නිසංසලාගේ ටුවිස්ට් පැදි

දරුගැබ කළලය දරනා තැනයි. එය සුරක්ෂිත, සුවපහසු, රැඳීසිටීමට රුචිකරන තැනක් ලෙස මිනිස් අවිඥානයේ පවතී. වටකුරු බව, යමක් දැරිය හැකි ආකාරයේ මංජුසාමය ස්වභාවය, ඉඩකඩ සහිත වීම, මව් රැහැනට බැඳීම යන මේවා ද ඊට අඩුවැඩි සපයයි. ග්‍රීසියේ නම් මිදි ඵලදාව සමරන කාලයට ඩිතරැම්බ ගායනයෙන් මත්ව ගැබිනි කතුන් රඟන, ඇතැම්විට ඔවුන්ව බිලි දී සශ්‍රීක බව පෙන්වන මට්ටමට පත්වන බව නාට්‍ය ඉතිහාසයේ එයි. ගුණදාස අමරසේකරගේ ‘වක්කඩ බඳිමු’ කවියේ පොළොව ගර්භාෂයකට සමකරනු සැටි මතකය. ‘පොළොව ලොවිනවා වැහි පොද දිව දික් කරලා හනිකට’ ‘ගැබ් ගැනිලා කිරි එරිලා මහ පොළොවට සැනසෙන්නට, වැස්ස වැහෑපන් දෙවියනි විළි වැදිලා උපදින්නට’ ! ඉංග්‍රීසි ජාතික කවියෙකු වූ ටී.එස්. එලියට් කළ ‘මූඩුබිම’ වෙත එද්දී මට මැවෙන්නේ ද ගර්භාෂයයි. එවකට එංගලන්තයේ පැවති ව්‍යාකූල තත්වය පසුබිමෙන් නැගී සිටියදී ය ඔහු ලියන්නේ. සිරි ගුණසිංහගේ ‘පේරාදෙණි නියඟ’ ද ඒ හා ම සිහිවෙයි.

ගර්භාෂය මිනිස් දිවියේ ආරම්භය වන්නා හා ම, සොහොන මිනිස් දිවියේ අවසානය වන බව පිළිගැනීමයි. ‘තිඹිරිගෙය නොවේ ඇරඹුම, සොහොන් බිම නොවේ අවසන’ යනුවෙන් සේකර කවියට ගන්නේ එකී අදහසයි. එහෙත්, ගර්භාෂය ම සොහොනක් වීම වැනි අදහසක් මතුවන තැනක දී, ආරම්භයත් අවසානයත් යන දෙක ම එක තැනක දී වේය වැනි අදහසක් මතකරයි. එය අපව කම්පනයට පත්කරන්නකි. Pet Cemetery කෘතියේ දී මේ කම්පනය අපට දැනෙන්නේ, සොහොනින් නැගී එන පුතා මව මරා දමන හෙයිනි. ‘සොබාදහම් මාතාවගේ සොහොන් ගැබ මහ පොළොවය. ඇගේ වළ දැමෙන සුසානය වූ කලී අන් කිසිවක් නොව ඇගේ දරු ගැබයි’ යනුවෙන් සමන් වික්‍රමාරච්චි ‘අම්මා මගේ ආදර වස්තුව’ කෘතියේදී ක්‍රිස්ටීවා නම් අයගෙ උපුටනයක් දක්වමින් අදහස් කරන්නෙ ද මෙය විය යුතුය.

මෙකී දරුගැබ අදහස වර්ධනය කරවන කේ. කේ. සමන් කුමාර ‘සේකරගේ නුදුටු පැත්ත’ කෘතියේ දී යසෝදාගේ ද්‍රෝහි වීමෙන් පසු ප්‍රබුද්ධ යන චාරිකාව ඇරඹෙන්නේ මවගේ හඬ ඇසීමත්, ඇගේ මිනීවළ ළඟට යාමත් තුළින් බව පවසයි. එනම් ඔහු යළි උපදින්නේ ඇගේ සොහොන තුළිනි. මේ සියලු විමසීම්, නිසංසලා බර්තොලමියුස් ලියූ My womb, A Barren Land කාව්‍ය සංග්‍රහය වෙත දැන් පිවිසීමටය.

