ප්‍රේමය කියන්නෙ ඔතාගෙන යන්න පුළුවන් විදිහට පතාගෙන ආපු දෙයක් ද?

අපිව ආදරෙන් බලාගන්න කෙනෙක්, අපිව කවුද කියලා හරියටම අඳුරාගත්තු කෙනෙක්, තමන්ගේ දෙයක් බය නැතුව කියන්න බෙදාගන්න පුලුවන් කෙනෙක් ජිවිතේ ඉන්නවා කියන්නෙ ඒ ජිවිතේට දැනෙන බර අඩුයි. හැබැයි ඒ කෙනා කවුද කියන එක සමහර විට අපිට නොතේරෙන්න පුලුවන්. එහෙමත් නැත්තම් අපිට මග හැරෙන්න පුලුවන්. සමහර විට ඒ සම්බන්දතාවය දැනෙන තැනක නතර කරගන්න අපි අසමත් වෙන්නත් පුලුවන්. කොහොම වුනත් මට හිතෙන විදිහට සංවේදි සමාජ කාරණාවක් එක්ක ආදරය කියන හැඟීම ගැන කතා කරන ෆිල්ම් එකක් තමයි 2018 රිලිස් වෙච්ච Sir ෆිල්ම් එක.

ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය මෙහෙකාරියක්. ඇය ඉතාමත් නිහඬව තමන්ට පැවරෙන වැඩ කරන කෙනෙක්. හැබැයි එයා තමන් වැඩ කරන තැන සර් එහමත් නැත්තම් අශ්වින් ගැන ඉතාමත් අවධානයෙන් ඉන්න කෙනෙක්. එක්තරා විදිහට ඒක හරිම නිහඩ ප්‍රේමයක්. අශ්වින්ට මෙහෙකාරිය හරියටම පෙනෙන්න ගන්නෙ තමන්ගේ ප්‍රේමය ප්‍රශ්ණයක් වෙන තැනදී, ඒක හරිම ලස්සන සිදුවීමක්, මොකද එතනදී තමයි පළවෙනි වතාවට මෙහෙකාරිය තමන් ගැන අශ්වින්ට කියන්නෙ. ඒක එක පැත්තකින් අශ්වින්ගේ හිත හැදීමක්.

කොහොම වුණත් අශ්වින් නොදැනිම මෙහකාරියට උදව් කරනවා. තමන්ගේ හැකියාවන් වර්ධනය කරගෙන මෙහෙකාරිය කියන තැනින් එහාට එක්තරා සමාජ වටිනාකමක් ලබා දෙන්න. කෙනෙක්ට මේක ප්‍රේමය විදිහට දකින්න පුළුවන්, තව කෙනෙක්ට අනුකම්පාවක් විදිහට දකින්නත් පුළුවන්. උත්තරය ෆිල්ම් එක බලලා හොයාගන්නත් පුළුවන්.

මේ ෆිල්ම් එකේ මෙහෙකාරිය විදිහට රගපාන්නෙ Tillotama Shome. ඇය ඉතාම දක්ශ ලෙස ඒ චරිතයට අවශ්‍ය හැඟීම්, අහිංසක කම, නොදැනුවත් කම, රඟ දක්වනවා. තවත් මම කැමතිම තැනක් තමයි ඇයට ඉන්ග්‍රිසි භාෂාවෙන් අශ්වින් පවසන දෙයක් පරිවර්තනය කරගන්න අවස්ථාව. මේ වගේ සියුම් මානුෂීය ගනුදෙනු ගැන හරිම ලස්සනට පෙළගස්වපු කතාවක් තමයි සර් කියන්නෙ.

කොහොම වුනත් මේ ෆිල්ම් එක නිදහසේ ඔලුවට කරදරයක් නැතුව සතුටින් බලලා ඉවර කරන්න පුළුවන් ෆිල්ම් එකක් විදිහට තමයි මම දකින්නෙ. හැබැයි ඉතාම සියුම් විදිහට මිනිස් සබදතා කියවන රූප පෙලක් අපිට මේ ෆිල්ම් එක පුරාම දකින්න පුළුවන්…

ඉතින් ඇත්තටම ප්‍රේමය ඔතාගෙන යන්න පුළුවන් පතාගෙන ආපු දෙයක්ද? කියලා ෆිල්ම් එක බලලා ඉවර වුණාම මට හිතුණා…

-ෂදි-

උපුටාගැනීම – ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම