පොලිසියට විරුද්ධව මිට පස්සේ සිවිල්/ අපරාධ නඩු දාමු – සාලිය පීරිස්

ලංකාවේ පොලිසිය “ආයුධ පෙන්නන්න” එක්ක ගියාම, සුදු වෑන්වලින් පැහැරගත්තම, නැත්නම් දැන් හැමදාම අහන්න ලැබෙන විදියට අමනුස්ස පාලකයින්ට විරුද්ධව පාරට බහින කොල්ලෝ කෙල්ලන්ට බලු විදියට ගහන්න ගත්තම හැමෝම හිතන්නේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීම ගැන විතරයි කියල ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා කියන විදියට මේ වගේ දේවල් වෙනුවෙන් වන්දි ඉල්ලලා සිවිල්, අපරාධ නඩු පවරන්න කාලේ ඇවිත්.

ඔහු මේ කතාව කිවුවේ පහුගියදා කොළඹදී “වැඩබිම” සංවිධානය කොළඹ ජානකී හෝටලේ සංවිධානය කරලා තිබුන සාකච්ඡාවකදී. ලංකාවේ ප්‍රධානම වෘත්තීය සමිති නායකයෝ ඒකට සහභාගිවෙලා හිටිය.

“මොකද සිවිල් නඩුවේ වෙන්නේ, අවුරුදු කීපයක් ඒ විත්තිකාරයට උසාවි එන්න වෙනවා. විත්තිකාරයට සිද්ද වෙනවා නීතිඥවරුන්ගේ සේවය ලබාගන්න,” සාලිය පිරිස් කියනවා.

මේ විදියට නව ක්‍රමවේදය යටතේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් පවරනු ලැබූ නඩුවක් විමසා බැලූ ශ්‍රේෂධාධිකරණය, ජ්‍යෙෂඨ පොලිස් නිලධාරීන් දෙන්නෙකුට පසුගිය සතියේ සිතාසි නිකුත් කරලා තිබුන.

තරිඳු වෙනුවෙන් ඒ නඩුවට පෙනී හිටියේ සාලිය පීරිස්.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් වැදුණ ඕන් සාන් සුකී කළ ප්‍රකාශයක් සිහිපත් කළ නීතිඥ සාලිය පීරිස්, “අවුන් සන් සුකී කියල තියෙනව “The Greatest gift that a nation can have is abhaya; not only bodily strength but the courage,” කියල.

“මම හිතන්නේ ඒක තමයි අපි හැමෝටම අවශ්‍ය වෙන්නේ,” සාලිය පිරිස් කියනවා. “අපි බය වෙන්නේ නැත්නම් අපිව යටපත් කරන්න විධායකය අපොහොසත් වෙනවා කියන එක.”

නීතිඥ සංගමය දෙකඩ කිරීමේ වෑයමක්?

මේ අතර ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ ප්‍රධානත්වයෙන් නීතිඥ සංගමය රටේ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම පිණිස ක්‍රියාකරමින් සිටීම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෝපයෙන් සිටි බව රහසක් නෙවෙයි.

ජනාධිපතිවරයාගේ නියමයෙන් ජුලි 21 වෙනි දින ගෝටා ගෝ ගමට එල්ල කළ අමානුෂික, ම්ලේච්ඡ ප්‍රහාරය ගැන ජගත් ප්‍රජාව නියෝජනය කරන තානාපතිවරුන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු පවසා තිබුණේ සාලිය පිරිස් ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සමස්ත නීතිඥ ප්‍රජාව නියෝජනය නොකරන බව.

තමන් සහ අමාත්‍ය අලි සබ්රි (ගෝටාභය රාජපක්ෂගේ නීති විරෝධී නීති උපදේශක) දෙදෙනාත් නීතිඥවරුන් බව ජනාධිපතිවරයා තානාපතිවරුන්ට පවසා තිබුණා.

ඒක රනිල්, ජේ ආර් මාමගෙන්, ඉගෙනගත්තු දේශපාලන කලාව. හැබැයි සමහර මාධ්‍ය වාර්තා කළ විදියට එදා කිසිම උණුසුම් වාදයක් නම් සිද්ද වුණේ නැහැ කියල තානාපතිවරු මට කිවුව. ඒක බොහොම සුහද සාකච්ඡාවක්.

මේ තත්වය යටතේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය දෙකඩ කරන්න කියල ජනාධිපතිවරයාට සමීප “මානව හිමිකම් නිතිවේදීන්” පිරිසකට රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙන් උපදෙස් ලැබී තිබෙන බව “Sandeshaya by Saroj” නාලිකාවට ඉතා විශ්වාස කටයුතු මාර්ගවලින් අනාවරණය වෙනවා.

ඒ නම්, ගම් සියල්ලද අප දන්නා නමුත් වගකීම් සහගත මහජන සේවා මාධ්‍ය කලාවක් අනුගමනය කරන අප මේ අවස්ථාවේ එය හෙළි නොකරන්නේ අදාළ පාර්ශවයන්ටද ඒ ගැන ප්‍රතිචාරය පලකිරීමට අවස්තාව ලබාදීමේ අටියෙන් බවත් කියන්න කැමතියි.

මේ අතර පසුගියදා දුමින්ද නාගමුව ප්‍රසිද්ධියේ කිවුවේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය දෙකඩ කරන බවට අමාත්‍ය ටිරාන් අලස් සපත කරලා තියෙනව කියල; ඔහු ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා කියලා. මේක අපි මෑත ඉතිහාසයේ, විශේෂයෙන්ම UNP පාලන කාලවල නිරන්තරයෙන් දැකපු දෙයක්.

කොහොම වුණත් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ලිංගික සමානාත්මතාව ආදී මෙකී නොකී හැමදේම වෙනුවෙන් පෙනී ඉන්න බව කියන මේ නීතිඥ නෝනා, මහත්වරු තමන්ගේ බඩ වියත වෙනුවෙන් ප්‍රතිපත්ති පාවාදීම කොයිතරම් නම් කැතයිද?

මේ හැමදේම ගැන වැඩි විස්තර ඉක්මනින් කතා කරමු.

-සරෝජ් පතිරණ

උපුටා ගැනීම- ෆේස්බුක්

Social Sharing
නවතම විශේෂාංග