ජීවිතයේ ඇති අගය ජීවත් වෙනකොට මිනිස්සු වටහාගන්නවද?

– රෂ්මික මණ්ඬාවල –

ලොව ප්‍රකට ඇමරිකානු නාට්‍ය රචකයෙකු වන තෝන්ටන් වයිල්ඩර්ගේ Our Town නම් විශිෂ්ට නාටකයේ සිංහල අනුවාදය, අසංක ගුරුසිංහ නාට්‍ය වේදියාගේ අධ්‍යක්ෂණයෙන් අද සන්ධ්‍යාවේදී ලයනල් වෙන්ඩ්ට් හිදී ‘ප්‍රේමයේ නගරය’ නමින් වේදිකාගත වූ අවස්ථාවට එක්වන්නට හේමන්ත අරුණසිරි අයියාගේ ආරාධනයෙන් ඉඩ ලැබීම අති විශේෂ අත්දැකීමක් වුණා. දැන් මං කල්පනා කරන්නේ ඒක මිස් වුණානම් මම කොච්චර අපරාධයක්ද කරගෙන තියෙන්නේ කියලා. 2021 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන තුනක් සහ තවත් සම්මාන කිහිපයකට නිර්දේශ වී ඇති මේ නාට්‍යය ආරම්භක මොහොතේ සිට අවසානය දක්වා එකම අයුරින් රිද්මය පවත්වා ගනිමින්, විටෙක ප්‍රේක්ෂකාගාරය හිනස්සමින්ද, විටෙක හඬවමින්ද, විටෙක දැඩි ආතතියකට ලක්කරමින්ද ඉතා අපූරු නිෂ්පාදනයකින් වේදිකා ගත වුණා. ආරම්භයේ සිට අවසානය දක්වා මේ යැයි ඇදක් කියන්නට බැරි තරම් රංගන ප්‍රතිභාවක් දැක්වූ නවක නළු නිළි කැල ඒ නාටකයට අපූරුවට පණ පෙවුවා. ප්‍රවීණ නළු නිළියන් නැතැයි කිසිදු අඩුවක් නොවීය. පෝල් නිව්මන්, ෆ්‍රෑන්ක් සිනාත්‍රා වැනි ලොව දැවැන්ත නළුවන් පණ පෙවූ නාට්‍යයේ ප්‍රධාන චරිතය වන වේදිකා කළමනාකරුගේ/ කථකයා චරිතය හෙබවූ නවක නළු නවෝද් ඉතා විශිෂ්ට රංගනයක නිරත වූ බව නොකියාම බැරිය. ජීවිතය ගැන අති විශිෂ්ට මානයක යෙදෙන ත්‍රොන්ටන් වයිල්ඩර් මෙම නාටකය වෙනුවෙන් 1938 වසරේදී පූලිට්සර් සම්මානය දිනාගත්තා. ලොව පුරා මෙම නාටකය වේදිකාගත වී ඇති ප්‍රමාණය සිතාගත නොහැකි තරම්.

නාට්‍යයට පදනම් වන්නේ නිව් හැම්ප්ෂයර් හි පිහිටි ගෘවස් කෝනර් නම් මනක්කල්පිත නගරයක්. වර්ෂය 1901 යි. කතාව ආරම්භයේදීම කථකයා මෙසේ පවසයි.

ඔබ මේ දකින සෑම කෙනෙක්ම දැන් ජීවතුන් අතර නැහැ. ඔවුන් සියල්ලෝම මරණයට පත්වෙලා.

මේ කතාවේ දේශපාලනය වැකි දෙකකට ගොනුකරන්නට වයිල්ඩර් සමත්ව තිබේ. එනම් සිවිල් යුද්ධවල ප්‍රතිඵල ගැන කතාව වාක්‍ය දෙකකින් ඔහු අපේ සිතට ඇතුළු කරයි. කතාව පුරාම කිසිදු දේශපාලනික අදහසක් බලයෙන් ඔබ්බවන්නට ඔහු උත්සාහ නොකරයි. ඔහු කරන්නේ මේ නගරයේ මිනිසුන් පිරිසකගේ කතන්දරයක් අප හමුවේ දිගෑරීම විතරයි. එහෙත් ඒ හරහා ජීවිතය පිළිබඳ දැවැන්ත කතාවක් අපට සමීප කරයි. නාට්‍යය කොටස් තුනකි. පළමු කොටස නම් වන්නේ දෛනික ජීවිතය නමින්. එහිදී නගරයේ වැසියන් සහ ඔවුන්ගේ දවස ගෙවෙන හැටි පෙන්වයි. දර්ශනය අවසාන වන විට කතාවේ ප්‍රධාන චරිත දෙක වන එමිලි සහ ජෝර්ජ් වෙත අපේ අවධානය ගෙනයයි. අසල්වැසි පවුල් දෙකක යෞවනයෙකු සහ යෞවනියක අතර ප්‍රේමයක් හටගනියි. දෙවෙනි කොටස නම් වන්නේ ප්‍රේමය සහ විවාහය ලෙසින්.

තුන්වෙනි කොටස නම් වන්නේ මරණය සහ සදාතනික යන නමින්. නාට්‍ය යේ කතාව දිගින් දිගට කියන්නට නොහැක. එය ඔබ නැරඹිය යුතුය. මරණය පිළිබඳ දැඩි සංවාදයක් අවුලවමින් නාට්‍යය නිම වෙයි. මෙහි අවසානයේ එමිලි ඉතා වැදගත් ප්‍රශ්නයක් කථකයාට යොමු කරනවා.

ජීවිතයේ ඇති අගය ජීවත් වෙනකොට මිනිස්සු වටහාගන්නවද?

ඒකට කථකයා මෙහෙම පිළිතුරු ‍දෙනවා.

නැහැ. කවියෝ සහ මුනිවරු වගේ අය සමහර වෙලාවට ටිකක් මේක වටහාගන්නවා.”

ඇත්තටම ඔබ ජීවිතයේ අගය හරියටම වටහාගෙන තියෙනවද?

නාට්‍යය අවසන් වෙද්දී කථකයා මෙහෙම කියනවා. ගෘවර්ස් කෝනර් වලට දැන් වෙලාව රෑ එකොළහයි. අපි දැන් නිදාගන්න යනවා. ඔයාලත් විවේක ගන්න.

මෙන්න මේ විවේකය ජීවිතයට කොයිතරම් වැදගත්ද? ජීවිතය ගැන මෙනෙහි කරන්නට අපිට ඉඩක් තියෙනවද?

මේ නාට්‍යය ගැන දීර්ඝ සටහනක් ලිවිය යුතුයි. ඒකට ඉඩ තියලා මම දැන් සමුගන්නවා. දැන් මෙහේ වෙලාවත් එකොළහයි. ඔයාලත් විවේක ගන්න. සුබ රාත්‍රියක්!

පින්තූරය පරණ එකක් බව සලකන්න
උපුටාගැනීම : ෆේස්බුක්

 

Social Sharing
අවකාශය නවතම