නුඹ අප අතර නැතැයි මා කෙසේ නම් කියන්නද?

-චූලානන්ද සමරනායක-

දිනය ගැන නිශ්චිතවම කිව නොහැකි වුවද ඒ 1986 වසරේ දෙසැම්බර් මාසයේ දවසක් බව නම් නිසැකය. වියළි ගිම්හාන සමය ඇරඹී තිබුණේ නිල්ලෙන් වැසී ගිය ජපුර සරසවියෙහි තණ පත්ද දුඹුරු පැහැයට හැරෙමින් පැවතිණි. ඒ මගේ සරසවි දිවියෙහි දෙවන වසරේ ඇරඹුමයි. හෙවත් නවක වදය පිණිස බෞතිස්මය ලැබෙනා අවස්ථාවයි. එදින මා සිටියේ තනිවම ජිම් කැන්ටිම දෙසට යමිනි. ඒ අසල වූ තේක්ක ගස් පෙල යට පොලව හැඩිව තිබුණේ තේක්ක ගස් විසින් පිලිකෙව් කරන ලද වියලි පත් වලිනි. ඒ වියලි පත් ගිම්හානයේ කර්කශ බව තවත් වැඩි කරමින් සිටියේය.

හුදෙකලාවේ එක් තේක්ක ගසක් යට සිටිනා ඇය මා නෙත ගැටුනේ එසේ කැන්ටිමට ලං වෙමින් සිටි මොහොතෙහිය. දුටු මතින්ම ඇය වැලපෙමින් සිටි බව පැහැදිලි වුනෙන් මම ඇය වෙත ගියෙමි. පලමු වසර සිසුවියකට හුරු කෝල බව මුසු බියපත් බව විදහමින් ඇය ම දෙස බැලුවා කඳුළින් පෙඟුනු මුහුනිනි. මම ඇය ඇමතීමි.

‘නංගි, ඇයි බං උඹ අඩන්නෙ?’
ඇය එවිට මට පැවසුවා තමන් හට ‘සීනියර් අයියා’ කෙනකු බැන වැදුන බවයි.
‘ ඔහොම එක එකා බනින බනින පාරට අඩන්න ගියොත් උඹට මුළු ජීවිත කාලෙම අඩ අඬා ඉන්න තමයි වෙන්නෙ.’ මම වගකට නොගෙන කීවෙමි. එවිට ඇය මට දුන් පිළිතුර තවමත් මට හොඳට මතකය.

‘ඒ අයියා මට අම්ම මතක් කරලයි බැන්නෙ. මගෙ අම්මා නෑ. කවුරු හරි මගෙ අම්මව මතක් කරල බනින එක මට දරා ගන්න බෑ.’

ඒ අප අතර දීර්ඝ කතාබහකට මුල පිරූ පිළිතුරයි. ඉන් මද වෙලාවක් යද්දී ඇය මට තම පුද්ගලික ජීවිතයේ සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් කියා සිටියාය. තමන් හදවතෙහි රෝගී තත්වයක පසුවන බව පැවසූ ඇය මව අහිමි ජීවිතයක කටුක බව මෙන්ම තම පවුල් පසුබිම ඇතුළු බොහෝ තොරතුරු කියා සිටියාය. ඒ දීර්ඝ කාලීන මිතු දමක ඇරඹුමයි.

මම ඒ වන විටද සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු මෙන්ම පූර්ණ කාලීනයෙකුද වී හමාරය. කාලය වේගයෙන් ගෙවී යද්දී ඉක්මනින්ම අපි එකම අරමුණක් හඹා ගිය ගමන් සගයන් ලෙස බැඳුනෙමු. ඇය වේගයෙන් ප්‍රබල ශිෂ්‍ය ක්‍රියාකාරිණියක බවට පත්වූවාය. සෞඛ්‍යය අතින් ගත් කළ ඇගේ හදවත රෝගී වුවද දේශපාලනික වශයෙන් ගත් කළ ඒ අතිශය නිරෝගී හදවතක් බව ඇය ඉක්මනින්ම ඔප්පු කර සිටියාය. එදා තේක්ක ගස් යට හඬමින් සිටි යුවතිය දේශපාලන අරමුණක් වෙනුවෙන් කැපවූ අදිටන් සහගත තරුණියක බවට රූපාන්තරණයවී සිටියා ස්වකීය පවුලෙන් එල්ලවූ විරෝධයද නොතකා හරිමිනි.

