කරුනෙ; එය අතිශය රසවත් කතාවකි…!

-ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න-

යථාර්ථවාදී සාහිත්‍ය රීතිය ඇසුරු කරන්නෙකු ජය ගත යුතු ප්‍රධානම අභියෝගය වන්නේ එහි යථාර්ථමය නොවන කොටස හෙවත් “යථාර්ථයේ මායාව ” ඇතුළත් කරන්නේ කෙසේද, යන්න ය. බාහිර යථාර්ථය එලෙසින් ම නිරූපණය කිරීම සැබෑ යථාර්ථවාදයේ කාර්යභාරය නො වේ. ” නිරූපණය ” යන වචනය වෙනුවට ” ප්‍රතිනිර්මාණය ” යන වචනය ඒ සඳහා යොදා ගැනීම වැදගත් වන්නේ එබැවිනි.

ප්‍රතිනිර්මාණය යන්නෙන් අදහස් වන්නේ බාහිර යථාර්ථය ඇසුරින් තමන්ගේ ම යථාර්ථයක් ගොඩනැඟීම යි. එවිට බාහිර යථාර්ථය වෙත කතුවරයාට තමන්ගේ අඩුම කුඩුම එක් කිරීමට මෙන් ම ඇතැම් අනවශ්‍ය රොඩුබොඩු ඉන් ඉවත් කිරීමට ද අවකාශ හිමි වේ. විශේෂයෙන් ම කිසියම් ඓතිහාසික යථාර්ථයක් මත පදනම් වන ලේඛකයෙකු මෙම ” ප්‍රතිනිර්මාණාත්මක ” ක්‍රියාවලිය පිළිබඳ බරපතළ ලෙස අවධානය යොමු කළ යුතුය.

මන්ද යත්, ඉතිහාසයට අයත් චරිතයක් හෝ සිදුවීමක් ඇසුරින් ගොඩනඟන ප්‍රබන්ධය වූකලි එම චරිතය හෝ සිදුවීම පිළිබඳ හුදු වාර්තාවක් නො විය යුතුය. මිලාන් කුන්දේරා වරෙක කියා ඇති පරිදි ” ඉතිහාස රචනය ලියන්නේ සමාජයේ ඉතිහාසය මිස මිනිසාගේ ඉතිහාසය නො වේ. ” යන්න මෙහිලා උද්ධෘත කිරීම වැදගත් වන්නේ එබැවිනි.

මාර්ටින් වික්‍රමසිංහ විසින් ගම්පෙරළිය, කලියුගය හා යුගාන්තය රචනා කරමින් සිදු කරනු ලැබුවේ ලංකාවෙ වාණිජ ධනවාදයේ උපත, පවත හා විපත සිදු වූ ආකාරය වාර්තා කිරීම නො වේ. නොඑසේ නම් කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ පවුලේ ඉතිහාසය වාර්තා කිරීම නො වේ. ඩබ්ලිව්. ඒ. සිල්වාගේ විජයබාකොල්ලය, සුනේත්‍රා හෙවත් අවිචාර සමය වික්‍රමසිංහගේ පෙර කී නවකතාවලින් විසම වන්නේ එබැවිනි.

රයිගම් බණ්ඩාර, මායාදුන්නේ මෙන් නොව පියල් හා කබලාන යනුවෙන් සැබෑ යථාර්ථයේ කිසිවෙකු ජීවත් වූයේ නැත. එසේම නීලමණී, අසංග මෙන් නොව නාලිකාල ලා සහ මාලින්ලා එම ඓතිහාසික නිමේෂයේ හැමතැන ම ජීවත් වූහ. යථාර්ථයේ මායාව ගොඩනැඟෙන්නේ එපරිදි ය.

මේ අත්‍යාවශ්‍ය පූර්විකාව සටහන් කරන්නේ මෙවර ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශ වී ඇති උපනන්ද වැලිකලගේ “කරුනෙ” නමැති නවකතාව සම්බන්ධයෙන් අපගේ කියවීම දැක්වීම පිණිස ය.

” කරුනෙ ” නවකතාවෙන් නිරූපණය කෙරෙන්නේ මෙරට වියළි කලාපයේ මෑතකාලීන සමාජ ඉතිහාසයේ විසූ ගැමි පීඩිතයෙකුගේ කතාව ය. එය අතිශය රසවත් කතාවකි. එක හුස්මට කියවිය හැකිය. එහෙත් යථාර්ථයේ මායාව හෙවත් ප්‍රබන්ධයේ කතුවරයාගේ කොටස සම්බන්ධයෙන් කතුවරයාගේ අවධානය එතරම් යොමුවී නොතිබීම අවාසනාවකි.