ඉංග්‍රීසි බසින් කවි ලියන නිර්මාණකරුවන් අතරින් මා කියවන ලාංකේය රචකයන් ඉතා ම අතලොස්සකි. විදෙස් නිර්මාණකරුවන්ගේ කවි කියෙවූවද මෙරට රචකයන් නොකියැවීම මාගෙ දොසක් මිස වෙන යමක් නොවේ. විවීමරී, ඉසුරිනී ඇතුළු ඒ අතලොස්ස අතරට නිසංසලා එක් වූයේ ඇගේ දෙවනි කවි පොත ද නිකුත් වූ පසුවය. ඔවුන් ඉංග්‍රීසි බසින් ලිවීම අගය කරන අතර ම, මම මාව ම සනසාගන්නට එබැවින්, ලිපි දෙකක් මතක් කර කියැවීමි. එයින් එකක්, සමන් වික්‍රමාරච්චි ලියූ ‘ඔවුන් ඉංග්‍රීසියෙන් ලියුවේ ඉන්දීය අනන්‍යතාව රැකගනිමිනි’ (නොනිමි පෙරවදන කෘතියෙන්) ලිපියයි. ලංකාව යටත් විජිතකරණයෙන් පසුව වුවත් ඉංග්‍රීසි බසෙන් ඇතිපමණ වැඩ නොගැනීමට හේතු අවබෝධ වීමටත්, ඉංග්‍රීසි බසින් නිර්මාණකරණයේදී ඉන්දියාව වැඩ ගැනීමටත් හේතු එහි දැක්වේ. අනෙක, ලියනගේ අමරකීර්ති ලියූ ‘සහෘද සාක්ෂිය’ කෘතියේ සඳහන් කරන, රනජිත් ගුහා ලියූ ලිපියක (ලිපියේ නම මතක නැත) එන උපුටනයකි. එහි ඇත්තේ ඉංග්‍රීසින් සහ ස්වදේශික ජනයා අතර බලය කේන්ද්‍රගත වන සැටි ගැන අදහසකි.

නිසංසලාගේ ගර්භාෂය ගැන කියැවෙන කවිය, ගාෂියා ලෝකාගේ යෙර්මා නාට්‍යයේ යෙර්මාගෙ සිතැඟි මට සිහිකරයි. දරුවෙකු බලාපොරොත්තුවෙන් වෙසෙන නමුත් නැති සොවින් පීඩිත දරුගැබක් ඇති යෙර්මා සිය සැමියා වන යුවන්ව මරා දමා මෙසේ කියයි, ‘මං මැරුවා, මගෙ අතින් මං මගේ පුතාව මැරුවා’. ඇගේ කවියේ ගර්භාෂයට අඩු දෑ ගැන ඇය කියයි. දරුවෙක්, දරුවගේ හිනා හඬ, පා හඬ, හාදු, ආදරය මේ සියල්ල. දරුගැබක් ඇත්තේ දරුවන් රඳන්නට ම නොවන බව ඇය කියයි. ඊට ආදරය ද අවැසි වෙයි. එය සශ්‍රීක වන්නේ දරුවකු ලැබීමෙන් ම නොවේ, අර කී සොයාබැලීම්, ප්‍රීතිමත්වීම්, ජීවිතය විඳීම් ඇතුළේ ය. මේ කවියට මා කැමති එබැවිනි. එහෙත්, මෙය අපට දේශයක් රටක් ලෙස වලංගු කර ගත හැකිය. ඇගේ කවි විවිධ සමාජ සංසිද්ධීන්, පරාමිතීන්, අවධී නිරූපණය කරන හෙයිනි. ඒ අනුව බලතොත් ලංකාව නමැති මවගේ ගර්භාෂය දැන් සාතිශය මුඩු තැනකි. බීජ නැත. සරු ඵලදාවක් නැත. සතුටුවන්නට කියා දෙයක් නැත.

