සේනක බටගොඩ සහ ලාංකීය ජනප්‍රිය සංස්කෘතියේ ව්‍යතිරේකය

සාමාන්‍යයෙන් යම් නිර්මාණයක් එළිදක්වා හෝ යම් හෝ ගීතයක් මගින් ජනප්‍රිය සංස්කෘතියට ඇතුළු වීම එතරම් දුෂ්කර කාර්යයක් නොවේ. පසුගිය කාලය පුරාවටම රියැලිටි තරග හා වෙනත් බොහෝ ඉසව් හරහා ක්ෂේත්‍රයට විවර වූ කලාකරුවන් දෙස බැලීමේදී එය ගණන් කිරීමට ද අපහසුය. නමුත් මූලධර්මීය වශයෙන් ජනප්‍රිය සංස්කෘතියේ පවතින මුඛ්‍ය ලක්ෂණ වන සරල බව සහ නොගැඹුරු බව නිසාම එයට කුමන පහසුවකින් ඇතුළු වූවත් නිර්මාණ වල පැවැත්ම (Existence) පිළිබඳව පැහැදිලි පැනයක් ඇත.

එක් අතකින් වර්තමාන යුගය තුළ මෙකී සංස්කෘති නියෝජනය කරන බොහෝ නිර්මාණ උපන් ගෙයිම මරණයට පත්වනවා වැනිය. යම් නිර්මාණ පිළිබඳව අසන විට එහෙම එකක් තිබෙනවාද? යන්නවත් ඇතැම් විට රසිකයා නොදනී. මේ සියලු සාධක පිළිබඳව ගවේෂණය කරන කල වර්ෂ 1970 දශකයේදී ස්ථාපනය වූ ලාංකීය ජනප්‍රිය සංස්කෘතියේ තරු ලකුණු ප්‍රධාන අවධි තුනකට බෙදා දැක්විය හැකිය. එය ප්‍රධාන වශයෙන් වර්ධනය වූයේත් පෝෂණය වූයේත් ඒ මතිනි. පළමුවැන්න ලෙස වර්ෂ 1970 -1990 කාලයේ දී සහ ලංකා ගුවන් විදුලිය ආක්‍රමණය කළ සුනිල් පෙරේරා යුගයයි. සැබැවින්ම ලාංකික ජනප්‍රිය සංස්කෘතියේ නිර්මාපකයා වූයේ ඔහුය. විවිධ කැසට් පට හරහා ගුවන් විදුලිය තුළ විවිධ නිර්මාණ මුල්වරට ජනප්‍රිය වන්නේ ඔහුගේ කාලය තුළදීය.

කොත්තමල්ලි, ලුණු දෙහි, සයිමා කට්වෙලා ආදී ගීත එදා ශ්‍රාවකයා මහත් ආසාවෙන් භාර ගන්නා ලදී. පසු කාලයේදී තවදුරටත් ක්‍ෂේත්‍රයේ සිටියත් ඔහුගේ සක්‍රීය නිර්මාණ වල වැදගත් අවධිය ඉන් නිම වන්නේය. වර්ෂ 1990 දශකයේ මුල එතැන් පටන් දෙවැනි අවධිය ලෙස රූකාන්ත උපන්නේය. අංගනාවෝ සිට වර්ෂ 2000 දී “ඇස් දෙක පියාන නිදා ගන්න මට බෑ” වැනි සරලම පද සංකල්පනා දක්වාම ඒවා දිව යන්නේ ය. ලාංකීය පෞද්ගලික ගුවන් විදුලි නාළිකා මෙන්ම වර්ෂ 1998 දී බිහි වූ පෞද්ගලික රූපවාහිනී නාලිකා ද ඔහුගේ වර්ධනයට පාදක විය. අද දක්වා ක්ෂේත්‍රයේ සිටියත් ඔහුගේ සක්‍රීය ජනප්‍රියවාදී ප්‍රවේශය 2005දී නිමාවිය. වර්ෂ 2005 දී මුල්වරට ලංකාව රියැලිටියට අත්පොත් තබා නවක තරු ගොඩනගන්නට උත්සාහ කළ ද එහි ඊතලය රැඳෙනුයේ 2005 දී ශිහාන් මිහිරංග සතුවය.

2005න් එපිටට වර්ෂ 2010 වන තෙක් මෙහි අවසාන අවධිය වන ශෙහාන් මිහිරංගගේ වික්‍රමයන් ආරම්භ විය. එහිලා ඔහුට හඬට එහා ගිය පෙනුමෙන් රූපවාහිනිය හරහාම දෘශ්‍ය අලංකාරයත් මැවූ අයෙක් ලෙස ඔහු ඉතිහාසගත විය. ඒ නිසාම හඬ ඉක්මවා ගිය රූප රචනා (Visual Edits) සහිතව නිර්මාණය ගීත වලට වඩා පුදුම සහගත ජනප්‍රිය භාවයක් ලැබිණි. අද තනියෙන් මා, ඇස ගැටෙනා ආදී ගීත වල පරිණාමය එයට කදිම සාක්ෂිය. කෙසේ වෙතත් වර්ෂ 2010 2012 වැනි කාලයකදි නව සමාජ මාධ්‍ය අවකාශය ලාංකීය මාධ්‍ය සංදර්භයට විවර වන විටම ඔහුගේ ජනප්‍රිය සංස්කෘතියේ සක්‍රීය කාලය නිම වන්නේ ය. නමුත් අදටත් ඔහු පවතී.

අවධි තුනක් ලෙස අර්ථ දැක්වුවත් යමෙකුට තම නිර්මාණ කෞෂල්‍යකරණය තුළ පැවතිය හැකි උපරිම කාලයක් පවතී. එහි අදහස ඉන් ඔබ්බට ඔවුන් මියැදෙන බවක් නොවේ. එහිලා ඉන් ඔබ්බට කොපමණ නිර්මාණ පැවැතියත් තම නිර්මාණ පාවෙන සංස්කෘතියක ඒවාට ලැබෙන වලංගුභාවය (Eligibility) ප්‍රශ්න කෙරේ. එය ජනප්‍රිය සංස්කෘතියේ අනිවාර්ය තත්ත්වයකි. පුදුම සහගත ලෙස මේ අවදි තුනේදීම එදා පටන් අද දක්වාම ඔවුන්ට අමතරව සංගීතමය ව්‍යතිරේකයක් ලෙස පවතින කලාකරුවන් දෙදෙනකු නිරීක්ෂණය කළ හැකි වීමයි. එක් අයෙකු වන්නේ ක්ලැරන්ස් විජේවර්ධන වන අතර ඔහු 90 දශකයේ දී සහෘදයා අත්හැර යන ලදී. අනෙකා අප කතානායකයා වන සේනක බටගොඩ යි.

සැබැවින්ම ක්ලැරන්ස් ඇරුණුකොට ලාංකීය බටහිර සංගීත අවශෝෂකයක් අතර හොඳම ප්‍රතිරූපය නිර්මාණ කෞශල්‍ය ඔහු සතුය. වර්ෂ 1950 දශකයේ දී උපන් ඔහු මෙකී සංදර්භයට පියමනිනු ලබන්නේ වර්ෂ 1980 දශකයේ දී ය. මා ඉහතදී සියල්ලටම අමතරව ව්‍යතිරේකයක් ලෙස හඳුන්වනු ලබන්නේම අන් කිසිවක් නිසා නොව ප්‍රධාන අවධි තුන එක් එක් යුග අවසානයේ නිමාවූ වත් මෙම සියලු යුගවලදී ඉන් පරිබාහිරව ඔවුන් නොනැසී පැවතීමයි. එනම් කැරැට්ටුව සහ නිර්මාණ කෞශල්‍ය යන ද්විත්වයම ඔහු පවත්වාගෙන යන බවයි. බැලූ බැල්මට නම් ඔහුගේ ගමන බොහෝ සෙමිනි. ඇතැම් විට දිගුකාලීනව නිර්මාණ රඳා පැවැත්මකට පවා බලපාන ලද්දේ එයමය.

