කල්ලෙක් හදපු විස්කිය… Jack Daniels..!

-Malcolm Sang-

“වයින් ටිකක් බොන්න එපා අපායෙ යන්නේ.. විස්කි බ්‍රැන්ඩි බීවම සුර ලෝකෙ පෙනෙන්නේ…” කවුද අහල නැත්තෙ මේ සිංදුව. විස්කි කියන්නෙ මිළෙන් ටිකක් වැඩි බීමක්. නමුත් ලංකාවේ විස්කි මිළ ඉතාම ඉහළ යන්නෙ ආණ්ඩුව අය කරන අධික බදු නිසා බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. විස්කි ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 400 දක්වා ඈතට දිවෙද්දි ස්කොට්ලන්තය හා අයර්ලන්තය කියන රටවල් දෙකම තමන්ගෙම පැරණි විස්කි වර්ග වලට හිමිකම් කියන්නෙ ඒ අයටම වෙන්වූ නිෂ්පාදන ක්‍රමවේද හා රහස් එක්කයි.

ස්කොච් විස්කි වලට වගේම ජපන් විස්කි වලටත් වෙළඳ පලේ ඉහළ ඉල්ලුමක් තිබුනත් ඇමරිකානු ජැක් ඩැනියෙල් සමාගම ලෝකයේ විශාලතම විස්කි නිෂ්පාදකයා විදිහට හැඳින්වෙනවා. ටෙනසීස් ප්‍රාන්ථය කියන්නෙ ඇමරිකානු විස්කි නිෂ්පාදනයට නම් දරාපු පළාතක්.

“ටෙනසීස් විස්කි තරම් සුමුදුයි” ( “ you are smooth as Tenesee’s Whiskey” ) කියන යෙදුම ඇමරිකානුවො පාවිච්චි කරද්දි, ක්‍රිස් ස්ටේපල්ටෝන්ගෙ ටෙනසීස් විස්කි ගීතය නිතරම අහන්න පුළුවන් ලස්සන ගීතයක්.

You’re as smooth as Tennessee whiskey
You’re as sweet as strawberry wine
You’re as warm as a glass of brandy
And honey, I stay stoned on your love all the time.

ජැක් ඩැනියෙල් කියන්නෙ විස්කි වර්ගයක නම වගේම ඒ විස්කි වර්ගය නිර්මාණය කරපු මහත්තයාගෙ නම. ඇත්තටම ජැක් ඩැනියෙල් ද මේ විස්කි වර්ගයේ හිමිකාරයා..? මෙන්න මේ ගැන පොඩ්ඩක් හොයා බලන එක වටිනවා. ඒ මහත්තයා ජීවත් වෙන්නෙ 1850 – 1911 කාලයේ ඇමරිකානු ටෙනසීස් ප්‍රාන්ථයේ.

මේ පළාතෙ මේ කියන කාලෙත් වැඩිපුර ජීවත් වෙන්නෙ ස්කොට්ලන්ත හා අයර්ලන්ත සංක්‍රමණිකයන්. ඇමරිකාවට සංක්‍රමණය වෙද්දි මේ අය විස්කි නිපදවීමේ ක්‍රමවේද හා රහස් අරගෙන ගිය නිසා 1700-1800 කාලෙ ටෙනසීස් හා ටෙක්සාස් පළාත් වල විවිධ විස්කි වර්ග කුඩා මට්ටමින් නිපදවීම සිද්ධ වෙනවා. මේ කියන කාලයේ ඇමරිකානු වහල් වෙළඳාම බොහොම සංවිධානාත්මකව සිද්ධ වෙනවා.

