රාජ්‍ය නොවන සංවිධාන (NGO) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තිබෙන අවබෝධය තරමක් ව්‍යාකූලය. ආණ්ඩු, දේශපාලනඥයන් හා ජනමාධ්‍ය විසින් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් නිර්මාණය කරනු ලබන අදහස් පද්ධතිය මෙයට හේතු වේ.
පුළුල්ව ගත් කල රාජ්‍යය සමග ඍජුව සම්බන්ධ නොමැති, ස්වාධීන, ලාභ ලැබීමේ අරමුණින් තොරව පවත්වාගෙන යනු ලබන, මානුෂීය හා සමාජ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක සියලු සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන ලෙස හැඳින්විය හැකිය. එහෙත්, රාජ්‍ය නොවන සංවිධාන යන යෙදුම සඳහා නිශ්චිත දේශපාලනික අර්ථ නිරූපණයක් තිබේ. එ අනුව රාජ්‍ය නොවන සංවිධාන සිවිල් සමාජයේ කොටසක් ලෙස සැලකිය හැකිය. රාජ්‍ය නොවන සංවිධාන වඩා වෘත්තිකමය අයුරින් කටයුතු කරන සිවිල් සමාජ සංවිධාන වර්ගයකි. ඒ් සඳහා අරමුදල්, වෘත්තිකයන් සහ ව්‍යාපෘති කළමනාකරණය ඔවුන් විසින් කරනු ලැබේ.
ලෝක සිවිල් සමාජ ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් සමාජ ව්‍යාපාරයට ද ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමද්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඉපැරණිම සිවිල් සමජ ව්‍යාපාරය ලෙස සඳහන් කර තිබේ.
ලංකාවේ සිවිල් සමාජ සංවිධාන කොපමණ තිබේද යන්න පිළිබඳ නිවැරදි සංගණනයක් මෙතෙක් සිදු කර නොමැති නමුත්, 44,000කට ආසන්න සංවිධාන ප්‍රමාණයක් මේ වන විට රජයේ ලියාපදිංචි වී ඇති බව අනුමාන කරනු ලැබේ.
මෙම සිවිල් සංවිධාන අතීතයේ සිට ලංකාවේ ක්‍රියාත්මක නොවිණි නම්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් පිළිබඳවත්, අපරාධ හා සිවිල් නීති සම්බන්ධවත්, කාන්තා හා ළමා අයිතිවාසිකම් හා සුළුතර ප්‍රජාවන්ගේ අයිතීන් පිළිබඳවත්, ගොවි, ධීවර හා පරිසරික අයිතීන් පිළිබඳවත්, නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබඳවත් අවබෝධය මෙතරම් පුළුල් නොවන්නට ඉඩ තිබිණි.
මෙම සිවිල් සංවිධාන මිනිසුන් අතර ජනප්‍රිය වුයේ අතීතයේ සිට එවායෙහි ක්‍රියාකාරීන් විවිධ අභියෝගයන් මැද්දේ විශාල කැප කිරීමකින් හා උද්යෝගයකින් ඒ සම්බන්ධව කටයුතු කළ නිසාය. හෙත්, පසුකාලීනව දැනුවත්ව හා සැලසුම් සහගතව මෙම තත්ත්වය වෙනස් කිරීමට දේශප්‍රේමීන් යැයි තමන් හඳුන්වා ගන්නා ආණ්ඩු මෙන්ම, විපක්ෂය නියෝජනය කළ සමහර පිරිස් විසින් කටයුතු කරන ලදී. සුළු ජන අයිතීන්, සාමය හා සංහිඳියාව, මානව හිමිකම්, මාධ්‍ය නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන් කටයුතු කළ සංවිධාන නිහඬ කර, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කර, සමාජයෙන් කොන්කර ඔවුන් ජන අප්‍රසාදයට පත්කර තැබීමට මෙම දේශප්‍රේමීන්ට අවශ්‍ය විය.
