“දිව හරියට පිහි තුඩක් වගේ” – බර්නාදාගේ සිරගෙය

– ඩිල්ෂානි චතුරිකා දාබරේ –

ගාෂියා ලෝකාගේ ග්‍රාමීය නාට්‍ය ත්‍රය අතරින් එකක් වන ‘බර්නාදාගේ සිරගෙය’ වේදිකා නාට්‍යය මට නරඹන්න ලැබුණේ මීට අවුරුදු 5කට විතර කලින් කැලණියෙ ධර්මාලෝක ශාලාවෙදි, ප්‍රියංකර රත්නායකගේ නිෂ්පාදනයක් විදියට. රංජනී ඔබේසේකරගේ පරිවර්තනය ඇසුරින් නාට්‍යය ඉදිරිපත් කළේ ඇකඩමික් ප්ලේයර්ස් සාමුහිකයෙන්. ලෝකාගේ ‘යෙර්මා’ සහ ‘බ්ලඩ් වෙඩිං’ නාට්‍යයනුත් බලන්න ලැබුණේ එතැනදි. මගේ සුන්දරම නාට්‍ය මතක බිහිවුණේත් ඒ වේදිකාවේ. ගාෂියා ලෝකා කියල කෙනෙක් ගැන හොයාබලන්න උණ බෝවුණේත් එතනදි.

‘බර්නාදාගේ සිරගෙය’ නාට්‍ය බලද්දි මුලදි මං වශී වුණේ බර්නාදාගේ දූලා ටික ඇඳන් හිටි ලස්සන කළුගවුම් ටිකට. දුකයි ලස්සනයි දෙකම එකට කැටිවුණු ඒ දූලගෙ මූණු. ඒ මැදින් ගලන කළු අන්ධකාරෙ. බර්නාදාගේ කටොර සද්දෙ. කසාද බඳින්න ඕනැය කියලා මගුල් ගවුමක් ඇඳන් ටෙඩියෙකුත් අතේ තියන් රෑට රෑට ගේ මැද්දෙන් ඇවිදින බර්නාදාගේ පිස්සු හැදුණු අම්මා; මාරියා ජොසෙෆා, “බැටලු පැටියා මගේ පුතා” කියල කියන කොටසට. ආදරේ උනන තරුණ හදවත්වලට වැටකඩුලු බැඳලා සංස්කෘතික සීමා පනවලා ඒ ජීවිත නන්නත්තාර කරලා වේදනා විඳින මට්ටමට පත්කරලා, ප්‍රේක්ෂකයගෙ භාව කම්පනය කළ ගාෂියා ලෝකාගෙන් මට වුණු බලපෑම සුලුපටු දෙයක් නෙමේ කියල මං විශ්වාස කරනවා.

ලෝකා තරම් නාට්‍යවලදි භාෂාව තියුණුවත්, කැපෙනසුලු විදියටත්, ඇල්පෙනෙති තුඩක සියුමටත් පාවිච්චි කළ වෙන විදෙස් නාට්‍ය රචකයෙක් මං දන්නෙ නෑ. ලෝකාගේ නාට්‍යයක් කැලණියෙ පෙන්වද්දි වසී වෙලා බලා හිටියෙ මං ඒ වචනවලට නොනවත්වා රිද්දගනිමින්. ඒ චරිත රඟපාන අයට ආදරේ වෙමින්. කොහොමද මනුස්සයෙක් මේවගේ ලියන්නෙ කියල පුදුම වෙමින්. ඒ පුදුම වීම තාමත් අදටත් අවසන් නෑ. මැරෙනකම් ඒ තැනට එන්න බැරිවේවි වෙනත් කිසිම විදෙස් නාට්‍ය රචකයෙකුට.

කොහොමහරි වේදිකා නාට්‍ය බැලුවත් ගාෂියා ලෝකාගේ නාට්‍යවල පිටපත් හොයන්න උත්සාහ කළේ ඊටත් අවුරුදු කීපෙකට පස්සෙ. මීට අවුරුදු තුනකට විතර කලින් බුක්ෆෙයා එකේ බාගෙන් එකේ තිබිලා ලෝකාගේ ‘බ්ලඩ් වෙඩිං’ ඉංග්‍රීසි පිටපත අහුවුණා. දැක්ක විතරයි, මට කරන්ට් වැදුණා වගේ. ඒක කියවන්න ගත්ත ම, බලපු වේදිකා නාට්‍යය මැවිලා පේන්න ගත්තා. පිටපතේ පරිවර්තනය නොකියවා ඉංග්‍රීසි පිටපත කියවීමේ වටිනකම මට සක්සුදක් සේ පැහැදිලි වෙන්න ගත්තා. ලෝකාගෙ බස මසුරං වටින බසක් කියන එක නැවත නැවතත් සනාථ වුණා.

මේ අවුරුද්දෙ පරණ පොත් විකුණන පිටුවක තිබිලා, පෙන්ගුයින් ප්‍රකාශනයක් විදියට පළවුණු ලෝකාගේ නාට්‍යය තුනම තියෙන එක පොතක් හමුවුණා. ඒක වහාම ගෙන්න ගත්තා. මොකද මට ‘යෙර්මා'(සරච්චන්ද්‍ර සහ සුනිල් ආරියරත්න පරිවර්තනය කියවා තිබුණා) සහ ‘බර්නාදාගෙ සිරගෙය’ ඉංග්‍රීසි පිටපත් ම කියවන්න දැඩි ලෝබකමක් ආව නිසා. පොත අරන් කාලයක් වෙලත්, ‘බර්නාදාගේ සිරගෙය’ පිටපත කියවන්න ගත්තෙ ඊයෙ රෑ. ඔලුවට ගන්ටාරෙන් ගැහුව වගේ තාම රැව්දෙනවා.

ගම්බද ගතානුගතික ආකල්පවලින් පීඩිත ස්ත්‍රී ජීවිතත්, ඊට එරෙහි වෙන ස්ත්‍රියක් නගන විරෝධයත්, අවසානේ සිද්ධවන ශෝකාන්තයත් ලෝකාගේ නාට්‍යවල පොදු ලක්ෂණ. ස්ත්‍රී කොලනියක් ඇතුළෙ දුක ම විඳ විඳ ජීවත්වෙන බර්නාදාගේ පවුලෙ දූවරු – මව්වරු කියන වචන පිහි තුඩවල් වගේ කිඳාබහින්නෙ. නාට්‍යයෙ සිද්ධිමාලාව උච්ච්ස්ථාන වෙත ළඟාවෙද්දි එන හැඟීම කියන්න වෙන වචන නෑ මිත්‍රවරුනි, වෙන වචන නෑ. කියන්න දෙයක් තියේ නම්, ඒක කියන්න සුදුසු ම වචනෙ, උපරිම වචනෙ, ඇටමිදුලු රිදුම්දෙන වචනෙ හොයන් අදාළ තැනට ලෙසට ම බස්සන්න ගාෂියා ලෝකාට තිබ්බ හැකියාවට, ලෝකා ළඟපාත හිටිය නම් මං වැළඳගන්න දෙපාරක් හිතන්නෑ. ඒත්, ලෝකා වළදාපු තැනක්වත් හොයාගන්න නෑ.

වචනවලින් රිදෙන තරම දැනගන්න ඕනෙ නම් ගාෂියා ලෝකාගේ කවි නෙමේ නාට්‍ය පිටපත් කියවන්න !

 

Social Sharing
අවකාශය නවතම