චම්පික තමයි මීළඟ නායකයා…!

Patali Champika Ranawaka Bankruptcy of the country

-කේ. සංජීව-

අද පාඨලී චම්පික රණවක ස්වාධීන රූපවාහිනියට ඇවිත් කරපු කතාව ඇහුවට පස්සේ කාලයක් තිස්සේ ලියන්න හිතාගෙන හිටපු එකක් ලියන්න හිතුනා.

පාඨලී චම්පික රණවක ප්‍රමුඛ මිත්‍රයෝ 43 හදනකොට අනුරුද්ධ ප්‍රදීප් මටත් කතාකළාම මමත් ඒකට සම්බන්ධ වුණේ සම්පූර්ණ කැමැත්තෙන්. මුලු හදින්ම කියලා අපි කියන්නේ, අන්නෙහම තත්ත්වයක් ඒ සෙට්වීමේ තිබුණේ. ඒ සෙට්වීමට ප්‍රධානම හේතුව උනේ චම්පික ප්‍රකට කරපු නායකත්වය.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ටිකක්විතර වාමාංශයට බරව සහ ඒක දිහා අයිතිවාසිකම් සහ විශේෂයෙන් යුක්තිය හරහා බලපු මට චම්පික සමග එකතුවීමේ ගැටලු තිබුණා. ඒත් මේ රට හදන්න සිහින දකින නායකයෙක් පස්සේ ගිහිං දේශපාලනය කරන්න ඕනී කියලා කාලයක් තිස්සේ තිබුණ අරමුණට ළඟාවෙන්න පුලුවන් නායකයෙක් විදිහට පෙනුනේ චම්පික විතරයි. ඉතිං මම දෙපාරක් හිතුවේ නෑ.

2002-2004 ආණ්ඩුව අස්සේ රනිල් වික්‍රමසිංහ වැඩකරපු විදිහ ගැන කැමැත්තක් තිබුණත් ඔහුට රාජපක්ෂ පවුල සමග තිබුණ බැඳියාව සහ වංචාව දූෂණය දිහා ඔහු බලපු විදිහ එක්ක මට තේරුන් ගිහිං තිබුණා ඔහුට මේරට ගොඩනඟන්න, නවීන රටකට අවශ්‍ය පදනම දන්න බැහැ කියලා. ඉතිං ඒ තත්ත්වය එක්ක වඩා ප්‍රයෝගිකවාදී සහ අනාගතවදී දේශපාලනයක හිටියේ චම්පික විතරයි.

චම්පික ජාතිවාදියෙක් කියලා ගොඩනගලා තිබෙන සාහිත්‍ය නම් මට එතරම් ප්‍රශ්නයක් වුණේ නෑ මොකද මේකේ තිබෙන බෞද්ධ උරුමය පිළිබඳව මට ප්‍රශ්නයක් නැති නිසා. අපි ඔය දියුණුයි කියන ගොඩක් රටවල් අපි පරමාදර්ශ විදිහට ගන්න ගොඩක් රටවල් එහෙමයි. මානවයාගේ ඉතිහාසය සහ ජනාවිද්‍යාත්මක පදනම් අස්සෙන් මානව ප්‍රගමනය දිහා බලාඉන්න මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒකෙන් අදහස් කෙරෙන්නේ නෑ වාර්ගික සුළුතර ප්‍රජාවන් කුඩුපට්ටම් කරලා දාන්න ඕනී කියලා. උතුරු නැගෙනහිර ප්‍රශ්නය ජාතිය පිළිබඳ ප්‍රශ්නයකට වඩා මම දකින්නේ රාජ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් විදිහට. පස්චාත් යටත්විජිත වාදී ප්‍රශ්නයක් විදිහට.
හැබැයි මගේ වාමාංශික මිත්‍රයන්ට සහ මිතුරියන්ට ඒක විශාල ප්‍රශ්නයක් වුණා. සමහරු මට කෙළින්ම මැසේජ් කරලා ඇහුවා කොහොමද ඔහොම වර්ගවාදී වුණේ එකපාරටම කියලා. සමහරු කියන්න ගත්තා මාත් බැටලු හම පොරෝගත්ත වෘක්කයෙක් කියලා. සමහරු මිත්‍රත්වයෙන් මාව අයින් කළා. ඒත් මට තියෙන්නේ එහෙම සිල්ලර වර්ගවාදයක් නෙවෙයි. එහෙම වර්ගවාදී කියන පදක්කම කෙනෙක්ට දෙන්න පුලුවන් නම් හරිම සිල්ලර විදිහට මට වර්වාදියා කියන මගේ මිත්‍රයන් මට වඩා අවුන්සයකින් හෝ වර්ගවාදී කියලා මම හොඳටම දැනගෙන හිටියා. ඒ වගේ වර්ගවාදී කතිකාවක් නම් මේ රටේ තියෙන්නේ ජවිපෙට උනත් ලංකාවේ දේශපාලනය කරන්න බෑ. ජවිපෙට නෙවෙයි කාටවත් බෑ. එහෙනම් ඉතුරු වෙන්නේ විකොස විතරයි.