කෑගල්ලේ පොල්ගම්පල ඉහල සමාජ පසුබිමක උරුමක්කාරිය ව සිටි ඇය එසේ තම පවුල් පසුබිම එහෙම පිටින්ම අමතක කර පීඩිත මිනිසුන් වෙනුවෙන් අරගල බිමට අවතීර්ණව සිටියා ජීවිත පරිත්‍යාගයෙන් වුව පොදු අරමුණ වෙනුවෙන් කැපවන්නට සපථ කළාය. විද්‍යා පීඨයෙහි අධ්‍යාපනය අතහැරදැමූ ඇය ඉන්පසුව පූර්ණ කාලීන සටන්කාරියක ලෙස තම ඉදිරි මග තෝරා ගත්තී, තවත් පක්ෂ සාමාජිකාවන් දෙදෙනකු සමගින් එකම බෝඩිමක ලැගුම් ගෙන මහත් උද්‍යෝගයෙන් ඉදිරියෙහි එළඹීමට නියමිත භීම සමයක අසීරු පරීක්ෂණයන්ට මුහුණ දෙන්නට සිත දැඩි කරගත්තාය.

ඒ මහ පාරේ දැවැන්ත උද්ඝෝෂණයන්ගේ සිට විවිධ සන්නද්ධ ක්‍රියාකාරකම් දක්වා ජවිපෙ දේශපාලන කටයුතු විහිද යමින් පැවති සමයයි. ඇය මේ මුළු කාලය පුරාම තමන් වෙත පවරන ලද කවර වගකීමක් වුව තමන්ගේ පුද්ගලික ආරක්ෂාවට වඩා පොදු අරමුනෙහි වැදගත්කම පෙරට ගනිමින් ඉටු කරන්නට වග බලා ගත්තාය. ඉතාම සමීප යෙහෙළියක ලෙස පොදු සිසුන් අතරෙහි හැසිරුණු ඇය පක්ෂ සාමාජිකයන් අතරෙහි විශ්වාසවන්ත සටන්කාමිණියක බව යළි යළි සනාථ කර සිටියාය. අතිශය සංවේදී ඇය අනෙකාගේ දුක හමුවේ සිය නෙත ක‍්ඳුළින් තෙත් වන්නට හැරියද දේශපාලනයට බට දා පටන් තමන් වෙනුවෙන් එක කඳුලකුදු හැලුවේ නැති.

මේ අතර අප යළිත් හමුවූ රහසිගත අවකාශයක්ද එළඹිණි. ඒ ජවිපෙ සාමාජිකයන් උදෙසා සංවිධානය කරන ලද රහසිගත අධ්‍යාපන ක‍ඳවුරකි. ඒ කඳවුරු කාලය තුළ මට හමුවූවේ මැසිවිල්ලක තරම නොනගා එහි පැවති සියළු දුෂ්කරතා දරාගත් දේශපාලන අධ්‍යාපනය ලැබීමේ ලා නොනැසෙන අනුරාගයකින් යුත් අරගලකාරියකි.

මගේ සමකාලීන සගයෙකු වරක් කී පරිදි ඇය අපූරු දක්ෂතා ඇති කලාකාරියකි.

‘ආරක්ෂාව ගැන හිතලා සමහර අවස්ථාවලදි අපි පක්ෂයේ කටයුතු වලට යන්නෙ පෙම්වතුන් දෙදෙනක් හැටියට. ඒ අවස්ථාවලදි එයා නියම පෙම්වතියක් හැටියට කරපු රඟපෑම අති විශිෂ්ඨයි. ඒ වගේම පැනගන්න අමාරුම මුර කලෙපාලු වලින් පැනගන්න එයා කරපු රඟපෑම ඉහලින්ම සාර්ථක වුනා. බයක ලකුණක්වත් නොතිබ්බ එයා තුළ තිබ්බ ආත්ම විශ්වාසය අන්තිම ඉහලයි.’