අප්‍රිකානු වහළුන් කියන්නෙ ඇමරිකානු සුදු ජාතිකයන්ට විශාල සම්පතක්. ටෙනසීස් පළාතෙ ලින්ච් බර්ග් නගරයේ කුඩා වෙලඳසල් හිමියෙක් වන ඩෑන් කෝල් මහත්තයා හොඳ වර්ගයේ විස්කි නිපදවන බවට තැනින් තැන අහන්න ලැබෙන නිසාම මේ ගැන දැනගන්න… ඉගෙන ගන්න බොහෝ දෙනෙක් උනන්දු වෙනවා. නමුත් මෙහෙම එන වැඩි දෙනෙක්ව ඩෑන් කෝල් විසින් ප්‍රථික්ශේප කරන්නෙ විස්කි නිෂ්පාදනයේ රහස් තමන් වෙතම රඳවාගන්නා උවමනාවෙන් විය යුතුයි. ඒ එක්කම කෝල් මහත්තයා ව්‍යාපාර කීපයක්ම කරන වැඩ වැඩි පුද්ගලයෙක්.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්ථා කරන විදිහට ඒ 1859 අවුරුද්ද. ජැක් ඩැනියෙල් ගැටවරයෙක් විදිහට ඩෑන් කෝල්ගෙ ගොවිපළට නැත්තං වෙළඳ සැලට එන්නෙ විස්කි නිෂ්පාදනය කරන හැටි ඉගෙන ගන්න උවමනාවෙන්. කෝල් මහත්තයා දකිනව ඩැනියෙල්ගෙ උනන්දුවත් බුද්ධියත්. ඒ නිසාම තමන් ළඟ රඳවා ගන්න තීරණය කරන්නෙ නතාන් ග්‍රීන් කියන තමන්ගෙ අත්උදව් කාරයාගෙ සහායකයා විදිහට.

නතාන් නියරස්ට් ග්‍රීන් කියන්නෙ ඩෑන් කෝල්ට අයිති අප්‍රිකානු වහළෙක්. – Nathan “Nearest” Green. නමුත් විශේෂත්වය තමයි කෝල් වෙළඳ සැලේ අළෙවි කරන විස්කි නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙන්නෙ නතාන් ග්‍රීන් සතුව වීම. නතාන් අප්‍රිකානු වහළෙක්. නමුත් ස්කොට්ලන්ත වගේම අයර්ලන්ත ජාතික ස්වාමියන් යටතේ සේවය කරපු නතාන් මේ හැමදෙනාගෙම දැනුම එකතු කරගෙන බොහොම කදිමට විස්කි නිෂ්පාදනය කරනවා. ඩෑන් කෝල් මේක රහසක් විදිහට තියාගන්නෙ, වහලෙකු විසින් ඉස්තරම්ම වර්ගයේ විස්කි නිපදවන බව ඇමරිකානුවො දැනගත්තොත් ඒක මහ විනාසෙකින් කෙළවර වෙන්න ඉඩ තියන බව දන්න නිසයි.

ජැක් ඩැනියෙල් ගැටවරයා බොහොම උනන්දුවෙන් කෝල් ගොවිපළේ සේවය කරද්දි.. නතාන්; ජැක් ඩැනියෙල්ට උගන්වනව විස්කි නිපදවීමේ සියළුම ක්‍රමවේදයන්, කිසිම රහසක් තියා ගන්නෙ නැතිව. ඒකට හේතුව ඩෑන් කෝල් මහත්තයා වගේම ජැක් ඩැනියෙලුත් නතාන්ට සලකන්නෙ මිත්‍රයෙක්ට වගේ බොහොම කරුණාවෙන් වීම නිසයි. නතාන්ට ජැක් කතා කරන්නෙ අන්කල් නතාන් කියල. මේක ඇමරිකානු සමාජය කොහෙත්ම අනුමත කරන දෙයක් නෙවේ. කාලය ගතවෙනවා.