නවකතාවෙන් නිරූපණය කෙරෙන කරුනෙගෙ චරිතය එම සුවිශේෂ පීඩිතයාට ම යොමු වුවකි. මෙරට 80 දශකයේ භීම සමය ගෙවා දමන තරුණයෙකුගේ චරිතයක් ලෙස එම යුගයේ ඔහු ජීවත් වූ පෙදෙසේ සිදු වූ දේශපාලන, සමාජ, ආර්ථික පරිවර්තනය ගැඹුරු ලෙසත් පෘථූල ලෙසත් මතු කර ගැනීමට එම චරිතය යොදා ගැනීමට කතුවරයාට හැකි වී නැත. මාර්ටින් වික්රමසිංහගේ ” වහල්ලු” සහ සෝමරත්න බාලසූරියගේ ” කරත්තය ” බඳු කෙටිකතා සමඟ සැසඳීමෙන් මෙකරුණ මනාව වටහා ගත හැකිය.

එහෙත් මෙම නවකතාවේ කතුවරයා ” කලුවා ” නමැති කරුනෙගේ ගවයාගේ චරිතය මූර්තිමත් කර ඇති ආකාරය බාහිර යථාර්ථය හා ප්‍රබන්ධ යථාර්ථය අතර ඇති පරතරය වටහා ගැනීමේ ශක්‍යතාවය සහිත අනාගත කතුවරයෙකුගේ ගතිගුණ ප්‍රදර්ශනය කරන්නක් බව අපේ හැඟීම යි. ඉහත දැක් වූ කෙටිකතා දෙකෙහි ද ගවයන්ගේ චරිත නිරූපණය වී ඇති නමුත් ” කරුනෙ ” නවකතාවෙහි දී කතුවරයා එම සත්ව චරිතයට ලබා දෙන තරමේ ” කාරකත්වයක් ” ඔවුන් ලබා දී නොමැති බව සඳහන් කළ යුතුය.

විශේෂයෙන් ම කරුනෙ අනතුරට ලක් වීමෙන් අනතුරුව කලුවාගෙ හැසිරීම කතුවරයා අතින් නිරූපණය වන්නේ කිසියම් අධියථාර්ථවාදී රීතියකිනි. නවකතාව අවසන් වන්නේ ද කලුවාගේ සිතුවිලි පිළිබඳ කතුවරයා විසින් සිදු කරනු ලබන උපකල්පනයකිනි.

එය අවසන් වන්නේ පහත පරිදි ය.

” මා අතින් සිදු වූ අත් වැරැද්දට මම නුඹෙන් සමාව අයදිමි. මා බලා සිටින්නේ නුඹ මට කතා කරන තෙක් ය. ”

එහෙත් කලුවා සහ කරුනෙ අතර සම්බන්ධය සුසර කිරීම මඟින් කතුවරයාට ගොඩනැංවිය හැකිව තිබූ ප්‍රබන්ධ යථාර්ථය අතිසුවිශාල එකකි. විශේෂයෙන් ම 80 දශකය තුළ මෙරට දේශපාලන සමාජ දේහය තුළ සිදු වූ විපරිවර්තනයන් මෙරට ගොවි ජනපද ව්යාපාරය වෙත කාන්දු වූ අන්දම පැහැදිලි කිරීමට මෙම සම්බන්ධය ශූර ලෙස හසුරුවා ගැනීමට කතුවරයා සමත් වී නැත.

කලුවා සම්බන්ධයෙන් කරුනෙ මුලින් අනුගමනය කළ පරිත්‍යාගශීලීත්වයේ ප්‍රතිපත්තිය කෙමෙන් මූල්‍යවාදී තර්කණයකට ලඝුවන ආකාරය නවකතාවෙන් නිරූපණය වීම මෙහි දී නවකතාකරුවාගේ සියුම් නිරීක්ෂණ ශක්තිය හෙළි කරන්නක් වුව ද නිරීක්ෂණයෙන් තමා ලද අවබෝධය ප්‍රබන්ධයක් කිරීමේ දී පරිකල්පනයේ කාර්යභාරය සම්බන්ධයෙන් කතුවරයා අනුගමනය කර ඇත්තේ පැතලි ප්‍රතිපත්තියකි.

එනම් ඔහු එහි දී පරිකල්පනය ලෙස සලකා ඇත්තේ සැබෑ ලෝකයේ සිදු වූ සිදුවීම් මදක් කළමනාකරණය කිරීම ය. එහෙත් ඔහුගේ පරිකල්පනය විපුල වූයේ නම් ඔහුට එමඟින් විවෘත ආර්ථික ක්‍රියාවලියත් සමඟ මෙරට වියළි කලාපීය ගැමි සමාජය තුළ සිදු වූ පර්භෝජනවාදී පරිවර්තනය හසු කර ගන්නට ඉඩ තිබුණි.