මම උතුරු නැගෙනහිර විතරක්ම නෙවෙයි ලංකාවේම මේ ප්‍රශ්නය දකින්නේ යුක්තිය සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නයක් විදිහට. ඒ ප්‍රශ්නය විසඳන්න නම් මේ රට නැවත වතාවක් ප්‍රතිසංවිධානය කරලා නැවත පිහිටුවන්න ඕනී. ජාතික රාජ්‍ය නැවත පිහිටුවන එක තමයි මට හිතෙන්නේ ප්‍රොජෙක්ට් එක. ඒකට අපිට නායකයෙක් නායකත්වයක් සොයාගන්න වෙනවා. එතනදී තමයි මට හිතෙන්නේ ඒකට සුදුස්සා චම්පික කියන දේ.

මට ඉතිං දේශපාලනය කරන්න ආසාව තිබුණට ප්‍රයෝගිකව මට ඒකට කැපවෙන්න ශක්තියක් නැතිවෙනවා. විනයක් හැදියාවක් වෙලාවක් නැති වෙනවා. ඒනිසාම මම ඒ දේශපාලනයෙක් ටිකක් ඈත් වෙනවා. ඒත් මම තවමත් හිතනවා මේ රට හදන්න නම් චම්පික වගේ නායකයෙක් මේ රටට අවශ්‍යයි කියලා.

ඒකට ප්‍රධාන සුදුසුකම සිහිනයක් දැකීම. සැළැස්මක් තිබීම. ඒ සිහිනය සාක්ෂාත් කරගන්න ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබීම. ඒක ක්‍රියාත්මක කරන්න ඔලුවක් තිබීම. නිර්මානාත්මක අදහස් සමුදායක් තිබීම. ලෝකය දෙසට නැමීම. නවීනත්වය වැළඳගැනීම. මැටි බලලුන්ගෙන් හෝ වැඩගන්න දක්ෂයෙක් වෙන්න ඕනී. ඉතිං මේ සියලු සුදුසුකම් චම්පිකට තිබෙනවා ඕනෑවටත් වඩා.

වර්තමාන රැලි නැඟීම් නිසා ආයෙත් බැහැලා ඕනී ෆුකක් කියලා බරටම දේශපාලනය කරන්න ඕනී කියලා හිතෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අයිතිවාසිකම් වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් වෙනදට වඩා කැපවීම් කරන්න වෙන, වෙනදට වඩා බැහැලා දේශපාලනය කරන්න ඕනී කාලයක් උදාවෙමින් තිබෙන බව පේනවා. ඒක ගැන නැවත වටයකින් සිතමින් ඉන්න කාලයක් මේක. ඉතිං මේ දේශපාලන සංවාදය ඒකට අලුත් ජවයක් අරගෙන ආවා. අලුත් සිතුවිලි දහරාවක් හැදුවා.

අපි හැවෝම කියනවා ඒක දේශපාලනය කියලා. රනිල් වික්‍රමසිංහ ඡන්දය කල් දාන්න කැස කවනකොට අපේ මිත්‍රයෝ කියනවා ඒක දේශපාලනය කියලා. මේ දුෂ්කර වෙලාවෙ ජනරජ පෙරහැර කරනකොට ඒක දේශපාලනය කියලා කියනවා. නිදහස් උත්සවය කරනකොට ඒකත් දේශපාලනය. එකතුවෙන්න කියලා විපක්ෂයට කියන ගමන් විපක්ෂය දියකරන්න ගේම් ගහන එකත් දේශපාලනය. මම කියන්නෙ ඒකනම් දේශපාලනය දැන් මේ රටට දේශපාලනය අවශ්‍ය නෑ. දේශපාලනය අමතක කරන්න පුලුවන් දේශපාලනයක් තමයි දැන් අවශ්‍යතාවය. ඒක එක්තරා විදිහක සංවිචාරත්මක දේශපාලනයක්. මට හිතෙන්නේ ඒකට නායකත්වය දෙන්න චම්පික තරම් සුදුස්සෙක් දැනට නෑ ලංකාවේ. මේ සංවාදය ඒකට හොඳ නීදර්ශනයක්..!

Social Sharing
නවතම විශේෂාංග