ඉසිප්‍රියා, ප්‍රියා අපි එක වයසේ…!

-කේ. සංජීව-

Shoba නැතිනම් සිංහල අපි දන්න Isaipriya ඉපදුනේ 1982 සුන්දර ඩෙල්ෆ්වල. මමත් ඉපදුනේ 1982. අපේ ජීවිත ගෙවුනේ කොහොමද? යාපනේ Vembadi ඉස්කෝලේ ඉගනගෙන පවුල් පිටින් රිවිරැස මෙහෙයුම නිසා අවතැන් වෙලා පස්සේ කිලිනොච්චියට ඇවිත් එතනින් තමයි කොටි සංවිධානයට බැඳිලා පස්සේ මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කරන්නේ.

මම නම් හිතන්නේ නෑ මේක ඉසිප්‍රියා කැමැත්තෙන් භාරගත්ත ජීවිතයක් කියලා. ඇය ඉපදෙන්නෙම අවුල් ලෝකයකට. අයිතිවාසිකම් ඉල්ලලා ආරම්භ වුණ සටනක් මැදට තමයි ඇය පැමිණෙන්නේ. බුදුන්ට වගේ අපිටත් දේශය දීපය බලලා ඉපදෙන්න චාන්ස් එකක් තිබුණා නම් ඉසිප්‍රියා යාපනේ වත් මම රත්නපුරේ වත් ඉපදෙන එකක් නෑ. ඒක තමයි ඇත්ත.

මම රත්නපුරේ ඉපදෙනකොට අපිට ගොඩක් තිබුණේ ආර්ථික ප්‍රශ්න. ආර්ථිකයෙන් පහළට වැටීම නිසාම උරුම වූ ප්‍රශ්න. ඒ පහළ වැටීම නිසාම ගොඩාක් අයිතිවාසිකම් අහිමිවුණ වටපිටාවක තමයි මම ඉපදෙන්නේ. ඒනිසා මම හැමදාම කල්පනා කරන දෙයක් තමයි සිංහල වෙලා ඉපදිලත් මට උරුම වූ ප්‍රශ්න දිහා බලනකොට උතුරේ ඉසිප්‍රියා ලට උරුම වුණ ප්‍රශ්න ගැන කවර කතාද කියන එක.

ඉසිප්‍රියා වන්නි ඇවිත් මාධ්‍යවේදියෙක් වීමෙයි මම කොළඹට පාවෙලා ඇවිත් මාධ්‍යවේදියෙක් වීමෙයි අතර කිසිඳු වෙනසක් නෑ කියලයි මට හිතෙන්නේ. ඒවා තෝරාගැනීම් නෙවෙයි අහම්බකාරක. දකුණේ නීතිය හැවෝටම එක සමානව ක්‍රියාත්මක නොවෙනකොට, මුදල් දේශපාලන සම්බන්ධතා එක්ක ඒවා ගැටගැහිලා තාඩන පීඩන වලට ලක්වෙනකොට, මට ඒක උරුම නොවුණත් යාලුවන්ට එහෙම අසාධාරණයන් වෙනකොට අපිත් මරාගෙන මැරෙන්න හිතිලා තියෙනවා ඕනෑවටත් වඩා. උතුරට සංවිධානයක් තිබුණා එහෙම හිතෙන තරුණ ජීවිත කාන්දම් කරගන්න පුලුවන් වෙන. එහෙම අවකාශයක් නිර්මාණය වෙලා තිබෙන කොට එවැනි සමාජ වටපිටාවක, තරුණ ජීවිත ඒ ව්‍යාපාරයේ අනුරාගයෙන් එල්ලෙන එක, බැඳෙන එක.., ඔව් ඒක තමයි ස්භාවය…!

The Wind That Shakes the Barley

මට ඉසිප්‍රියා දකිනකොට The Wind That Shakes the Barley කියන Ken Loach ගේ ෆිල්ම් එක ආයේ ආයෙත් බලන්න හිතෙනවා. ඒක තමයි අනුරාගී ආසාවට දෙන්න පුලුවන් හොඳම නීදර්ශනය. ඉසිප්‍රියා ට බනින විශේෂයෙන්, කාලයක් ජවිපේ දේශපාලනය එක්ක අනුරාගයෙන් බැඳුන අයට මම යෝජනා කරනවා මේ ෆිල්ම් එක ආයෙ ආයෙත් බලන්න කියලා. මේ වගේ ෆිල්ම් වලින් කලා කෘතිවලින් තමයි මානවයාගේ යුද්ධ ඉතිහාසයට පොඩි හරි විරාමයක් දෙන්න පුලුවන් වෙන්නේ…!

යුද්ධය ඉවරවුණාට පස්සේ මම 2013 වන්නිවලට ගිහිං සතියක් හිටියා. ඇත්තටම කළේ ඇවිද්ද එක. හමුවෙන හමුවෙන එකා එක්ක කතාකරපු එක. අක්කරායන්කුලම් වගේ කිලිනොච්චියට ළඟම පැතිවල සිංහල දන්න අය හිටියා. ඔවුන් 1983 කළු ජූලියෙන් උතුර හරහා ඉන්දියාවට යන්න ගිය අය. ඒ කතා පුදුම එලවන සුළුයි. ඒ මිනිස්සුන්ගේ යුද්ධ දායකත්වය, එල්ටීටීඊ රාජ්‍යය අස්සේ ඒ මිනිස්සුන්ගේ ජීවිත රීසර්ච් කරන්න ඕනී කලාපයක්. එහෙම ඇවිදිනකොට දවසක් එල්ටීටීඊ නඩුකාරයෙක් හමුවුණා. ඔහුට තිබුණා මගේ පපුව හරහා මල්ටිබැරල් යවන්න පුලුවන් රිදෙන කතාවක්. ඇත්තටම මාව නැවත නැවත මරා උපද්දවන කතා තමයි ගොඩක් අයට තිබුණේ. ඇත්තටම ඒ කතා එකතුකරලා ඉතිහාසය සංරක්ෂණය කරන්න ඕනී. පොල්පොට්ගේ කාලේ ගැන එහෙම මතක එකතුකරපු වාර්තා චිත්‍රපටියක් තිබෙනවා. ඒකෙ නම Enemies of the People, 2009 කරපු මේ ෆිල්ම් එක අධ්‍යාපනය කලේ Rob Lemkin සහ Thet Sambath. අවුරුදු 10ක රීසර්ච් එකක ප්‍රතිපලයක් තමයි මේ ෆිල්ම් එක. මට හිතෙන්නේ ලංකාවෙත් උතුරේ යුද්ධය ගැන වගේම 88/89 දකුණ ගැනත් මේවගේ චිත්‍රපටි කෙරෙන්න ඕනී.