ඇයට පක්ෂය වෙනුවෙන් තම පෙම පවා කැප කරන්නට සිදුවූ බව මගේ මතකයයි. එහෙත් ඇය තමන්ට අහිමි වන දේ වෙනුවට සියළු අපේක්ෂා රඳවා ගත්තී පොදු අරමුණ කරා ළඟා වීමේ මග කෙරෙහිය. පුද්ගලික පෙම වෙනුවට ඇය එක සිතින් මනුෂ්‍ය වර්ගයා උදෙසා වූ පෙම ඉදිරියට ගත්තාය. සමාජය වෙනස් කළ යුතු බවත් දේශපාලන අරගලය හැර ඒ සඳහා අන් මගක් නැති බවත් ඉඳුරාම විශ්වාස කළ ඇය ඒ මගෙහිදී තමන්ට ජීවිතය අහිමි වුවද එහිම රැඳී අරගල කරනු හැර අන් විකල්පයක් නැති බව උදක්ම විශ්වාස කළාය.

ඇය පැහැර ගනු ලබන්නේ මේ අතරය. අසූනමයේ එක් දිනෙක පැහැර ගනු ලබනා ඇය යළි හමුවනුයේ මග දමා ගොස් සිටියදීය. ශාරීරිකව විවිධ අඩන්තේට්ටම් වලට ලක්ව සිටියද යළි අපට හමුවූවේ පෙරටත් වඩා මනසින් සවිමත්, තම අරමුණ කෙරේ පැවති විශ්වාසය වඩාත් වර්ධනය කරගත් අරගලකාරියක බව කීම ඇයට සාධාරණය ඉටු කිරීමකි. එහෙත් දෙවන වර ඇය අපට අහිමි වනුයේ සදහටමය. තවත් සගයකු සමගින් පැහැරගනු ලැබී යයි ලැබුණ තොරතුරු වලින් එහාට ඇය ගැන විශ්වසනීය විස්තර කිසිවක් අපට ලැබුනේ නැත. ඒ වන විට අප කටයුතු කරමින් සිටියේද වෙනස් සංවිධාන වල හෙයින් මෙන්ම තිරශ්චීන මර්ධනය හමුවේ ව්‍යාපාරයේ දැවැන්ත බිඳ වැටීම තොරතුරු සොයා ගැනීමට බරපතල බාධාවක්ව පැවතිණි. අසූනමයේ අග දිනෙක මා පැහැරගනු ලබනා දිනය වනතුරුම මට ඇය ගැන නිශ්චිත තොරතුරක් තිබුණේ නැති.

ඇය පිළිබඳ මගේ මතක යළි පාරන ලද්දේ ඉන් වසර ගණනාවකට පසු දිනෙක මා හමුවට පැමිණි ජවිපේ ශිෂ්‍ය අංශයේ සහෝදරයෙකු විසිනි. ඔහු ම වෙත පැමිණ සිටියේ අතුරුදන් කරන ලද සගයන්ගේ ඡායාරූප ගොන්නක්ද සමගිනි. ඔහුට ඇවැසිව තිබුණේ ඒ ඡායාරූප අතර තවමත් හඳුනාගත නොහැකිව තිබූ ඒවා මට හඳුනාගත හැකිදැයි බැලීමටය. ඒ සියල්ල පෙරලාගෙන ගිය මට මගේ ගමන් සගයන්ගේ විවිධ මතකයන් මා ඉදිරිපිට යළි පණ ලබනයුරු දැනින. එක්වරම මගේ නෙත එක් ඡායාරූපයක් මත රැඳුණි. එහි සිටියේ ඇයයි. මම ගල්ගැසී ගියෙමි. දරාගත නොහෙනා වේදනාවකින් හදවත තෙරපෙද්දී මම ඡායාරූප ගොන්න ආපසු දී මේසය මත හිසගසා ගතිමි.