බරපතළ අර්බුදය වන්නේ එම පරිවර්තනය සම්බන්ධයෙන් කතුවරයා පළ කරන සුබවාදී ආකල්පය යි. කරුනෙ ක්‍රමයෙන් මේ උපයෝගීතාවාදී සමාජ ආර්ථික ක්‍රමයට හුරු වන විට ඒ සම්බන්ධයෙන් කිසිදු කම්පාවක් කතුවරයාට නොමැති බව පෙනේ. දේශපාලනික වශයෙන් කිසිදු නිශ්චිත ස්ථාවරයක පය නො ගසා ලේඛනයේ යෙදීමට කතුවරයා උත්සාහ දැරීම හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇත් දැයි යම් සැකයක් අප තුළ හට ගනී.

කරුනෙගෙ ජීවිත කතාව ගෙතී ඇත්තේ මෙරට දේශපාලන ආර්ථිකය හා සම්බන්ධ තීරණාත්මක පසුබිමක් පදනම් කර ගනිමින් බව මෙහි දී යළි ප්‍රකාශ කිරීම වැදගත් ය. නව ලිබරල් ධනවාදය මෙරට ජන සමාජයට කාන්දු වන, එහි ප්‍රතිවිරෝධතා හඳුනා ගැනීමට නො හැකිව ලාංකික පුරවැසියා හෝන්දුමාන්දු වන මේ අවධිය වනාහි මෙරට තීරණාත්මක ගැටලු ගණනාවක ඇරඹුම සනිටුහන් වූ අවධියකි. උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජන සමාජය කෙරෙන් සිංහල ආණ්ඩුවට එරෙහිව ආයුද සන්නද්ධ අරගලයක් ආරම්භ වීමත් දකුණේ ජවිපෙ කේන්ද්‍ර කර ගනිමින් ධනේශ්වර ආණ්ඩුව සිදු කළ මර්දනයත් මතු වනුයේ මේ පසුබිමෙහි ය.

මේ සියල්ල සිද්ධිමය වශයෙන් කෘතියට ඇතුළත් කිරීමට තරම් කතුවරයා සබුද්ධික වුව ද කතුවරයාගේ දේශපාලන චින්තනයේ සීමාවන් එම පසුබිම කරුනෙ ඇතුළු මෙහි එන පාත්‍ර වර්ගයා විෂයෙහි බලපෑ ආකාරය ගැඹුරින් විශ්ලේෂණය කිරීමට බාධාවක් වී ඇත.

මෙහි දී වඩාත් ඉස්මතු වන කාරණයක් වනුයේ යම් තරමකට ජවිපෙ කැරැල්ල විෂයෙහි කිසියම් මධ්‍යස්ථ දෘෂ්ටියක පිහිටන කතුවරයා එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තියෙහි වන අගතිගාමීත්වය යි. මේ වනාහි කතුවරයා උත්සාහ දරන නමුත් ඔහුට සම්පූර්ණයෙන් බිඳ ගත නො හැකිව ඉතිරි වී ඇති සිංහල බෞද්ධ අධිපති දෘෂ්ටිවාදයේ බලපෑම යි.

මේ අතර අතිශය රසවත් දේශපාලන රූපකයක් මේ නවකතාවෙහි හමු වන බව ද කිව යුතුය. එහි වන උත්ප්‍රාසවත් බව පිළිබඳව කතුවරයා කෙතරම් සවිඤ්ඤාණක දැයි නො දන්නා නමුත් එය මෑතකාලීන සිංහල නවකතාවක දක්නට ලැබුණු අතිශය බරපතළ දේශපාලන රූපකයක් බව මෙහි සටහන් කර තැබිය යුතුය.

ඒ නම් යූ.එන්.පී. මැයි දින පෙළපාලියට කොළඹ ගිය කරුනෙට එම පෙළපාලිය මඟහැරී ට්රොට්ස්කිවාදී වාම දේශපාලන පක්ෂයක මැයි දින පෙළපාලිය අභිමුඛ වීම යි. එහි දී කරුනෙට හමු වන පරිණත වාම සහෝදරයෙකු කම්කරුවා සහ ලාංකේය විප්ලවය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අදහස් නවකතාවේ දේශපාලන දෘෂ්ටිය පාලනය කරන ප්‍රධාන අක්ෂය වෙයි. තමන් ජවිපෙන් තීරණාත්මව වෙනස් වන බවත් තමන්ගේ විප්ලවයේ ක්‍රියාමාර්ගය වන්නේ කෙටි කැරැල්ලකින් සිදු කරන රාජ්‍ය බලය පැහැර ගැනීමක් නො වන බවත් එම සහෝදරයා පෙන්වා දෙයි.