රාජ්‍ය නොවන සංවිධාන වෙත එල්ල වී ඇති චෝදනා
ශ්‍රී ලංකා එකීය රාජ්‍යයේ පැවැත්මට, භෞමික අඛණ්ඩතාවට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවටත්, වැරදි හා අසත්‍ය තොරතුරු රාජ්‍යයට එරෙහිව ඉදිරිපත් කරමින් විදේශ අරමුදල් ලබා ගන්නා බවටත්, දූෂණ හා අක්‍රමිකතාවන්හි යෙදෙන බවට හා විනිවිදභාවයේ ගැටලු ඇති බවටත් රාජ්‍ය නොවන සංවිධානවලට චෝදනා එල්ල වේ. එම නිසා, රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීමේ අවශ්‍යතාව රජය සහ වෙනත් පාර්ශ්ව විසින් පෙන්වා දී තිබේ. වෘත්තිකමය අන්දමින් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන එයට විරුද්ධ නැත.
රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමේ උත්සාහයන් පිළිබඳව ද සැලකිය යුතු ඉතිහාසයක් තිබේ. පහත සඳහන් පාර්ලිමේන්තු කාරක සභා වාර්තා මගින් රාජ්‍ය නොවන සංවිධන සංවිධාන ක්‍රියාකාරීත්වය පාලනය කිරීම පිළිබඳව විවිධ යෝජනා මේ වන විට ඉදිරිපත් කර තිබේ.
1. 2005 අගෝස්තු 30 – පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව (නන්දන ගුණතිලක/ විජිත හේරත් වාර්තාව)
2. 2020 පෙබරවාරි 19 – ජාතික ආරක්ෂාව පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව – (මලිත් ජයතිලක වාර්තාව)
2018 පෙබරවාරි 20 දින හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා විසින් ස්වේච්ඡා සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණි.
මේ සම්බන්ධව 2018 මාර්තු 27 දින හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සිවිල් සමාජ නියෝජිතයින් විසින් කරන ලද සාකච්ඡාවකදී පැමිණි එකඟත්වය මත ඉහත සඳහන් කරන ලද කැබිනට් පත්‍රිකාව ඉල්ලා අස්කර ගැනීමටත්, පනත් සංශෝධනය සම්බන්ධව සිවිල් සමාජ නියෝජිතයින්ගේ අදහස් ලබාගැනීමටත් එකඟත්වයකට පැමිණි අතර, ඒ් සඳහා සිවිල් සමාජ නියෝජිතයින්ගේ කමිටුවක් පත්කරන ලදී.
එම කමිටුව විසින් 2018 මැයි සිට 2019 ජුනි දක්වා කාලය තුළ පළාත් නවයම නියෝජනය වන පරිදි සිවිල් සංවිධාන නියෝජිතයින් 233කගේ අදහස් පනත් සංශෝධනය සඳහා ලබා ගැනීම සිදු කරන ලදී. එ අනුව පහත සඳහන් ප්‍රතිපත්ති හා මූලධර්ම මත සිවිල් සමාජ විකල්ප යෝජනාවක් විෂය භාර ඇමතිවරයා වෙත 2019 අගෝස්තු මාසයේදී භාරදෙන ලදී.
– අදහස් ප්‍රකාශ කිරීමේ, සමාගමේ හා රැස්වීමේ නිදහස යන මූලික අයිතිවාසිකම වලට ගරු කරමින් අදාල නීති සම්පාදනය
– රාජ්‍ය නොවන සංවිධාන වෙත සමාන ලෙස සැලකීම හා වෙනස් කොට නොසැලකීම
– අනවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම් හෝ අතපෙවීම් නතර කොට සංවිධානයේ ස්වාධීනත්වයට හා වටිනාකම්වලට ගරුකරමින් නිදහසේ කටයුතු කිරීමට ඉඩ කඩ සලසා දීම
– අවශ්‍යතා මත ජාලගතවීම, සන්නිවේදනය සහ අනෙකුත් සංවිධාන හෝ කණ්ඩායම් සමග එකාබද්ධව කටයුතු කිරීම සඳහා ඇති අයිතියට ගරු කිරීම
– නීත්‍යානුකූලව ලැබෙන අරමුදල් සංවිධානයේ අරමුණු හා සැලසුම් මත වැය කිරීමට නිදහස ලබා දීම
– සිවිල් සමාජ සංවිධාන ඉලක්කකර සකසනු ලබන නීති සඳහා එම සංවිධානයන්හි අදහස් ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසීම. නීති සකසන්නේ නම් එවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීම
– සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්වය සක්‍රියව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පරිසරය රට තුළ නිර්මාණය කිරීම.
