නිර්ණායක ගණනාවකින්ම පෙනෙන්නේ ආර්ථිකය කෙමෙන් නැවත ස්ථායීත්වය කරා ගමන් කරන බවයි. ඩොලරයක මිල දැන් තිබෙන සීමාවේ බලහත්කාරයෙන් රඳවා ගෙන තිබෙන බව කිසිවෙකුට රහසක් නෙමෙයි. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබෙන ස්ථායීකරණ වැඩ පිළිවෙළ තුළ නැවතත් විණිමය අනුපාතය පා කළ යුතුයි. එසේ වුවත්, ආර්ථිකයට විශාල කම්පනයක් දැනෙන පරිදි මෙය කිරීම හොඳම ක්‍රමය නෙමෙයි.
ආර්ථිකයට විශාල කම්පනයක් නොදැනෙන පරිදි විණිමය අනුපාතය පා කළ හැක්කේ කොහොමද? විණිමය අනුපාතය නැවත නිදහස් කරන්නට පෙර ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිතව තිබුණොත්, විණිමය අනුපාතය පා කිරීම කම්පනයක් ඇති කරන්නේ නැහැ. මම හිතන්නේ මහ බැංකුවේ උත්සාහය එයයි.
මේ වන විට අගෝස්තු මාසයේ ආනයන අපනයන සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් වී තිබෙනවා.
2022 අගෝස්තු
අපනයන ආදායම – ඩොලර් මිලියන 1,224
ආනයන වියදම – ඩොලර් මිලියන 1,486
වෙළඳ හිඟය – ඩොලර් මිලියන 261
මෙම සංඛ්‍යාලේඛණ පෙර මාස හා සැසඳිය හැකියි.
2022 ජූලි
අපනයන ආදායම – ඩොලර් මිලියන 1,164
ආනයන වියදම – ඩොලර් මිලියන 1,287
වෙළඳ හිඟය – ඩොලර් මිලියන 127
2022 ජූනි
අපනයන ආදායම – ඩොලර් මිලියන 1,248
ආනයන වියදම – ඩොලර් මිලියන 1,226
වෙළඳ අතිරික්තය – ඩොලර් මිලියන 21
මේ අනුව, පසුගිය දෙමස තුළ ආනයන වියදම් ඉහළ යාමේ හා ඒ හේතුව මත වෙළඳ හිඟය වැඩි වීමේ ප්‍රවණතාවක් දැකිය හැකියි. නැවතත් වෙළඳ හිඟය වැඩි වීම හොඳ දෙයක් නොවන බව කෙනෙකුට එක් වරම කිව හැකි දෙයක්. එහෙත්, පවතින තත්ත්වයන් තුළ මෙයින් පෙන්නුම් කෙරෙන්නේ වැඩි වෙළඳ හිඟයක් දරා ගැනීමට ලංකාවේ ආර්ථිකයට හැකි වී ඇති බවයි. වෙනත් විදිහකින් කිවුවොත් අගෝස්තු මාසය වන විට පෙර දෙමසට සාපේක්ෂව ආනයන සීමාවන් යම් තරමකින් ලිහිල් වී ඇති බවයි.
මෙයින් තවදුරටත් පෙනෙන්නේ රටේ අනාගත ආර්ථික ස්ථායීත්වය පිළිබඳ විශ්වාසය කෙමෙන් නැවත ගොඩ නැගෙද්දී, පවතින විණිමය අනුපාතය යටතේම වුවද, විදේශ විණිමය ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමට යම් ඉඩක් ඇති බවයි. එය එසේ වන්නේනම්, වෙළඳපොළ කම්පනයක් ඇති නොකර නැවතත් විණිමය අනුපාතය පා කළ හැකියි.
මේ සහනදායී අවකාශය හැදෙන්නට එක් හේතුවක් වන්නේ පසුගිය මාස කිහිපය තුළ ශ්‍රමික ප්‍රේෂණ ක්‍රමයෙන් ඉහළ යාමයි. සැප්තැම්බර් මාසය වන විට අගෝස්තු මාසයට සාපේක්ෂව ශ්‍රමික ප්‍රේෂණ තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රමික ප්‍රේෂණ
2022 ජූනි – ඩොලර් මිලියන 274
2022 ජූලි – ඩොලර් මිලියන 279
2022 අගෝස්තු – ඩොලර් මිලියන 325
2022 සැප්තැම්බර් – ඩොලර් මිලියන 359
අගෝස්තු මාසයේ වෙළඳ ශේෂය ඩොලර් මිලියන 261ක් වුවත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඊට වඩා වැඩි මුදලක් ලැබී තිබෙනවා. මේ හේතුව හා තවත් හේතු නිසා සුළු වශයෙන් වුවත් අගෝස්තු මාසය තුළ ශුද්ධ වශයෙන් ඩොලර් මිල දී ගැනීමට මහ බැංකුවට හැකි වී තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ සිදු වුනේ එහි අනෙක් පැත්තයි.