එහෙත් කවිය අවසානයට එද්දී ඇය මෙසේ කියයි. දරුගැබ එසේ වුවත්, මගේ හදවත සියල්ලෙන් පිරී තිබේ, කිසි අඩුවක් නැත. ගැබ සහ හදවත සම්බන්ධයෙන් අඩුබව සහ පිරුණු බව ගැළපීමේ මේ තැත මට සිහිකරන්නේ පොරොන්දු දේශය නොහොත් යුතෝපියාව සහ දිස්තෝපියාවයි.

නිසංසලාගේ කවිවල පොදුවේ මා රුචිකරන එක් තැනක් නම් ඇය ඊට දී ඇති රිද්මය සංධ්වනි නගනසුලු බවයි. My soul, a bombed building කවියේ මැය කියවද්දී ම බෝම්බ හඬින් දෙදරුණු කෑලි කුඩුවුනු හඬක් ඇසෙන්නට ගනී. ඒ තමාගේ ආත්මයේ හඬ යැයි කිවිදිය කියයි. අනෙක් කරුණ නම්, බොහෝ කවිවල උපමා භාවිතයෙන් චිත්තරූප මැවීමේ හැකියාවයි. මිනිසාව දූපතකට සමාන කිරීම, ඒ දූපත සොයන් ළමයෙක් ගමන්කිරීම, මේ ඈ ලෙසින් භාගයක් පෙරළූ පොතකට, භාගයක් ඇරිය දොරකට මිනිස් ආත්ම සමාන කිරීමෙන් පොළොවේ ජීවත්වෙන මිනිස් ආත්ම බව හැඟේ. මේ කවි ආත්මයෙන් ඇසෙන දෝංකාර මෙනි.

නිසංසලාගේ කවි පොතේ මම ප්‍රියකරන ම කරුණ වෙත දැන් එමි. ඇය බොහෝ කවි අවසානයේ දී, ඇතැම් කවි මැද දී පද ටුවිස්ට් කරයි. B නම් ස්ථානයට යාමට A නම් ස්ථානයෙන් බසයකට නගින කිවිඳිය, මගදී යලි හැරී අවුත් A ස්ථානයට අවුත් ඇහැක් ගසා යන්නාක් වැනි වික්‍රමයක් කරයි. කවිය අවසාන වන්නේ මේ මොන හරඹයක්දැයි අපිට සිතන්නට සලස්වමිනි. මේ කවි පොතේ මං කැමති ම කවිය වන, You move music sheets within me කවියේ මැදක ඇය මෙසේ කියයි.

“All at once
Yet
Nothing at all”

‘I love the years within you’ කවිය බලන්න,

“You lightly caress my jawline
And say
‘I love the years within you’.
And as you leave,
Solitude decends upon me
And
I am lonely,
Lonely from the thousand years within me”

මුලින් යන ගමන අන්තිමේදී හැරී කරන මේ පැදි, රිද්ම ටුවිස්ට් බව මට සිහිකළේ සද්ධර්මරත්නාවලිය ලියූ ධර්මසේන හිමියන්ගේ උපමා, පිරුලු භාවිතයේ දැකිය හැකි ටුවිස්ට් සලකුණ යි. කතාව අතරින් එන මේ ක්ෂනික වංගු ගැනීම්, රිවර්ස් දැමීම් කතාවට එළියකි. දිය සීරාවල් ද, ශුෂ්ක බිම් ද, නගර භූමි ද, දෙදරුම් ද, සැනසුම් ද සහිත ජීවිත අතරින් නිසංසලා ගෙන එන මේ ටුවිස්ට් පැදි ඇගේ කවිය එළියට ගෙනෙන බව කිවයුතුය.

• ඩිල්ශානි චතුරිකා දාබරේ

__________________________________
සබැඳි | Nisansala Dharmasena Bertholameuze

Social Sharing
අවකාශය නවතම