ධනුෂ්ක සහ Human Playground

ඇමරිකාව වගේ රටක ධනුෂ්ක හිටියනම් මේ වෙනකොට එහෙ රූපවාහිනී නාලිකාවක් හෝ විශ්වවිද්‍යාලයක ෆැකල්ටියක් ධනුෂ්ක සම්බන්ධයෙන් ඇමරිකානු ජනතාවගේ මත විමසුමක් / පෝල්ස් (Polls) කරල. අද ඉදන් ඕස්ට්‍රේලියාවේ පොලීසිය ගන්න ක්‍රියාමාර්ග අනුව ඒ පෝල්ස් වෙනස් වෙනවද කියලත් බලනවා. මේ වෙනකොට පොලීසිය කීවා they met for consensual sex but didn’t use condoms in the last minute. ( කැමැත්තෙන් ලිංගිකව එක්වීමට හමුවුනත් අවසාන මොහොතේ කොන්ඩම් භාවිතා කිරීම ප්‍රතික්ෂේප කලා )

එහෙම එකක් ලංකාවෙ නැතිනිසා අපේ යාලුවන්ගේ WhatsApp groups දැක්කම හිතෙනවා ධනුෂ්ක වැඩකාරයෙක් කියල. ඔෆිස් Group වල සංවාද දැක්කම හිතෙනවා ධනුෂ්ක අපරාධකාරයෙක් කියල. බොක්කෙන් මැච් බලපු එවුන්ට කතාකලාම හිතෙනවා ධනුෂ්ක රට ජාතිය ආගම පාවාදුන්න කෙනෙක් කියල. මම චින්තන ධර්මදාසට යෝජනා කරනවා ධනුෂ්ක (සහ ඒ වටා ගෙතෙන සිද්ධි සමුදාය) ගැන පෝල් එකක් හෝ කීපයක් කරල ඒ හරහා අර්ථගැන්වෙන අපේ සමාජයේ ලිංගිකාකල්ප ගැන විවරණයක් කරන්න කියල. මේක ඔයාට මරු විද්‍යාත්මක අවස්ථාවක්, මචන්.

ධනුෂ්කගෙ මේ නිවුස් එක දැක්කම මට මතක් වුනේ Hannelore Vandenbussche විසින් නිර්මාණය කල Idris Elba විසින් හඩකවන මේ වසරේ Netflix ඉදිරිපත්කල Human Playground (මිනිස්සුන්ගේ ක්‍රීඩාපිටිය) කියන අතිවිශිෂ්ඨ DocuDrama එක. වසර දහස් ගණනකට පෙර චාරිත්‍ර ලෙස ආරම්භවී අද ඩොලර් බිලියන ගණන් වටිනා දැවැන්ත ව්‍යාපාර බවට පත්වී ඇති ‘සෙල්ලම්’ ගැන දාර්ශනික සොයා බැලීමක් මෙම සීරිස් එකේ තියනවා.

ක්‍රිකට් කියන්නෙත් Entertainment එකක්. IPL හෝ වෙනත් ලීග් බලද්දී දැන්වත් ඒක තේරෙන්න ඕන. හැබැයි 96 ජයග්‍රහණය නිසාත්, එවැනි ජාත්‍යන්තර ජයග්‍රහණයක් අපි කවදාවත්ම ලබලා නැති නිසාත්, වෙන කිසිම ක්‍රිඩාවකදී මේ තරමින්වත් සුද්දන්ට/ විදේශිකයන්ට ගහන්න අපිට හැකියාවක් නැති නිසාත්, මේ Entertainment වටිනාකමින් එහාට ගොස් ක්‍රිකට් අපේ අධ්‍යාත්මයට අනවශ්‍ය ලෙස කිට්ටු බවයි මගේ හැගීම. ලංකාවෙ ක්‍රිකට් වලට අඩුවෙන් ඔට්ටු දාන්නේත් (ක්‍රිකට් කියන්නේ ලොකුම සූදුවක්) මෙන්න මේ පූජනීය තත්වය නිසා වෙන්න පුලුවන්. ඒ වගේම LPL (Lanka Premier League) තාමත් Entertainment එකක් බවට නොපෙරළුනෙත් ඒ නිසයි.

Human Playground සීරිස් එකේ පළවෙනි එපිසෝඩ් එක Breaking the Pain Barrier (වේදනාවේ බාධකය බිදහෙලීම). කාන්තාර මැරතන් තරග, ගොන්පොර, මඩේ සහ ගල් උඩ යන බයිසිකල් රේස්, මිදුණු අයිස් යට පිහිණීම ගැන කතාකරනවා. වේදනාවක් නැත්නම් සැබෑ ජයග්‍රහණයකුත් නෑ. මේ වගේ සෙල්ලම් වලින් මිනිස්සුන්ව මානසික හා කායික දරාගැනීමේ උච්චතම අන්තයට තල්ලු කරනවා.