1865 අවුරුද්දෙ ඒබ්‍රහම් ලින්කන් මහත්තයාගෙ ආණ්ඩුව තීරණය කරනව වහල් වෙළඳාම අත්හිටුවන්න. ( ඒකට තවත් අවුරුදු සීයකට වඩා කාලයක් ගත්වුනු බව වෙනම කතාවක්). ඒත් එක්කම නතාන් ග්‍රීන් වගේම එයාගෙ තරුණ පුත්තු තුන් දෙනත් වහල් සේවයෙන් නිදහස් වෙනවා. මෙන්න මේ කාලෙ තමයි ජැක් ඩැනියෙල් තරුණයා තමන්ගෙම කියල විස්කි නිෂ්පාදනාගාරයක් පටන් ගන්නෙ.

නිවැරදි දින වකවානු හරියටම හොයා ගන්න අපහසු වුනත් මුල්ම අවුරුදු කීපයේදී ප්‍රධාන ඩිස්ටිලර්( Master Distiler) හෙවත් විස්කි පෙරන්නා විදිහට නතාන් ග්‍රීන් තමන්ගෙ සේවයට බඳවාගන්න ජැක් ඩැනියෙල් තීරණය කරනවා. නතාන්ගෙ අයහපත් සෞඛ්‍ය නිසා වැඩි කාලයක් වැඩ රාජකාරි කරන්න නොහැකි වුනත් නතාන්ගෙ පුත්‍රයන් තුන්දෙනාම ජැක් ඩැනියෙල් සමාගමේ සේවයට එකතු වෙන්නෙ ප්‍රධාන විස්කි පෙරන්නන් විදිහට.

ජෝජ් ග්‍රීන්… එඩ් ග්‍රීන්… එලි ග්‍රීන් කියන මේ තුන්දෙනාම දිගු කාලයක් ජැක් ඩැනියෙල් සමාගමේ රාජකාරි කරන්නෙ ජැක් ඩැනියෙල් ඇමරිකාවේ විශිෂ්ඨතම විස්කි නිෂ්පාදකයා බවට පත් කරමින්. ඒ විතරක් නෙවේ ග්‍රීන් පවුලෙ තුන්වෙනි පරපුර දක්වාම සාමාජිකයන් ජැක් ඩැනියෙල් සමාගමේ සේවයට එකතු වෙන්නෙ ජැක් ඩැනියෙල් මහත්තයා විසින් මේ අයට දිය යුතු ඉහළම වැටුප් වගේම සැලකිල්ලත් දක්වපු නිසයි.

කොහොම වුනත් ඇමරිකානු සුදු සමාජයේ කළු ජාතිකයන්ට හිමි තැන ලැබෙන්න තවත් දිග කාලයක් ගතවෙන නිසා නතාන් ග්‍රීන්ට හිමි තැන හෝ ගෞරවය ලැබෙන්නෙ නෑ. 2016 අවුරුද්ද වෙනකල්ම නතාන් ග්‍රීන්ගෙ කතන්දරය ටෙනසීස් පළාතට පමනක් සීමා වෙච්ච කටකතාවක් හෝ පුරාවෘත්තයක් විතරයි.

ඒත් 2016 අවුරුද්දෙ නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ විශේෂ පර්‍යේශණ ලිපියක් පළවෙනව නතාන් නියරස්ට් කතන්දරය එක්ක. ජැක් ඩැනියෙල් මහත්තයාගෙ පුද්ගලික සටහන් පොත් වල සඳහන් වෙනව ගැටවරයෙක්ව ඉද්දි නතාන් ග්‍රීන් විසින් තමන්ට විස්කි නිපදවීමේ රහස් උගන්වපු බවත් එයින් අමතක වූ සමහර කරුණු නතාන්ගෙ පුත්‍රයා ජෝර්ජ් ග්‍රීන් විසින් තමන්ට උගන්වපු බවත්.

ඒ එක්කම ජැක් ඩැනියෙල් සමාගම පවතින තෙක් ග්‍රීන් පවුලේ සාමාජිකයන්ට ගෞරවාන්විතව සැලකිය යුතු බවටත්, ජැක් ඩැනියෙල් මහත්තයා ලිඛිතවම උපදෙස් ලබාදීල තියනවා. ඩැනියෙල් කිසි දවසක විවාහ වුනු පුද්ගලයෙක් නෙවෙයි. එයාගෙන් පස්සෙ තමන්ගෙ ඥාති පුත්‍රයෙක් වන ලොම් මෝල්ටෝට ව්‍යාපාරය පවරල දෙන්නෙ ඇමරිකාවේ විශිෂ්ඨතම විස්කි නිපදවීමේ සන්නාමයත් එක්කයි.

