මගේ ලොකු දුවගේ වයස මේ පොතේ වයසට සමානයි – ශෙහාන් කරුණාතිලක

බුකර් සම්මාන රාත්‍රියෙන් පසු දවසේ උදෑසන ශෙහාන් කරුණාතිලක අවදි වන්නේ තම දුරකතනයේ නොනවතින නාදය සමගයි. එනම් ඔහුට සතර දෙසින් ගලාගෙන එන සුබ පැතුම් නාදය සමගයි ඔහු අවධි වන්නේ.. 1992 Michael Ondaatje ගේ The English Patient පොතට පසුව බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ලාංකිකයා වන්නේ ශෙහාන් කරුණාතිලකයි.

 

ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා (The seven moons of Maali Almeida) යන නවකතාව ලියවෙන්නේ 1989 ලංකාවේ සිවිල් යුද්ධය මුල් කරගෙනයි. මාලි අල්මේදා නම් ඡායාරූප ශිල්පියා මියගිය පසු සැබෑ ලෝකය අතර ගමන් කිරීමට සතියක කාලයක් ලැබෙන අතර ඒ අතරතුර ඔහු තමන් ජීවත්ව සිටිය දී ගත් ඡායාරූප තුළින් සිවිල් යුද්ධයේ කුරිරුකම් හෙළි කිරීමට තම මිතුරන් පොළඹවා ගැනීමට සමත් වීම මෙම මැජිකල් යථාර්ථවාදී නවකතාවේ අන්තර්ගතයයි. මෙය අත්භූතජනක කතාවක්ම පමණක් නොව, මෙහි දේශපාලනය, අභිරහස් මිනීමැරුම් සහ සමලිංගික ආදර කතාවක් ඇතුළත් ය. විශ්මයජනක සහ සංකීර්ණ කථා පිටු ගොඩක නිර්මාණයකි මෙය.

මීට වසර 12කට පමණ පෙර ප්‍රකාශයට පත් ශෙහාන් කරුණාතිලකගේ පළමු නවකතාව වන Chinaman : The Legend of Pradeep Mathew යන අතුරුදන් වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිළිබඳ කතාව 2012 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ඇගයුමට ද ලක් විය. සෙවන් මූන් පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක දී ශෙහාන් කරුණාතිළක පවසා ඇත්තේ තමන්ගේ ලොකු දුවගේ වයස හා මෙම පොතෙහි වයස සමාන බවයි. එනම් ඔහුගේ වැඩිමහල් දියණියට දැන් වයස අවුරුදු 8කි. තමන් කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වීම මෙම පොත රචනා කිරීමේ දී ලොකු අහියෝගයක් වූ බවද ඔහු පවසා ඇත. එනම් තම දරුවන් දෙදෙනා කාමරයට පිවිසෙන සෑම අවස්ථාවක දීම ලිවීමට යන ඡේදය අමතක වන බව ඔහු පවසයි. එවැනි දුශ්කරතා වලට මුහුණ දෙමින් බුකර් සම්මානය දිනා ගැනීම ගැන ඔහු නිහතමානී ආඩම්බර වෙයි.

ලංකාවේ සිවිල් යුද්ධයේ සැබෑ කතාව දන්නේ මියගිය අය පමණක් නිසා ඔහු මැරුණු මාලිව තමන්ගේ සෙවන් මූන් පොතට පාදක කරගෙන ඇත. George Saunders ගේ Lincoln in the Bardo යන අත්භූත නවකතාවට 2017 දී බුකර් සම්මානය ලැබීමෙන් පසු තරමක් නොසන්සුන් වූ ශෙහාන් කරුණාතිලක තමන්ගේ කෘතිය වෙනුවෙන් තවත් මහන්සි විය.

සෙවන් මූන් නවකතාව ප්‍රථමයෙන් 2019 වසරේ ඉන්දියාවේ දී චැට්ස් විත් ඩෙඩ්ස් (Chats with deads) යනුවෙන් ප්‍රකාශයට පත් කර ඇත. නමුත් එය අන්තර් ජාතික පාඨකයන් වෙත ගෙනයාමේ අරමුණින් ශෙහාන් තම සංස්කාරකවරිය වන නටානියා ජෑන්ස් හරහා එංගලන්තයේ සිටින ඇයගේ සැමියා වෙත සෙවන් මූන් නවකතාව යවා ඇත. එහි දී ඔවුන් නැවත එය ප්‍රකාශයට පත්කර ඇත.

තම ප්‍රථම නවකතාව පහසුවෙන් විකිණීමට හැකි වුණත් දෙවැන්න පාඨකයන් අතරට ගෙනයාමට දැඩි මහන්සියක් යෙදවීමට ශෙහාන්ට සිඳු විය. කෙසේවුවත් මෙම නවකතාව ක්‍රමයෙන් පාඨකයන් අතර වඩාත් ජනප්‍රිය විය.

කොළඹ මැද පාංතිකයෙක් වූ ශෙහාන් කරුණාතිලකට 1983 යුද්ධය ආරම්භ වූ කාලයේ ඇති වූ සිඳුවීම් මතක නැති වුණත් 1989 දී ඇති වූ යම් දරුණුතම සිඳුවීම් මතකයේ ඇති බව ඔහු පවසයි. නමුත් වතුකරයේ ජීවත් වූ තම බිරිඳට යුද්ධයෙහි අමිහිරි මතක හොඳින් මතක බව ඔහු පවසයි.

30 වසරක යුද්ධය ගැන කොපමණ සටහන් තිබුණත් ඒවා කියවීමටත් ලිවීමටත් ලාංකික මිනිසුන් පෙළබෙන්නේ නැත. සමහර විට ඔවුන් ඒවා මතක් කිරීමට අකමැති නිසා එසේ කරනවා ඇති නමුත් නැවත එවැනි දේවල් නොවෙන්න අපි ඒ මතකයන් ලිවිය යුතු බව ශෙහාන් වරෙක පවසා ඇත.
ශෙහාන් තම තරුණ වියේදී ගායකයෙකු වීමට සිහින දැක ඇත. නමුත් ඔහුගේ රැකියාව වූ පිටපත් රචනය විසින් තමා නවකතාකරුවෙකු කිරීමට අඩිතාලම සකස් කෙරූ බව ඔහු විශ්වාස කරයි.

ශෙහාන් තවමත් දෙමළ භාෂාව හදාරන නිසා තමන්ට බුකර් සම්මාන උළෙල තුළ දී සිංහල සහ දෙමළ භාෂා වලින් කතා කිරීමට හැකිවීම ගැන ඔහු ආඩම්බර වෙයි.

උපුටාගැනීම – theguardian
හේෂානි කරුණාරත්න

Social Sharing
අවකාශය නවතම