දෙවැනි එපිසෝඩ් එක An Ancient Ritual (පෞරාණික චාරිත්‍රයක්) චාරිත්‍ර සදහා කරන සටන් වැදීම්, තාත්තලා පුතාල දඩයම් කිරීමට යාම වගේ සෙල්ලම් හරහා අපේ පැවැත්මට අදාල ප්‍රාථමික කුසලතා වන කෑම සෙවීම, අනෙකා පරයා ජයග්‍රහණය කිරීම සහ නොබියව පරිසරයට මුහුණ දීම වගේ කුසලතා සංවර්ධනය වෙනුවෙන් නිර්මාණය වුන සෙල්ලම් ගැන කතාකරනවා.

තුන Rites of Passage ( චාරිත්‍ර වාරිත්‍ර ). ළමාකාලයේ සිට වැඩිහිටි ජීවිතයට පරිවර්තනය වීම සදහා ජපානයේ සූමෝ ක්‍රීඩාවත්, චීනයේ කුංන්ග්ෆූ ක්‍රීඩාවත් මැඩගස්කරයේ ගෝත්‍රික තරුණයන් දරුණු හරකුන් සමග සටන් වැදීමත් යුරෝපයේ Reindeer (හිමේ ජීවත්වන මුවන්) සමග රේස් කිරීමත් ගැන කතාකරන මේ එපිසෝඩ් එක මානව වර්ගයා තම සහකරුවන් සොයාගැනීමට, ආකර්ෂණය කරගැනීමට ක්‍රීඩාව පාවිච්චි කරන හැටි පෙන්වනවා. ( ධනුෂ්ක ක්‍රිකට් භාවිතාකලේ ඒ සදහාද? )

හතර In Pursuit of Perfection ( පරිපූර්ණත්වය ලුහුබැදීම) එපිසෝඩ් එකේ කතාකරන්නේ ලෝකයේ උසම රැල්ල සර්ෆ් කරන තරුණිය, පලස්තීනයේ කාන්තා රියදුරෙකු මාරාන්තික රේස් කරන හැටි, සහ කකුල් දෙකම පණ නැති තරුණයෙක් කායවර්ධන ශූරතාවය දිනන හැටි.

පස්වෙනි එපිසෝඩ් එක God’s Playground (දෙවියන්ගේ ක්‍රීඩාභූමිය). ලෝකයේ උසම සහ භයානකම කදු මුදුන් තරණය කරන්නන්ගේ සිට මෙක්සිකෝවේ කිමිදුම් ක්‍රීඩකයන් හරහා හොද කෘෂි අස්වැන්නක් වෙනුවෙන් භාරවී කරන ක්‍රීඩා දක්වා මිනිසුන් විසින් අපිට වඩා උඩින් ඇති විශේෂ දිව්‍යමය බලයක් උදෙසා කරන සෙල්ලම් ගැන කතාකරනවා. අපේ පොරපොල් ක්‍රීඩාව වගේම අලුත් අවුරුද්දට කරන බොහොමයක් ජනක්‍රීඩා මේ ගොඩට වැටෙනවා කියල මට හිතුණා.

අන්තිම එපිසෝඩ් එක තමා Big Business ( දැවැන්ත ව්‍යාපාරය) සෙනගාලයේ සුප්‍රසිද්ධ සටන් ක්‍රීඩාවේ සිට නවීන තාක්ෂණයෙන් ඔට්ටුදාන ඔටු රේස් හරහා තිරසාර විදුලි බලයෙන් දුවන, රියදුරා සහ පරිඝණකයෙන් එකවගේ පැදවෙන ෆෝමියුලා කාර් රේස් දක්වා ඩොලර් බිලියන ගණනක් වියදම්වන, ආදායම් උපදවන, ඔට්ටුදාන ක්‍රීඩා ගැන කතාවෙනවා.

ඔය අන්තිම එපිසෝඩ් එක තමා ලංකාවේ අපිට වැදගත්ම. අපි තාම මනසින් ඉන්නේ පොරපොල් ක්‍රීඩාවේ. හැබැයි ක්‍රීඩාව කියන්නේ විනෝදය සපයන සහ ඒ හරහා මුදල් උපයන මාර්ගයක්. ධනුෂ්ක ඒ මුදල් දාමයේ පුංචිම පුංචි ඉත්තෙක්.

ධනුෂ්ක ජාත්‍යන්තර ක්‍රීඩකයෙක් වුනත්, ‘එකගතාවයෙන් යුතුව සෙක්ස් කරන්න ගෙදරටම ආවත්, කොණ්ඩම් පාවිච්චි නොකිරීම ගැන ඕස්ට්‍රේලියානු තරුණිය බය නැතුව පොලීසි ගියේ, Entertainment එක මොකක්ද කියල හරියටම ඇය දන්නා නිසාත්, ඇගේ පෞද්ගලික Entertainment එක කඩන්න ධනුෂ්ක වගේ ජාත්‍යන්තර Entertainment සපයන්නෙකුටවත් නොහැකි බව ඇයට පොඩි කාලෙ ඉදන් කියල දීල තියෙන නිසාත්, හැමෝගෙම Entertainment ඕස්ට්‍රේලියාවේ නීතිය ඉදිරියේ සමාන නිසාත්ය.

මිලින්ද රාජපක්ෂ
‘Mili I Need a Coffee’ Series
2022.11.06

Social Sharing
අවකාශය නවතම