මේ වනාහි මේ නවකතාවේ කතුවරයා ද අදහන දේශපාලන විශ්වාසය සේ පෙනේ. එය කතුවරයාට ද නො දැනී මෙන් මතුව එයි. එහෙත් එමඟින් සිදු වී ඇත්තේ අතිසරලකරණයට ලක් කළ වාම කතිකාවක් නවකතාව තුළට කැඳවාගෙන ඒම පමණක් වීම කනගාටුවට කාරණයකි.

යූ.එන්.පී. මැයි දිනයට සහභාගී වීමට ගමේ සිට කොළඹ ගිය ගැමි පීඩිතයෙකු කොළඹ දී ජවිපෙ නොවන වාම ව්‍යාපාරයකට අභිමුඛ වීමේ දේශපාලන සංසිද්ධිය ඊට අදාළ බුද්ධිමය වාම අදහසකින් එළි දැක්වීමට කතුවරයා අපොහොසත් වෙයි. සැබැවින් ම ඒ, සඳහා ඔහුට භාෂාවක් නොමැති වීමේ ගැටලුව යි.

” කොළණියේ නෑයෝ ” බඳු අර්ධ චරිතාපදානයකින් පසු මෙම නවකතාව රචනා කිරීමේ දී කතුවරයා මදක් නතර වී සිටියේ නම් ඔහුට මේ අහිමි වූ බස සකසා ගන්නට හැකි වී තිබිණැයි අපට හැඟේ. අදාළ චරිතාපදානයෙන් වෙන් වී නවකතාව නමැති ශානරය පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කළේ නම් කතුවරයාට මේ සඳහා පැහැදිලි හැකියාවක් පැවති බව ද මෙහි ලා සඳහන් කළ යුතුය.

කෙසේ නමුත් නවකතාව අවසන් වන්නේ කලුවාගේ අත්වැරදීමකින් කරුනෙ මිය යෑමෙනි. සාහිත්‍යයික රූපකයක් වශයෙන් කරුනෙගෙ මිය යෑම වික්‍රමසිංහගේ ” වහල්ලු ” කෙට්කතාවේ උපාලිස්ගේ මරණය සිහිපත් කරයි. එය ඉතා නිවැරදි තෝරා ගැනීමක් බව අපේ විශ්වාසය යි.

තම පවුලේ කිසිවෙකුත් නොමැතිව කරුනෙ මිය යෑමෙන් සංකේතවත් වන්නේ කරුනෙලාගෙ පරම්පරාවේ අවසානය යි. නවලිබරල් ආර්ථික ක්‍රමයට උචිත ලෙස අනුයෝජනය වීමට උත්සාහ දැරුව ද කරුනෙලා එය ඉදිරියේ අසාර්ථක වන ආකාරය ඉන් සංකේතවත් වේ.

මෙරට යථාර්ථවාදී නවකතාකරුවන් යථාර්ථවාදය යටතේ කළ හැකි වික්‍රමයන් පිළිබඳව පවා එතරම් දැඩි ලෙස සැලකිලිමත් නො වීමේ අර්බුදය සමස්තයක් ලෙස ” කරුනෙ ” නවකතාවේ ප්‍රතිනිර්මාණාත්මක පක්ෂය විෂයෙහි අවාසිසහගත ලෙස බල පා ඇති බව පෙන්වා දිය යුතුය. වික්‍රමසිංහ, අමරසේකර හා එරික් ඉලයප්ආරච්චිගෙන් ඔබ්බට යථාර්ථවාදය යටතේ කළ හැකි අත්හදා බැලීම් සිදු නො කර යථාර්ථවාදයට තව දශමයක් හෝ මෙරට තුළ ඉදිරියට ගමන් කිරීමට හැකි වන්නේ නැත. උපනන්ද වැලිකල නමැති අපගේ සහෘද මිතුරාගේ සාහිත්‍යයික අනාගතය සම්බන්ධයෙන් සැබෑ මිතුරන් ලෙස අපට සුබ පැතිය හැකි වන්නේ මෙබඳු සහෝදරාත්මක විචාරයකින් මිස ඔහු අනතුරුදායක ලෙස ව්‍යාජව වර්ණනා කිරීමෙන් නො වන බව අපි විශ්වාස කරමු.

Social Sharing
අවකාශය නවතම