සින්ක් ඉන් වනු පිණිස

උදන් ප්‍රනාන්දු

කුප්‍රකට බිලියනපති ඉලෝන් මස්ක් සාර්ථක හා නිර්මාණාත්මක ව්‍යවසායකයෙකි. දකුණු අප්‍රිකානු සම්භවය ඇති මස්ක්, ඇමෙරිකානු, කැනේඩියානු හා දකුණු අමෙරිකානු රටවල ත්‍රිත්ව පුරවැසියෙකි. ධනය මනින එක් දර්ශකයක් වන ‘නෙට් වර්ත්’ හෙවත් ශුද්ධ වටිනාකම ලෙසින් ගතහොත්, මස්ක් ඇමෙරිකානු ඩොලර් බිලියන 223 ක් වටී. මස්ක් සෙසු ධනවතුන්ට වඩා ඉතාමත් ඉදිරියෙන් සිටියි. ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැන්නා වන ඇමසොන් අධිපති ජෙෆ් බෙසොස්ගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 139ක් පමණි. ෆේස්බුක් අධිපති සකර්බර්ග් ගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 34 පමණි. සුප්‍රසිද්ධ ටෙස්ලා මෝටර් රථ සමාගම හා පෞද්ගලික අභ්‍යවකාශ ප්‍රවාහන සමාගමක වන ස්පේස්-එක්ස් සමාගම හා තවත් සමාගම් කිහිපයක් ම ඇරැඹියේ මස්ක් ය. ඒවායේ බහුතර හිමිකාරත්වය ඇත්තේ ඔහුට ය.

ව්‍යාපාරික සාර්ථකත්වයේ හිණි පෙත්තට ම නැඟි මස්ක් ජනප්‍රියභාවයෙන් නම් වැටී සිටින්නේ අගාධ පතුලක ය. ඒ ඔහුගේ ‘අමුතු’ හෙවත් ‘ඔඩ්’ හැසිරීම නිසා ය. විටෙක මේ ‘අමුතු’ බව ඔහුගේ ව්‍යාපාරික සාර්ථකත්වයට හේතු විණි. එනම්, එය ඔහුට සාමාන්‍ය ක්‍රමයට සිතීමෙන් මිදී නවෝත්පාදනයකට පදනම දා ගැනුමට උපකාරී විය. ඔහු කරන්නේ මහා අමුතු වැඩ ය. ඔහුගේ බාල දරුවාගේ නම සාමාන්‍ය නමක් නොව සමීකරණයකි (X Æ A-12). මේවා අහිංසක අමුතු වැඩ ය. එහෙත් ඔහුගේ උද්දච්ච බැවින් කැරෙන හැසිරීම් හා ප්‍රකාශ මස්ක් ලොව ඉහලින් ම සිටින කුප්‍රකට පුද්ගලයෙකු බවට පත් කර ඇත. ඔහුට ඇති අසීමිත ධනය මස්ක් අන් අය නොමනා ලෙස මඩවන හෙවත් බුලී කරන්නෙකු බවට පත් කර ඇත.

ප්‍රකට සන්නිවේදන පතාකයෙකු වන ට්විටර් සමාගමේ බහුතර කොටස් අත්පත් කරගන්නට මසකට දොලදුකක් හට ගති. ඔහුගේ අමුතු ක්‍රමය දන්නෝ ඊට අනුකූලත්වයක් නොදැක්වූ හ. ඒ අතර ට්විටර් සමාගෙමේ ප්‍රධාන පරිපාලන හා කළමනාකරණ සථරය ද විය. මේ බාදා මැද්දේ ට්විටර් සමාගම නතු කරගත් පසු මස්ක් මුලින් ම කළේ කුස්සියේ භාජන හෝදන සින්ක් එකක් (පිඟන් ගඩොල් බේසමක්) බරට බරේ උස්සා ගෙන සමාගමේ මූලස්ථානයට යෑම යි. බැලු බැල්මට මේ විකාර සහගත ජවනිකාවෙන් මස්ක් උත්සාහ කළේ තමන් ට්විටර් සමාගමේ අයිතිය නතු කර ගැනීම අපුල ලෙස සැළකු ප්‍රධාන විධායක නිලධාරී (CEO) ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකරණයට පැහැදිලි පණිවිඩයක් දීම යි. එනම් තමන් අකමැති යතාර්ථය ‘සින්ක්-ඉන්’ වෙන්නට ඉඩ දීම යි. ඉංග්‍රීසියෙන් සින්ක්-ඉන් කියන්නේ යමක් දිරවා ගන්නට ඉඩ දීම යි; යමක යතාර්ථය අමාරුවෙන් හෝ පිලිගැනීම යි. මස්ක් කළේ සින්ක්-ඉන් හි වාච්‍ය අර්ථය මත පදනමින් ම සන්ඛේතීය පණිවිඩයක් දීම යි.

