හරිනි 13+ සහ සුදු අලි

– කේ. සංජීව –

ජාතික ජන බලවේගයේ හරිනි නැඟ එන පළාත් සභා ගින්නට පිදුරු පොඩ්ඩක් වීසි කර ඇත. නලීන් ද සිල්වානෝ දැන් මෙසේ අසයි – 88/89 වැරැද්දක් කියලද මේ කියන්නේ? ඒ ප්‍රශ්නයම සමහර රනිල්වාදියෝ ද හරිනිගෙන් අසනු පෙනෙයි. ඒ කිම් දැයි නොදනිමි.

එදා ඉන්දු – ලංකා ගිවිසුමට අත්සන් තබපු අයුරුවද එය පාර්ලිමේන්තුව තුළ සම්මත කළ අයුරුවද ප්‍රජාතන්ත්‍ර විරෝධී බව නලීන් ද සිල්වානෝ ෆේස්බුක් අවකාශයේ ලියනු පෙනෙයි. ඔව් ඒ ඉතිහාසය එහෙම තමයි.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද? ඇත්තටම එහෙම දෙයක් මෙහි තිබෙන්නේද? ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද ඇත්තටම මෙහි එහෙම දෙයක් පවතීද? අපට එහෙම ප්‍රශ්න කළ හැකිය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලංකාව අස්සේ ක්‍රියාත්මක කරන ආකාරයෙන් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ හෙලුව නොපෙනේද?
එනිසා නලීන් ද සිල්වා දැන් මේ එක එක වාදවල පැටලුනත් මට නම් හිතෙන්නේ මේ ගොඩක් දේවල් වල අර්ථ මේ වෙනකොට ඒ ඒ තැන්වලින් ගැළවිලා ගිහිං බවය. දොඩම්ගෙඩිය මිරිකිලා ඉවරය.! දැන් ඇත්තේ සාරය නැති මදක් විතරය.

එදා ජවිපාවුන් ඉන්දු ලංකා ගිවිසුමට මාරාන්තිව විරුද්ධ වීම සහ අද හරිනි එම ගිවිසුමට මාරාන්තිකව එකඟවීම දෙකක් බව මගේ හැඟීමයි. එනිසා හරිනි එසේ කීවානම් ‘ඒක මරු’ කියා කිව යුතුය. එයින් පෙන්නේ ජවිපේ කියන දොඩම තවදුරටත් එහි නොපවතින බවය. දැන් ඒ දොඩම් සාරය පැපොල් සාරය බවට පෙරළී ඇත. දොඩම් යැයි සිතා පැපොල් බී විටෙක එය අතීසාරයට හේතුව විය හැකිය. එය වෙන කතාවක් ය.

හරිනි හෝ ජාතික ජනබලවේගය මේ පළාත් සභා ක්‍රමයට කැමති වුනාට මම නම් මේකට කැමති නැත. ඒ සිල්වානන් ගේ අර්ථයෙන් නොව වෙනත් අරථයකින් ය. 13+ ක්‍රියාත්මක කළා කියා අපිට නැතිවෙන්නට දෙයක් නැත. ඔය කියන 13 හරහා ද තහවුරු වෙන්නේ සිංහල කොළඹ ආණ්ඩුවේ ආධිපත්‍යය මිසක් වෙන බක්කක් නොවෙන බව ඕනෑම බූරුවෙක්ට ඒ ව්‍යවස්ථා සංශෝධනය කියවා තේරුම් ගත හැකිය. එනිසා නලීන් ද සිල්වගෙන් 13 ගැන අහගන්නවාට වඩා තමන්ම එය කියවා ගන්නවා නම් හොඳය.

ලංකාව ඉතා කෙටි කාලවලට ඇරෙන්න ඒකීයව තිබී නැත. අපේ ජානවලද ඒකීයත්වයක් නැත. කෝට්ටේ යුගය ගැන සීතවක, රයිගම ඉතිහාසය ගැන නල්ලූර් ගැන අපි නැවත සිතා බැලිය යුතුය. ඕනී නම් ඊටත් එහාට ගොස් සඳගනා නුවර වගේ ඉතිහාසයක් ද සොයා පහදාගත හැකිය. එසේ නැතිනම් මෑත කාලයට පැමිණ පැළෑඳ වගේ ඉසව්වකට ගොස් බලය විසිරුණු අතීත විභූතිය සොයා පහදාගත හැක. එනිසා සුද්දන්ගේ ඒකීයත්වය ඇගේ ඔතාගැනීම හරියට ගාඩි ෆිල්ම් එකේ කෙස්සෙන් හංස පැටව් වහගන්නවා වැනිය.

එහෙත් ඒකීයත්වය අවසන් කරනවා යනු මේ දැන් ක්‍රියාත්මක පැපොල් ඇට පළාත් සභා ක්‍රමය බෙල්ලේ ඔතාගන්නවා යන්න නොවෙන බව කිව යුතුය. දැන් පළාත් පාසල් කියා වර්ගයක් ඇත. ජාතික කියා තවත් වර්ගයක් ඇත. සෞඛ්‍ය ද එසේය. රෝහල් ද එසේය. ද්වීගුණ වුණාට දෙකෙන් එකක්වත් හරියට නැත. සේරම සල්ලි ගිලින මකර තොරන් ය.

එනිසා 13+ ඕනෑනම් එයද සංශෝධනය කළ යුතුය. ලංකාවට මෙච්චර පළාත් වැඩක් නැත. මේක කෑලි පහකට (උතුර, දකුණ, මැද, නුවරකලාවිය, බටහිර ) විතර කඩා ඒවාට සියලු බලයන් දිය යුතුය. මධ්‍යම ආණ්ඩුව ප්‍රතිපත්ති හදන වැඩේ විතරක් තියාගෙන ඉතුරු සියලු බලයන් මේවාට වීසි කළ යුතුය. එය එසේ නැතුව 13+ කියා මේ තියෙන පළාත් සභාවම ක්‍රියාත්මක කළා කියා ඇතිවෙන්න සුගතියක් නැත. එය දේශපාලන නිකමුන් ටිකකට පාර්ලිමේන්තු එන්න කලින් පොඩි පෙරහුරුවක් විතරක් ය. ජනතා මුදල් වියදම් කර එවැනි පුහුණු සැසි පැවැත්වීම ජනතා අභිලාෂය නම් පළාත් සභා මෙසේම පැවතීම හොඳය.

 

Social Sharing
නවතම විශේෂාංග