2022 අගෝස්තු
විදේශ විණිමය මිල දී ගැනීම් – ඩොලර් මිලියන 215.61
විදේශ විණිමය විකිණීම් – ඩොලර් මිලියන 200.59
2022 ජූලි
විදේශ විණිමය මිල දී ගැනීම් – ඩොලර් මිලියන 117.65
විදේශ විණිමය විකිණීම් – ඩොලර් මිලියන 276.58
2022 ජූනි
විදේශ විණිමය මිල දී ගැනීම් – ඩොලර් මිලියන 68.00
විදේශ විණිමය විකිණීම් – ඩොලර් මිලියන 222.73
මෙලෙස මහ බැංකුව විසින් ශුද්ධ ලෙස විදේශ විණිමය මිල දී ගැනීම හා තවත් හේතු නිසා කාලයකට පසුව පසුගිය සැප්තැම්බර් මාසයේදී මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණයේ ඉහළ යාමක් දැකිය හැකියි.
නිල සංචිත වත්කම්
2022 ජූනි – ඩොලර් මිලියන 1,854
2022 ජූලි – ඩොලර් මිලියන 1,815
2022 අගෝස්තු – ඩොලර් මිලියන 1,717
2022 සැප්තැම්බර් – ඩොලර් මිලියන 1,777
මේ අනුව, ආනයන ප්‍රමාණය වැඩි වීමට ඉඩ හැර තිබෙන්නේ රටේ විදේශ අංශයේ ස්ථායීත්වයද රැක ගනිමින් මිස අවදානමේ හෙළමින් නොවන බව පැහැදිලියි.
මහ බැංකුවේ වත්කම් ඉහළ ගිය පමණින්ම එය යහපත් වර්ධනයක් බව එකවර කියන්න බැහැ. මහ බැංකුවේ වත්කම් වලට වඩා එහි බැරකම් වැඩි බව මා පෙර පැහැදිලි කර තිබෙන දෙයක්. කෙසේ වුවත්, මේ වත්කම් ඉහළ යාමට අනුරූපව බැරකම් ඉහළ යාමක් සිදු වී නැහැ. අගෝස්තු මාසයේදී මහ බැංකුවේ මෙන්ම වාණිජ බැංකු වලද ශුද්ධ විදේශ බැරකම් වල අඩුවීමක් දැකිය හැකියි.
මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්
2022 ජූලි – රුපියල් බිලියන (-1,686.2)
2022 අගෝස්තු – රුපියල් බිලියන (-1,614.9)
වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම්
2022 ජූලි – රුපියල් බිලියන (-437.6)
2022 අගෝස්තු – රුපියල් බිලියන (-420.2)
බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්
2022 ජූලි – රුපියල් බිලියන (-2,123.8)
2022 අගෝස්තු – රුපියල් බිලියන (-2,035.1)
මේ අනුව ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසය වන විට බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 250කින් පමණ පහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය අගෝස්තු මාසයේදී තවත් හොඳ අතට හැරී ඇතැයි උපකල්පනය කළ හැකියි.
මේ යහපත් ප්‍රවණතාවයන් පසුපස ඇති ප්‍රධානම සාධකය සල්ලි අච්චු ගැසීම සීමා කිරීමයි. පසුගිය සති කිහිපය තුළම මහ බැංකුව විසින් රජයට අවශ්‍ය අරමුදල් භාණ්ඩාගාර බිල්පත් විකුණා සොයා දීමට සමත්ව තිබෙනවා. දැනට පවතින 30%ට ආසන්න පොලී අනුපාතිකය යටතේ එය කළ හැකි බවද පෙනෙන්නට තිබෙනවා.
පොලී අනුපාතික 30% වැනි ඉහළ මට්ටමක තබා ගැනීම ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. එහෙත්, උද්ධමනය පාලනය කිරීම සඳහා එය නොකර බැහැ. උද්ධමනයට ඉන්ධන සපයමින් සල්ලි අච්චු ගහන්නේ නැතිව පොලී අනුපාතික පහළ හෙළිය හැක්කේ රජයේ ආදායම් වැඩි කර, වියදම් කපා, අයවැය හිඟය අඩු කර ගැනීමෙන් පමණයි.
– ඉකොනොමැට්ටා –