එහෙම ඇවිදිනකොට මට හමුවුණ එල්ටීටීඊ කාන්තා අංශයෙ හිටපු සෙබලියක් කියනවා ඇයට එල්ටීටීඊ ප්‍රබලයෙක්ගේ බිරිඳක් කොළඹ ජාතික රෝහලේදි හමුවුණා කියලා. සිංහල අපි හැවෝම දන්න කාන්තාවක් ඇය. ඒක පුදුම හිතුන කතාවක්. ඒත් අද වෙනකොට ඒ කාන්තාව සහ දරුවන් ඉන්නේ අතුරුදන් ලිස්ටෙකේ. මෙහෙම කතා ගොඩක් තිබෙනවා. ඒ අස්සේ තිබෙන ප්‍රබල සහ හැමදාම උස්ව ඇසෙන කතාව තමයි ඉසිප්‍රියා.

ඉසිප්‍රියා මැරෙන්නේ හමුදාව යටතේ. දූෂණයට වධහිංසාවට ලක්වෙලා. මෙහෙම හමුදා අත්අඩංගුවේ දී කී දෙනෙක් මැරිලා තිබෙනවාද? ඇත්තටම ඒවා ඝාතන. ස්භාවික මරණ නෙවෙයි.

සමහර දෙමාපියන් ආරක්ෂාව ගැන හිතලා තමන්ගේ දරුවා ගෙනල්ලා හමුදාවට භාර කරනවා. මොකද හමුදාවම කිව්වේ මානුෂීය මෙහෙයුම කියලා. ඒත් ඒ භාරදුන්න දරුවන් අද වෙනකොට අතුරුදන්. දැන් ආරක්ෂාවට හමුදාවට ගෙනල්ලා භාර කරපු තමන්ගේ දරුවට මොකද වුණේ උබලා දරුවට මොකද කළේ කියලා ඒ දෙමාපියන් අහන එක වැරදියි ද?

හමුදා අත්අඩංගුවේ හිටිය ඉසිප්‍රියා ට මොකද වුණේ, හමුදාව ඇයට මොකද්ද කළේ කියලා අහන එක වැරදියිද? හරි අපි මොහොතකට කියමු ඇය ත්‍රස්තවාදී සංවිධානයක සමාජිකාවක් කියලා. ඒත් මගේ මූලික ප්‍රශ්නය ඇ‍ය ත්‍රස්තවාදී වුණත් ඇය අවසන් වරට නිරායුධව හිටියේ හමුදාව භාරයේ. එතකොට අපි ඉසිප්‍රියා ට මොකද කළේ කියලා හමුදාවෙන් අහන එක වැරදියිද? නෑ..

අපි මාකඳුරේ මධුෂ් මරපු වෙලාවේ ඒ මරණය සිද්ධ කළේ ලංකාවේ පොලීසිය කියලා කිව්වා විතරක් නෙවෙයි පාතාලේ උනත් එහෙම මරන්න අයිතියක් තියෙනවද කියලා ඇහුවා. ඉස්සරහටත් අහනවා. ඒ නිසා යුද්ධයේ අවසන් අදියරේදී හමුදාවට භාරවුණ දෙමාපියන් ගෙනල්ලා භාර කරපු දරුවන්ට මොකද වුණේ කියලා අපි හැමදාම අහනවා. ඒකට උත්තරක් රාජ්‍යය දෙන්න ඕනී. ඒ උත්තරය දෙනකම් ඒ ප්‍රශ්නය වලංගුයි.

නාවික හමුදා අත්අඩංගුවේ ඉන්නකොට මරලා දාපු දකුණේ මිනිස්සු ගැනත් අපි අහනවා. ඒ විතරක් නෙවෙයි ඒ ඝාතන වලට කරන්නාගොඩ කියන හිටපු නාවික හමුදාපති වගකියන්න ඕනී කියලා අපි කියනවා.

එල්ලුන්ගස් ගිය නියෝජ්‍ය පොලිස්පති වාස්ගුණවර්ධන පොලිසියේ රාජකාරි කරනකොට මිනිස්සු කීයක් මරලා තියෙනවද? ඇයි ඒ මිනිස්සුන්ට යුක්තිය හිමි නැත්තේ.

ඒනිසා ඉසිප්‍රියා මතුවුණා කියලා කෑගහන්න නටන්න අඬන්න හොටුහූරන්න දෙයක් නෑ මේරටේ යුක්තිය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විසඳුම තමයි සත්‍ය සොයාගැනීම. ඒක කරන්න ඕනී. ඒක කරන්නේ නැති තාක් ඉසිප්‍රියා ලා මතුවෙනවා.

Social Sharing
නවතම විශේෂාංග