රනිල් වික්‍රමසිංහ මුලින් අගමැති හා ඉන් අනතුරු ව ජනපති වීම, මා සිතනාකාරයට සමස්ත ජනතාව පමණක නොව වික්‍රමසිංහ ද සිහිනෙකින්වත් නොසිතූ දෙයකි. වික්‍රමසිංහ තමන්ගේ පාඩුවේ නෙට්ෆ්ලික්සයක් බලා ගෙන පොතක් පතක් කියවාගෙන තම අවසාන දේශපාලන ඉනිමේ නොදැවී පමණක් සිටින්නට සිතා සිටියා විය හැක. ලොකු ලොකු බලාපොරොත්තු නැතිව වන්-ඩේ-ඇට්-එ-ටයිමාකාරයෙන් ඔහු පස් වැනි පටුමගේ කල්ගත කර කාලයක් — අවුරදු 45 ක් !! — වැඩට ගිය කන්තෝරුව වන පාර්ලිමේන්තුවට ඔහේ ආවා ගියා විය හැක. ඉදින් එවන් නිවෙන්නට කිට්ටු ඉටිපන්දමක එකවර හෝස් ගා පත්තු වුණු හුළුඑළියක් වීම අසාමාන්‍ය දෙයකි. මේ සිදුවීම ලකේ සැමා පමණක නොව ලොවේ සැමා ද ‘ස්ටේට් ඔෆ් ඩිස්බිලීෆ්’ හෙවත් අදහාගත නොහැකි තත්ත්වයකට පත් කළේ ය.

එකල සිට බුකියේ බොහෝ පෝස්ටු දකින විට මට සිතෙන්නේ බොහෝ දෙනා තාම මේ සිදුවීම දිරවා ගත නොහැකි ව සින්ක් එකක් අහලකවත් නැති මානයක කල්ගත කරන බව යි. වික්‍රමසිංහ අගමැති ලෙස පත් වුණු විගස සරසවි ඇදුරන්ගේ පුටා සංවිධානය කීවේ ‘හැප්පිලා බලමු’ කියා ය. හිරුනිකා මැතිණිය යටිගිරියෙන් කෑගසා වික්‍රමසිංහ අවදි කරන්නට උත්සාහ ගත්තී ය. සෙස්සෝ ගෙදර පළ, අවසන් නිවේදනය වැනි අවවාදාත්මක හා තර්ජනාත්මක සද්ද බද්ද දැමූ හ. මේ සියල්ල ම පත්තු නොවුණු කළ, අප පැටි කාලයේ සෙල්ලම් කරද්දී දිනුම බාර ගැනුමට අකැමැති ව කරන ලාමක හැසිරීමක් බඳු, ‘රනිල් රාජපක්ෂ’ නමින් ජනපති ඇමතීම පුරුද්දක් කර ගත් හ. මේ සියළු හැසිරීම් අප තේරුම් ගත යුත්තේ සින්ක්-ඉන් වෙන්නට අසීරු ව දඟළන්නන්ගේ වේදනාත්මක චෛතසිකය ලෙස ය.