ලින්ච්බර්ග් නගරයේ ජැක් ඩැනියෙල් ප්‍රධාන කාර්‍යාලයේ වගේම කෞතුකාගාරයෙත්, මේ ලෝක ප්‍රසිද්ධ විස්කි සමාගමේ මුල්ම කාර්‍ය මණ්ඩලය සහිත සමූහ ඡායාරූපයේ ජැක් ඩැනියෙල් ළඟින්ම අසුන්ගෙන ඉන්න ජෝජ් ග්‍රීන්ව දකින්න පුළුවන්. මේ කියන කාලයේ කළු ජාතිකයෙක් එක්ක ඡායාරූපයකට පෙනී සිටීම පවා සැලකෙන්නෙ අවමානයක් විදිහට.

අද ජැක් ඩැනියෙල් විස්කි ඇමරිකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකය පුරාම ජනප්‍රියයි. නමුත් මෑතක් වෙනකල් ඉහළ ඇමරිකානු සුදු සමාජය දැනගෙන හිටියෙ නැහැ, තමන් මේ අගය කරමින් බොන්නෙ කළු අප්‍රිකානු වහළෙක් විසින් නිර්මාණය කරන ලද විස්කි විශේෂයක් බව. විශේෂයෙන්ම ඇමරිකාවේ ආඩම්භරය විදිහට සැලකෙන ජැක් ඩැනියෙල් විස්කි වහළෙකුගේ නිෂ්පාදනයක් බව පිළිගන්න අදත් ඉහළ සුදු ජාතික සමාජය පැකිලෙන බව හැමෝම දන්න කාරණයක්.

ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි පුද්ගලයන් නියෝජනය කරන සුපිරි ධනවත් සුදු සමාජයට මේක ලොකු අවමානයක්. අපි හැම තිස්සෙම සුදු ජාතික ආධිපත්‍ය හෙලා දකිනව… ඒ මිනිස්සුන්ගෙ නොපනත්කම් ගැන කතා කරනවා. නමුත් ඒ අතරෙ කළු හම සහිත මිනිස්සුන්ට නිවැරදිව සලකපු ජැක් ඩැනියෙල් වගේම අපූරු මිනිස්සු ගැන අමතක කරනවා. අන්කල් නියරස්‍ට් ප්‍රීමියම් විදිහට ජැක් ඩැනියෙල් යටතේ අළුත්ම විස්කි වර්ගයක් වෙළඳපලට ඇවිත් තියන බව අහන්න ලැබුනත් තවම රස විඳින්න අවස්ථාවක් ලැබුනෙ නෑ.

විස්කි කියන්නේ බීල රන්ඩු සරුවල් කරන බීමක් නෙවේ. නිවැරදිව රස විඳිය යුතු කලාවක්. ජැක් ඩැනියෙල් විස්කි උගුරක් රස විඳිද්දි අමතක කරන්න එපා නතාන් ග්‍රීන් ගැන. වෙලාවක් ලැබුනොත් ටෙනසීස් විස්කි ගීතයත් අහන්න. ඒක කන්ට්‍රි සංගීත රටාවට ගැයෙන කදිම ගීතයක්. අවුරුදු එකසිය පනහකට පස්සෙ වුනත් සුදුස්සාට. ගෞරවය හිමිවිය යුතු තැනැත්තාට තමන්ගෙ තැන හිමිවීම අගය කල යුතු දෙයක් නෙවෙයිද..!!

සිංදුව මෙතනින් අහන්න – https://www.youtube.com/watch?v=4zAThXFOy2c

Social Sharing
අවකාශය නවතම