2019 නොවැම්බර් මස සිදුවූ ආණ්ඩු මාරුවෙන් පසුව ජාතික එකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගතිය සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශය යටතේ පැවති රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ජාතික ලේකම් කාර්යාලය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගන්නා ලදී.
ඉන්පසු රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය සඳහා පත්කරන ලද නව අධ්‍යක්ෂවරයා විසින් රාජ්‍ය නොවන සංවිධාන පනත සංශෝධනය සඳහා යෝජනා ලබා දෙන ලෙස කළ ඉල්ලීම අනුව සිවිල් සමාජ සංවිධාන විසින් ඉහත දක්වන ලද යෝජනා නැවතත් ඔහු වෙත යොමු කරන ලදී.
2021 අගෝස්තු 09 දින ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන සංශෝධන පනත වෙනුවට නව පනතක් ගෙන එමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමි විය.
2021දී රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ජාතික ලේකම් කාර්යාලය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය වෙතින් විදේශ කටයුතු අමාත්‍යංශයටත් ඉන් පසුව මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතටත් පත්කරන ලදී.
මේ වන විට බිහි වී තිබෙන සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන ජාතික එකමුතුව 2021 සෑප්තැම්බර් සිට 2022 අගොස්තු දක්වා කාලය තුළ පළාත් නවයම නියෝජනය කරමින් සංවිධාන 677ක් සමග සිදු කළ සාකච්ඡා මාලාවකින් පසුව 2019දී ඉදිරිපත් කරන ලද සිවිල් සමාජ යෝජනා තව දුරටත් සංවර්ධනය කරන ලදී. එහිදී ප්‍රාදේශීය සංවිධාන මුහුණ දෙන පරිපාලන හා මෙහෙයුම් ගැටලු හා ඊට විසඳුම් යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කරන ලදී.
2022 සැප්තැම්බර් සිට මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය ටිරාන් අලස් මහතා සමග සිවිල් සමාජ නියෝජිතයින්ගේ සාකච්ඡා ආරම්භ කරන ලදී. දෙවැනි සාකච්ඡාවේදී රජය විසින් සකස්කර තිබූ ස්වේච්ඡා සංවිධාන සම්බන්ධ කෙටුම්පත් ලියවිල්ලට සිවිල් සංවිධානවල පුර්ණ විරුද්ධත්වය ප්‍රකාශ කරන ලදී. 2022 නොවැම්බර් මස අමාත්‍යවරයා සමග පැවති තෙවෙනි සාකච්ඡාවේදී සිවිල් සමාජය හා එකාබද්ධව නව පනතක් සැකසීම සඳහා ඇමතිවරයා කැමැත්ත පළ කළේය. 2023 ජනවාරි 31 දින සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන ජාතික එකමුතුව විසින් නව පනත සඳහා ප්‍රතිපත්ති හා මූලධර්ම යෝජනා භාරදෙන ලදී.
සිවිල් සමාජ සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ද සැලකිල්ලට ගනිමින් රජය විසින් නව පනත කෙටුම්පත් කරගෙන යන බව වාර්තා වේ. නව පනත් සංශෝධනය මගින් රජයේ විවිධ ව්‍යුහයන් යටතේ ලියාපදිංචි වී සිටින රාජ්‍ය නොවන සංවිධාන එක නීතියක් යටතේ ලියා පදිංචි කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ගෙන එමට නියමිත නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කර ඇති මූලික අයිතිවාසිකම් ඇතුළු ජාත්‍යන්තර සම්මූතීන් මගින් ආරක්ෂා කර ඇති අනෙකුත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සුරක්ෂිත වන ආකාරයෙන් සිදු කළ යුතු බව සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවේ මතයයි.
පිලිප් දිසානායක, විධායක අධ්‍යක්ෂ – රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය