අනගාරික ධර්මපාල ලිබරල්වාදී ද?

-පාඨලී චම්පික රණවක-
අනගාරික ධර්මපාලතුමාගේ හා ජේ ආර් ජයවර්ධන මහතාගේ ජන්ම දිනයන් සැප්තැම්බර් 17 ට යෙදී ඇත. ධර්මපාල තුමා උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු බෞද්ධ චින්තකයන් හඳුනාගත්තේ නුතන බෞද්ධ පුනරුදයේ පියා ලෙසය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී සුමංගල ආදි නාහිමිවරුන් සමඟද, වලිසිංහ හරිස්චන්ද්‍රතුමා සමඟද, 19 වැනි සියවසේ අග භාගයේ ඇති වූ බෞද්ධ පුනරුදය එකට ගැට ගැසී ඇත.
ආනන්ද ගුරුගේ මෙන්ම පසුව ආචාර්ය සරත් අමුණුගම ද ධර්මපාල චරිත කතාව විස්තරාත්මකව ලියා ඇත. හාවර්ඩ් හිඟින්ස් හා කිංස්ලි ද සිල්වා විසින් විස්තරාත්මකව ජේ ආර් ජයවර්ධන චරිතාපදානය ලියා ඇත. මේ කෘතීන් කියවීමෙන් පමණක් විසිවෙනි සියවසේ ලාංකීය දේශපාලනයේ සැලකියයුතු කලාපයක් විධිමත්ව හඳුනාගත හැකිය.
1960 ගණන්වල මාර්ටින් වික්‍රමසිංහද, 1980 ගණන්වල ගුණදාස අමරසේකර ද බෞද්ධ ආර්ථික හා සමාජ ක්‍රමයන්, මාක්ස්වාදී සමාජවාදයට ඇති සමාන්තර බව පෙන්වීමට කෘතීන් ගණනාවකින් උත්සාහ කර ඇත. නමුත් බලගතු ලිබරල්වාදී ශාස්ත්‍රීය අධ්‍යයනයක්, ධර්මපාලතුමාගේ බෞද්ධ පුනර්ජීවන ක්‍රියාවලිය හා    ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විවෘත ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව මෙතෙක් මා විසින් කියවා නැත.
බටහිර ලිබරල් වාදී මුල් පදනම වූයේ, සමාජමය ලෙස මානවයා සමානය. ඔහුට සියල්ල දත හැකිය. පුද්ගල නිදහස සියලු නිදහසේ පදනමය යන තර්කයක් මත ය. ලිබරල් වාදය විසින් වැඩවසම් සමාජ බෙදීම් (උස් – පහත්), රාජකීයත්වය ආදිය අභියෝග කළ අතර පුද්ගල කුසලතාවාදය පදනම් කර ගත්තේ ය. ජනතාවගේ ස්වෛරීත්වය, ඡන්ද අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් හා මානව අයිතීනුත්, පසුව එහි ජනප්‍රිය මූලිකාංග විය.
දෙවැනි කාලීන ලිබරල් වාදීන් විසින්, පුද්ගලික දේපල ක්‍රමය පිළිගැනීම විසින් සමාජවාදීන්ගේ විවේචනය ද, නූතන ධනවාදීන්ගේ පිළිගැනීමට ද ලක්විය. නිදහස් වෙළඳපොළ ක්‍රමය එහි ආර්ථික පදනම විය. දෙවනුව රාජ්‍ය හැකිතාක් දුරට හැකිලිය යුතුය යන ලිබරල් වාදීන් දැරූ අදහස විසින් සමාජ ස්ථාවරත්වයට බාධා පැමිණෙන බව ප්‍රකාශ කළ සම්ප්‍රදාය වාදීන්ගේ ද, ජාතික රාජ්‍යක අවශ්‍යතාවය පිළිගත් ජාතිකවාදීන්ගේ ද විවේචනයට ලක් විය.