ඔහුගේ පරණ කැසට් පට සහ අපි කවුරුද, අපි සැනසිල්ලේ ආදී ඒවා එදා පටන් ලාංකීය ගුවන් විදුලිය නොනැසීම පැවැතිණි. එනමුත් මෑත කාලීන නූතන පරම්පරාව ඇතැම් විට මෙවැනි අයෙකු සිටීද යන්නත් දැන ගනු ලැබුවේ වායෝ (WaYo) සංගීත කණ්ඩායම විසින් පිළිවෙළින් 2011 දී සහ 2014 දී “අපි කවුරුද” සහ ”අපි සැනසිල්ලේ” යන ගීත ප්‍රතිනිර්මාණය “ඍැප්නැ” කිරීමත් සමඟය. වායෝ එයට නවමු අර්ථකථනයක් ලබා දුන්නත් එහි නිර්මාපකයා ඔහුය. එවැනි බුද්ධිමය දේපළ රැසක් ඔහු සතුය. ඒ අතරින් “අපි කවුරුද” ඉතිහාසයට එක් වන්නේ ජාතික ගීය ඇරුණුකොට ලංකිය ප්‍රේක්ෂකාගාරය නියම ලෙසම ඒකරාශි කළ ප්‍රබලතම ගීතය ලෙසයි. එවැනි ගීත බොහොමයක් අතර එදා විසේකාර ලෙසින් සහ අද ඉතා සංයමයෙන් වඩා ප්‍රවේගකාරී රොක් ගායකයෙකු ලෙස ඔහු ලාංකීය ප්‍රේක්ෂකාගාරය තුළ තරු ලකුණු මවා අවසන්ය.

මා මෙම ප්‍රස්තුතය තුළදී ලාංකීය ජනප්‍රිය සංස්කෘතියේ ව්‍යතිරේකයක් ලෙසම අර්ථ ගැන්වූයේ ම ඒ නිසාමය. එනම් කිසිදු යුගයක අවසානයේ ඔහුගේ සක්‍රිය ජනප්‍රියත්වය නිමා නොවී එය අදටත් අඛණ්ඩව පවතින නිසාය. ඉතින් මෙවැනි අවකාශයක තම නිර්මාණ කෞශල්‍ය දශක ගණනාවක් තිස්සේ පෝෂණය කළ ඔහුව සජීවී මොහොතක වින්දනය කිරීමට මා හට පසුගියදා අවස්ථාව උදාවිණි. එය ඉතා අගනා අවස්ථාවක් ලෙස බොහෝ අයගේ හදවතට කම්පනයක් ඇති කරනු ලැබුවේ මීට පෙර මෙවැනි කලාකරුවකු අපේ බදුලු ප්‍රේක්ෂකාගාරයට සංගීතයෙන් නොඇමතූ නිසාය.

එය අපේ බදුල්ලේ ගාම්භීර තරුණයන් රැලකට පින්සිදුවන්නට වඩා සංවිධානාත්මක ඉසව්වක් ලෙස සංවිධානය කර තිබිණි. එය “නිම්නාද” නම් විය. සාමාන්‍යයෙන් මා පෞද්ගලිකව නම් ශබ්ද රසය දූෂණය කෙරෙන දඩ බිම් සංගීතයට ප්‍රිය නොකරනවා මෙන්ම එවැනි ඉසව් වෙත ගිය කලක් ද මතකයක් නැත. ඒ වෙනුවට ශබ්ද රසයෙන්ද අනූන අර්ථයෙන් ද මහත් සම්භාවනීයත්වයක් ඇති සංගීතයට බෙහෙවින්ම ප්‍රිය කරමි. ඉන් ඔබ්බට මෙය මාගේ මහත් නොඉවසිලි අවස්ථාවක් බවට පත්වූයේ ඒ නිසාම කිවහොත් නිවැරදිය.