අප අවසන් වරට හමුවූ අවස්ථාවද මගේ දිවියෙහි නොනැසෙන මතකයකි. ඒ අසූ නවය වසරේ මධ්‍ය භාගයයි. ඒ වන විට අපේ ඉරණම කෙටෙනයුර පැහැදිලිව දක්නට ලැබෙමින් පැවතිණි. උදේ එකට මග බැස විවිධ වගකීම් දරා යන සහෝදර සහෝදරියන් සවස හමුනොවන අවස්ථා වැඩි වෙමින් පැවතිණි. හමුදා ඇඳුම් අන්දවා මහ මග තබාගෙන සිටිනා සටන් සගයන්ගේ දෙනෙත් මගහැර යාම දෛනික අත්දැකීමක් බවට පත්වෙමින් තිබිණි. මහ මග දැවෙන ටයර් සෑයන් පසුකර යන වේදනාබර නිමේෂයන් මෙන්ම තමන් සමග එකට සිටි සගයකු ගේ සිරුර දැවෙන සිරුර අතරෙහි කිසියම් සලකුණකින් හඳුනාගන්නට ලැබීම වඩ වඩා සුලබ වෙමින් පැවතිණි.

මා ඒ වනවිට නතරව සිටියේ රත්මලාන මැලිබන් හන්දිය ආසන්නයේ අතුරු මාවතක බෝඩිම් කාමරයකය. ඒ තවත් සගයෙකුද සමගිනි. අප පුද්ගලික ආයතනයක සේවය කරන්නවුන් බව හැඟවෙන හොර කාර්යාල හැඳුනුම් පතක් මවෙත තිබිණි. එක් සවසක මා මගේ සගයාද සමගින් බෝඩිම කරා එද්දී එහි හිමිකාරියගේ යෞවන පුත්‍රයා හති දමමින් අප හමුවට දිව ආවේය.

‘අයියෙ බෝඩිමට හමුදාවෙන් පැන්නා. අයියලගෙ කාමරේ අනිත් පැත්ත පෙරලල බලලා ගියා. අම්මා අයියලට මේ පැත්ත පලාතෙ ඉන්න එපා කියන්න කිවුවා.’

එහෙත් එක්වරම පලා යන්නට මට සිත දුන්නේ නැති. ඒ මගේ කාමරයෙහි මා බෙහෙවින් ඇලුම් කල පොත් ගණනාවක් තිබූ හෙයිනි. එහෙයින් රෑවන තුරු බලා සිට ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් නිවසේ හිමිකාරියගේ විරෝධයද මැද- ඇය විරෝධය පෑවා උදක්ම අපේ ආරක්ෂාව ගැන සිතාය.-කාමරයට පිවිසියෙමි. එහිවූ මෙට්ට කොට්ට පවා ඉරා දමලාය. මුළු කාමරයම සුනාමියකට හසුවූ විටෙක මෙනි. මම මගේ පොත් ගෙන සගයා සමග පලා ගියෙමි. ඉන්පසු මගේ නවාතැන බවට පත්වූවේ ගල්කිස්සේ වෙනත් තැනකි. සගයා තවත් තැනකට ගියේය.

මේ ආසන්න දිනෙක මම පානදුරය බලා යන්නට තීරණය කළෙමි. ආරක්ෂාව තිබූ ස්ථාන ආරක්ෂක අංශ සහ වෙනත් සන්නද්ධ කල්ලිවල ගොදුරු බිම් බවට පත්වෙමින් පැවති තත්වයක අපට ආරක්ෂාව සහ ආහාර පාන සැපයූ බොහෝ පුද්ගලයන් ඔවුන්ගේ ආරක්ෂාව තකා මග හරින්නට සිදුව තිබිණි. ආර්ථික අපහසුකම් මැද කුසගින්න දෛනික ගමන් සගයා බවට පත්වූවේය. දෙනෙත් දැවෙමින් පැවතියේ නිදිවර්ජිත රාත්‍රී කාලවල වන්දිය ලෙසිනි.