කෙසේ වෙතත් ලිබරල් වාදය මේ විවේචන හා දේශපාලන බලවේග අතර පරිණාමය වෙමින් ක්‍රමයෙන් සිය චින්තනය තුළට සමාජ සාධාරණත්වය, වෙළෙඳපොළ ඒකාධිකාරය ප්‍රතික්ෂේප කිරීම, සමාජ වෙළඳපොල ක්‍රමයන් පිළිගැනීම හා ජාතික රාජ්‍යයන්ගේ පැවැත්ම පිළිගැනීම ආදී ලෙස පරිණාමනය විය. නමුත් මේ පිළිබඳ වූ ලාංකේය සංවාදයක් ඇති වී නැත්තේ, ලිබරල් වාදය යනු කන, බොන, නිදන තෙරුවන අදහන, බටහිර අධිරාජ්‍යවාදයේ දර්ශනයක් ලෙස බරපතළ ලෙස හංවඩු ගැසී ඇති නිසාය.
සමාජමය ලෙස බෙදී තිබූ බමුණු සමාජයට මිනිසුන් සමානය යන විප්ලවකාරී අදහස බුදු දහමින් ලැබුණු අතර තම විමුක්තිය තමාටම සොයා ගත හැකිය යන චින්තනයත් සමග නිදහස් විවෘත සමාජයකට මාවත විවර කරනු ලැබීය.
ධර්මපාලතුමාට කටයුතු කිරීමට සිදු වූයේ, ‍ බ්‍රිතාන්‍ය කිරීටය විසින් සිංහල බස ද, බෞද්ධ දර්ශනය හා සාසනය ද, පාගා තිබූ පසුබිමකය. එහෙයින්ම එතුමාගේ බස ද, ක්‍රියාකාරීත්වයද බොහෝ සෙයින් රළු වූ අතර අධිරාජ්‍යවාදීන් පමණක් නොව දේශීය ප්‍රභූ පන්තිය ද බිය ගන්වනු ලැබීය. ජපානය මෙන්, බටහිර කර්මාන්ත හා දැනුම ආර්ථිකයේ පදනම කරගත යුතු බවට වූ ධර්මපාල මතයද මුල් යුගයේ සේනානායක වැනි “ගොවිකම” මුල්කරගත් නායකයින්ට වැටහුනේ නැත. වාමාංශිකයන්ගේ ආදර්ශය වූයේ සෝවියට් සමාජවාදයයි.
ජේ ආර් ජයවර්ධන මහතා මුල පටන්ම කාර්මිකකරණයේ අදහස මත සිට ගත්තේය. රාජ්‍ය මුල්කරගත් කර්මාන්ත ගැන ද මුලදී අදහස් පළ කළේ ය. පසුව ආර්ථිකය නිදහස් කළේය. නමුත් දේශපාලනමය ලෙස අධිකාරිවාදී වූ අතර, ලූම්පන් පන්තියක ආර්ථික හා දේශපාලනික නැගීමට, චේතනාන්විතව ඉඩ දුන්නේය. ඒ නිසාම නූතන ධර්මපාල වාදීන්ට ජේ ආර් ගේ ධර්මිෂ්ඨ සමාජය පිළිකුලක් විය.
20 වැනි සියවසේ ලාංකීය දේශපාලනයේ දමිල හා මුස්ලිම් ප්‍රජාවන්ගේ දේශපාලනය බල වාදය අත්හළ විට, ධර්මපාල තුමා, ජේ ආර් ජයවර්ධන හා බණ්ඩාරනායක යන චරිත අර්ධ ලිබරල්වාදීන් ලෙස දාර්ශනිකව ඇතමෙකුට පෙන්නා දිය හැක.
වත්මන් ආර්ථික බංකොලොත්භාවය ජය ගැනීමට ලිබරල්වාදී උපක්‍රමවලට හැකිද යන්න ඉදිරි මාස කීපය තුළ තීරණය වනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිබරල් උපක්‍රම සාර්ථක නොවුන හොත්, සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන දැන්ම සංවාදයක් ඇති කරගත යුතුය. නොඑසේනම් මනෝරාජික ජනකාන්තවාදීන්ට රට ගොදුරු වී කබලෙන් ලිපට වැටීමට රටට සිදු වනු ඇත.

 

Social Sharing
නවතම විශේෂාංග