එකම ඉරියව්වක සිට වුවද එකී භාව ප්‍රේක්ෂකාගාරය (Emotional Audience) කුල්මත් කළ හැටි පිළිබඳව තවදුරටත් සාක්ෂි අනවශ්‍යය. ප්‍රබලතම ශේෂ මූලාශ්‍රය වනාහී ඔබගේ අවස්ථාව නිමවූවාත් සමඟ සියලු පන්ති වලින් සමන්විත ආදරණීයයන් ඔබ වෙත තැබූ අත්පුඩි ස්වරය ගැබ්වූ විලාසයයි. එය කිසිවෙකුට නොලැබෙන අන්දමේ ජනප්‍රියවාදී සංස්කෘතියක අඛණ්ඩවත් ව්‍යතිරේකයක්ව සිට වුවද රැස් කළ හැකි සම්භාවනීයත්වය කර පෙන්වයි. සංගීතය එතැනින් නිමා වුණත් පෙර සැලසුම් කළ ලෙස මා හට මුහුණට මුහුණලා මුණගැසී ඔහුට පැවසීමට අත්‍යවශ්‍ය වූ කරුණක් විය. එනම් කලක සිට මා දරන සහ ප්‍රාක්ෂේපණීය යථාර්ථයකි. එනම් ජාතික ගීය නිමවා දැනට 75 කි. ඉන් ඔබ්බට ලාංකීය සංගීත ගීත වංශ කතාවේ ලාංකිකයන් ඕනෑම අවස්ථාව එක එල්ලේ පසුගිය දශක හතරක් පුරාවට ඒකරාශී කළ හැකි එකම ගීතය ඔබේ නිර්මාණයක් වන බවයි.

එය අපි කවුරුත් දන්නා “අපි කවුරුද?” යන ගීතයයි. ඇතැම්විට ජාතිකත්වයකට එහා ගිය සැබෑ මානව අව්‍යාජත්වයක සොඳුරු ආවර්ජනයක් අප හට එය කියා දෙනු ලබයි. විශේෂයෙන්ම එහි පද සංකල්පනාවේ යථාර්ථවත් අදහස ඕනෑම මිනිසකු හෝ ගැහැනියක උදේ හවා සොබාදහමෙන්ම අසනා සැබෑම සත්‍යයකි. එවැනි පද ඉතාමත් විරලය. එය ඔහු වේදිකාවෙන් නික්මුණු අවස්ථාවේ මෙලෙස මා පැවැසුවෙමි.

“සර් දන්නවාද ජාතික ගීය ඇරෙන්නට මේ රටේ මිනිස්සු එකවර වැඩියෙන්ම ඒකරාශි කළ ගීතය සර්ගෙ සිංදුව වන බව”. ඔහු එකවර නිහතමානීව පැවසුවේ මෙවැන්නකි. “ආ එහෙමද? බොහොම ස්තූතියි? බොහොම ස්තූතීයී” යනුවෙනි. ඉතින් තවත් අඬහැර කුමකටද? නිහතමානිත්වය පිරුණු ඔහු සැබෑම කලා නිර්මාණකරුවෙකි. බටහිර තාල නියමාකාරයෙන් අවශෝෂණය (Absorption) කොට එය අනුකරණයෙන් නොව මෙරට මානව හදවත වැඩියෙන්ම ස්පර්ශ කළ ඔහු අදටත් ජීවත්වන තරුණයන්ගේ සැබෑම පරිණත උන්මාදය ඔහුය.

දිනෙක ඔහු මියැදුණත් එහි විශිෂ්ටත්වය සහ සම්භාවනීය ගුණය සියවසකට නොමියෙන සුළුය. මෙවැනි අර්බුද යුගයක වුවද “අපේ කාලයේ පැරැන්නා” ලෙස ඔහුව අර්ථ දැක්විය යුත්තේ ද එබැවිනි.

සහන් ඇලෙක්සැන්ඩර්
කොළඹ විශ්වවිද්‍යාලය
සංස්කරණය – වසන්ත ලියනගේ

Social Sharing
අවකාශය නවතම