ඉදින් මම පානදුර ගොරකාන කනත්ත ආසන්නයේ මගේ පාසල් මිතුරකුගේ නිවෙස බලා යාමට තීරණය කළෙමි. ඒ බඩට යමක් දාගෙන පොඩි නින්දක් ලැබීමේ අරමුණිනි. ඉතාම අසීරු සමයන්හිදී අපේ බඩ පිරවූ එක් ස්ථානයක් වූවේ ඒ නිවසයි. මිතුරාගේ නැගණියද අපේ සරසවියෙහි උගත් අතර ව්‍යාපාරික පවුලක් වූ හෙයින් ඔවුන්ගේ නිවෙස සැකයකට භාජනය නොවන වටපිටාවක්ද තිබිණි. ඉදින් මම බසයෙන් බැස තුන් කල් බලා පාර පැන කනත්ත හරහා මිතුරාගේ නිවෙස කරා ගොස් ඉදිරි දොරෙහි සීනුව නාද කර බිත්තිය අයිනට වී බලා සිටියෙමි. බොහෝ විට මේ බලා සිටින අවස්ථාව අපේ ඉරණම තීන්දු කළේය.

එක්වරම දොර ඇරී මගේ ගෙල වටා දෑතක් එතී ගියේ වැලපෙන ස්වරයක්ද සමගිනි. ඒ ඇයයි. මා මෙන්ම රැකවරණය සහ මද විවේකයක පතා එහි පැමිණි සිට ඇය හැඬුවා දුකට නොව සතුටටය. කතා කරන්නට හැකිවූ පළමු මොහොතේ ඇය කීවා යළි මා දකින්නට ඉඩක් ලැබේ යයි තමන් කෙසේවත් විශ්වාස නොකළ බවයි. ඊට හේතුව ඒ වන විට මා මරා දමා මගේ සිරුර හයිලෙවල් පාරේ විජේරාම හන්දිය ආසන්නයේ දැවෙමින් පැවතියේ යයි තොරතුරක් හුවමාරු වෙමින් පැවති හෙයිනි.

ඒ අපේ අවසන් හමුවයි. අප එකට කා බී ඉදිරියේ ඇති අවිනිශ්චිත එමෙන්ම බියකරු අනාගතය ගැන කතා කළෙමු. ඒ වන විට අපේ ජීවිතය ඉතාම අවදානම් තත්වයකට පත්ව තිබූ බව හොඳටම පැහැදිලිව තිබුණද ඇය පසුවූවා අවසානය දක්වාම සිය දේශපාලන අරමුණ වෙනුවෙන් කැපවෙන්නෙමැයි යන අදිටන සමගිනි.

එදා සන්ධ්‍යාව්දී මම ඇගෙන් සමු ගතිමි. ඇය එදින එහි නතර වූවාය. ඉන්පසු අප හමුවූවේ නැති. විජේවීර ඇතුළු ජවිපේ ඉහල නායකයන්ගේ ඝාතනයන් සමග අප බොහෝ දෙනකුට අඳුරු වංගගිරි මග විවර විණි. මා මගේ වංගගිරිය හරහා ගොස් සාපේක්ෂ නිදහස් ලොවට යළි එනවිට ඇය සිටියේ නැති.

මේ අශ්විනී ඉරේෂා පොල්ගම්පල සහෝදරිය පිළිබඳ මගේ සිත දවනා මතකයෙන් බිඳකි. අප යළි කිසි දිනෙක හෝ එකිනෙකා හමුනොවන බවට පසුගිය දශක කිහිපය විසින් සහතික ලබාදී හමාරය. එහෙත් එසේ අප හමුනොවූවද අප අතර පැවති සහෝදරත්වයේ ඉමිහිරි මතකයන් මැකෙන්නේ නැත. ඒ මතකයන් සෑම වසරක් පාසාම අලුත් වෙයි. ඇය වන් බොහෝ දෙනෙකු අහිමි වීමේ වේදනාව දරාගෙන ගෙවෙනා අඳුරු හෝරාවන්හී නොවැටී සිටින්නට මට ශක්තියක් සපයන්නේද එවන් මිනිසුන්ගේ සදානුස්මරණීය මතකයන්මය. ජීවිතයේ ඉතිරිව පවත්නා කෙටි කාලය තුළ කරගසාගෙන යන්නට නියමව ඇති කුරුසය ඉතා බරය. එහෙත් මේ මිනිසුන්ගේ මතකයන් ඒ බර දරා සිටින්නට ජවය සපයන බව ද ඒ සමගම ස්ථිරය.

ඉදින් ඉරේෂා නැගණියනි, නුඹ අප අතර නැතැයි මා කෙසේ නම් කියන්නද?

Social Sharing
අවකාශය නවතම