔහුට අතහැර යා නොහැකි බුදුරදුන්ට සහ දුටුගැමුණුට නෑකම් ඇතැයි ඔහුම මැවූ ඉතිහාස කතාව තුළ ඔහුම නන්නත්තාර වීමත්, සිත තුල කැකෑරෙන රජුන් තනන්නෙකු වීමේ ලොල් අභිප්‍රායත් නිසාම දැයි සිතේ.
සිංහල ජනවහරේ ගැටපද විවරණ සහ තුන් තේරවිලි තිබේ. එවන් එක් තේරවිල්ලකි ‘මව මරා උපන් කුමරා කෙහෙල් මල” යන්න. කෙහෙල්මලක් පූදින ඊට ජීවිතය දුන් මව්ගස මරා දමනවාමයි. කෙහෙම්මල යන්න ගැමි වහරේ දී කෙසෙල් මලට යොදන යෙදුමයි. සයිමන්ගේ නමත් ඔහුගේම අනගි කෘතියත් ඉදිරියේ තබාගෙන ලියා තිබෙන තිර පිටපත මත ජැක්සන් සිනමාපටය දිග හරි යි. සයිමන්ගේ කෘතියේ අනුභූතීන් ට වෙනස් අවසානයක් ජැක්සන් ගෙන එයි. මට හැඟෙන ආකාරය ට සයිමන් ගේ කෘතිය මරා ජැක්සන්ගේ මනෝ පටය තිරයේ දිග හරි යි. ඒ අර්ථයෙන් ගත් කල මව් කෘතිය මරා මව් කෘතියේ නමින් කර ඇති මේ නිර්මාණය අනෙකෙකි. එබැවින් එය කෙහෙල් මලක් සේ ය. එය ජැක්සන්ගේ කෙහෙම්මලකි.