මීට සති කිහිපයකට පෙර මම කොළඹට සතියක කාලයකට ගියෙමි. මා ඒ කාලය තුල මුළුමනින් ම වාගේ ගත කළේ දේශපාලන පක්ෂවල ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් හා නායකත්වය සමග යම් විෂයක් සම්භන්ධයෙන් ඔවුන්ගේ මත විමසීම ය. ජනතා විමුක්ති පෙරමුණ හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ සියල්ලක් ම පාහේ නියෝජනය වන පරිදි නියැදියක් මටත් මගේ පර්යේෂණ කණ්ඩායමටත් සාදා ගැනුමට හැකි විය. පක්ෂයක් පමණක් නොව යම් පක්ෂයක අළුතින් නිර්මාණය වී ඇති විවිධ ධාරාවන් ද ඒ අතර විය. උදාහරණයකට පොහොට්ටුවෙන් නොකැඩී එහෙත් ස්වාධීන ස්ථාවරයක සිටින අය ද ඒ අතර විය. සජබ තුල ද එවන් විවිධ ස්ථාවරවල සිටින හා ස්ථාවරය කුමක් විය යුතු ද කියා අන්ද මන්ද ව සිටින අය ද ඒ අතර විය. මුස්ලිම් හා දෙමල ජනතාව නියෝජනය කරන පක්ෂ ද විය. මේ සියළු දෙනා අතර මා දුටු එක් ලක්ෂණයක් මා මවිත කළේ ය. එනම් ඔවුන් රනිල් වික්‍රමසිංහ ජනපති ලෙස පිලි ගැනීම හා නව තත්ත්වයට අනුගත වී තිබීම ය. පොහොට්ටු පතාකයින් එච්-ඊ එච්-චී කියා මේ කියන්නේ අප්පච්චීට ද කියා මම මුලින් සිතීමි. එහෙත් මට සැණෙකින් වැටහුණේ ඔවුන් කියනා මේ එච්-ඊ, අප්පච්චී නොව අවසන් මැතිවරණය දී තමන්ගේ පක්ෂයෙන් අසුනක්වත් දිනාගත නොහැකි ව ජාතික ලැයිස්තුවේ පිනෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ බව යි. ඩොක්ටර්, මං මේ එච්.ඊ එනකම් එලියේ වාඩිවෙලා ඉන්නේ, කොයි වෙලාවේ හරි කෝල් එක කට් වුනොත් ගණන් ගන්න එපා. මං ඉන්නේ එච්.ඊ ගාව. ඉවර වුනා ම කතා කියන්නං, කියා මට කීවේ මීට මාස කිහිපයකට පෙර වික්‍රමසිංහ ව පතුරු ගැසූ පොහොට්ටු සාමාජිකයෙකි. මගේ තක්සේරුව අනුව පාර්ලිමේන්තුව සින්ක් ඉන් වී හමාර ය. තම කොමරාදු ගැලරිය පිණවීම ට වික්‍රමසිංහට අවලාද කීව ද මට හමු නොවූ ජවිපේ නායකයින් ද සිටින්නේ සින්ක්-ඉන් තත්ත්වයේ බව අනුමාන කළ හැක. යහපාලන සමයේ ජවිපෙ හා වික්‍රමසිංහ අතර ඉතා යහපත් අවබෝධයක් තිබුණ බව රහසක් නොවේ.

ඉලොන් මස්ක් ට්විටර් කන්තෝරුවට සින්කයක් ගෙන ගොස් පමණකින් නතර නොවී ය. සින්ක් එක ට්විටර් කන්තෝරුවේ රිසෙප්ෂන් මේසයට හේත්තු වන ලෙස බිම තැබූ මස් ක් තම දෑතේ හා සිරුරේ තිබු දූවිලි ගසා බසා පළමු ව කළේ මෙය ය. එනම් ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පාරග් අග්‍රවාල්, නීති අංශයේ ප්‍රධානී ෂෝන් එජට් හා ප්‍රධාන මුල්‍ය නිලධාරී විජේ ගද්දේ වහාම බලපාන පරිදි ඔවුන්ගේ තනතුරුවලින් අස් කිරීම ය. දේශපාලන සන්දර්භයක නම් හරියට ජනපති වහාම අගමැති, අධිකරණ ඇමති හා මුදල් ඇමති ගෙදර යැවීම බඳු ය. කෝවිඩ් සමයේ ආනයන සීමාවෙන් සින්ක් ඇතුළු සෙරමික් හෙවත් පිඟන් ගඩොල් භාණ්ඩ විකුණා මඩිය තර කර ගත්, අනතුර ව පාර්ලිමේන්තුවට අවුත් ක්ෂණික ව මෝචනය වූ ව්‍යාපාරික භාවතා ඉන් අනතුරු ව කීවේ පොඩ්ඩන් එකිනෙකා හා ගහ මරා ගත්තාට, ලොකු-ලොක්කන් තරහා වෙන්නේ නැති බව යි. ඒ අනුව, වික්‍රමසිංහට සින්ක් කොන්ටේනරයක් ම යට කී මහතාගෙන් නොමිලේ ඇණවුම් කොට, මසකට වරක් නාගෙන කරගෙන යන්න කොළඹට එන පිරිසට සින්කය බැගින් බෙදා දිය හැක

Social Sharing
නවතම විශේෂාංග