ඝාතනයකින් අවසන් වූ සත්ව ඝාතක ජීවිතයක්…!

පසුගිය දිනවල සැමුවල් බේකර් (Samuel Baker) නම් සමූලඝාතක දඩයක්කරුවා පිළිබඳ ඡායා රූපයක් සහිත විස්තරයක් පිළිබඳව කීප දෙනෙක් මගෙන් තොරතුරු විමසා තිබුනත්, පුද්ගලික හේතු මත ඊට පිළිතුරු දිය නොහැකි විය.

නමුත්, අද එම Facebook ලිපිය සොයාගෙන බලන කළ දුටුවේ එහි සිටින්නේ සැමුවල් බේකර් නොවන බවයි. එම රූපයේ සිටින කෙනාගේ ඇඳුම බ්‍රිතාන්‍ය ජාතිකයන්ට වඩා වෙනස් බව දුටු කීප දෙනෙක් ඒ ගැනත් මගෙන් විමසා තිබුනි.

මෙම ඡායාරූපය ශ්‍රී ලංකාවේ ගත්තක් වුවත්, එහි සිටින්නේ සැමුවල් බේකර් නොව ඕස්ට්‍රියා අධිරාජ්‍යයේ කිරුල හිමි කුමරුවන් වූ ෆ්‍රාන්ස් ෆර්ඩිනඬ් (Franz Ferdinand) වේ. ඉතා කුරිරු දඩයක්කරුවෙකු වූ මොහු තම පනස් වසරක ජීවිත කාලය තුළ ලොව පුරා ගොස් සතුන් 2,74,899 ඝාතනය කර තිබේ. දිනක දී ඔහු අතින් ඝාතනය වූ වැඩිම සතුන් ගණන 2140 වේ. ඔහු තමන් කල ගමන් බිමන් සහ දඩයම් පිළිබඳවත් ඉතා සවිස්තරාත්මකව දිනපතා ලියා තිබීම ඔහුගේ දඩයම් පිළිබඳව නිරවද්‍ය තොරතුරු වලට හොඳම මූලාශ්‍රය වේ.

ක්ෂය රෝගයෙන් පීඩාවිඳි ඔහු එම රෝගයෙන් සුවවූ පසු තම සෞඛ්‍ය තත්ත්වය ලබා ගැනීමට යැයි කියා 1892 සිට 1893 තෙක් ලොව වටා දිගු ගමනක් ගියද එහිදී ද තම ප්‍රධාන කාර්‍යය වී තිබී ඇත්තේ හැකි පමන දඩ‍යම් කිරීමයි. එම ගමනේ දී ඔහු 1893 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමින තිබේ. මෙරටේදී කළ දඩයම් අතුරින් 1893 ජනවාරි මස 11 දින උදෑසන කලා වැවේ දී අලින් දෙදෙනෙකුව ඝාතනය කිරීම පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඔහු දක්වා තිබේ.

එම දිනයේ සටහන පමනක් වචන 2200 වේ. ඉන් දෙවනුව දඩයම් කළ හස්තියා දළ සහිතව සිටි බවත්, දෙදෙනාගේම වලිග ඔහු විසින්ම කපා තම රටට ගෙනයාමට තබාගත් බව මෙන්ම ඔහු සමඟ සිටි සිංහල පිරිසගේ ඉල්ලීම පිට ඔහු එම සතුන් මතට නැඟ ඡායාරූප වලට පෙනී සිටි බවත් එම විස්තරයේම දක්වා තිබේ.

පසුගිය දා සංසරණය වූ ඡායා රූපයේ තිබෙන්නේ කානු දෙකේ තුවක්කුවක් සහිතව ඇතෙක් මත සිටගෙන ඡායා රූපයට පෙනී සිටින ෆ්‍රාන්ස් ෆර්ඩිනඬ් කුමරා වේ. එම ඡායා රූපයේ දිනය 11.01.1893 සහ කලා වැව ලෙස තිබෙන සඳහනත්, විස්තරයේ සඳහන් දඩයම් කළ ඇතාත් අනුව එහි අනන්‍යතාවය තවත් තහවුරු වේ.

එසේම එම දිනයේම ගත් තවත් ඡායාරූපයක ඔහු සමඟ පෙනී සිටින්නන් අතර උඩුකය නිරාවරණය කර සරමකින් සැරසුනු, දිගු රැවුලක් සහිත අයෙක්ද වේ.
ෆ්‍රාන්ස් ෆෙර්ඩිනඩ් කුමරා ඉතිහාස ගත වන්නේ ඔහුගේ සහ මෙහෙසියගේ ද්විත්ව ඝාතනය පළමුවන ලෝක යුද්ධයට තුඩුදුන් හේතුව වූ නිසාවෙනි.

ඔහු සහ මෙහෙසිය බොස්නියාවේ සරාජීවෝ නගරයේ දී සර්බියානුවෙකු අතින් ඝාතනය විය​. නමුත්, වෙඩි වැදී ටික වේලාවක් යනතුරු සිහියෙන් සිටි ඔහු අවසානයේ දී මිය යමින් සිටි තම මෙහෙසියගෙන් ආයාචනය කර තිබෙන්නේ “දරුවන් වෙනුවෙන් ජීවත්වන” ලෙසයි.

ඔහුගේ මරණයෙන් ආරම්භ වූ පළමු ලෝක යුද්ධය නිසා ඕස්ට්‍රියානු රජ පෙළපතේ ද නිමාව සිදුවිය​. රජකම් කිරීමට කිසිඳු කැමැත්තක් නොතිබුන ෆ්‍රාන්ස් ෆර්ඩිනඬ් රජකමට උරුමකරු වූයේ තම ඥාති සොහොයුරා දිවි නසා ගැනීමෙනි. එසේම තමන් පෙම් කළ රාජකීයයෙකු නොවූ තරුණිය විවාහ කර ගැනීම නිසා උද්ගත වූ ප්‍රශ්න සියල්ලටම​ මුහුණ දුන් ඔහු තම දරුවෙකුට කිසිදින අධිරාජ්‍යයෙකු විය නොහැකි වන බව වටහා ගෙන තම පුතුන් දෙදෙනාට සහ දියණියට අගහිඟ කමින් තොර චාම් සහ නිරවුල් ජීවිතයක් ගෙනයාමට අවශ්‍ය දේපල සහ ක්‍රමවේදයක් කල් තබා සකස් කර තිබූ නිසා එම දරුවන් පසු කලෙක​ සුරක්ෂිත ජීවිත ගෙවීමට සමත් වී තිබේ.

අහඹු ලෙස රජකමට උරුමකරුවී ඒ නිසාම ඝාතනයට ලක්වූ, මෙම අතිශය කුරිරු සත්ව ඝාතකයා සංකීර්ණ චරිතයක් බව ඔහුගේ ජීවිතය ගැන විමසා බලන කල පෙනී යන්නකි.

-නීතීඥ ජගත් ගුණවර්ධන-

Social Sharing
අවකාශය නවතම