IMF වැඩසටහන ගැන…!

කලින් ලිපියක විස්තීර්ණ ණය පහසුකම ගැන විස්තර කළා. මේ ලිපිය IMF වැඩසටහන ගැන. IMF වැඩසටහන කියා කිවුවට ලංකාව සහ IMF එක එකඟ වී තිබෙන වැඩසටහන ගැන මම දන්නේ නැහැ. ලිපිය ලියන්නේ එවැනි වැඩ සටහනක් කියන්නේ මොන වගේ එකක්ද කියන එක ගැන.
ඉතා කෙටියෙන් කිවුවොත් IMF වැඩසටහනක් කියා කියන්නේ ඉදිරි වසර දහයක පමණ කාලය සඳහා හදන සාර්ව ආර්ථික සැලසුමක්. එයින් මුල් වසර හතරක පමණ කාලයට වැඩි අවධානයක් ලැබෙනවා.

IMF වැඩසටහනක හිටියත් නැතත් ඕනෑම රටක් මේ වගේ සැලසුම් හදනවා. හැම වසරකම ඒ සැලසුම් යාවත්කාලීන කරනවා. IMF වැඩසටහනක් මෙවැනි සාමාන්‍ය වැඩ සටහනකින් වෙනස් වෙන්නේ කරුණු දෙකක් නිසා. පළමුවැන්න මේ කාලය තුළ IMF එකෙන් ණය මුදලක් ලැබීම. දෙවැන්න අදාළ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ සමඟ IMF එක එකඟ වීම. ඔය කරුණු දෙක හැරුණු විට මෙතැන තියෙන්නේ රටක් කොහොමටත් කරන දෙයක්.

සාර්ව ආර්ථික සැලසුමක් කියා කියන්නේ කුමක්ද?

කිසියම් රටක ප්‍රධාන සාර්ව ආර්ථික විචල්‍යයන් ගණනාවක් තියෙනවනේ. උදාහරණ විදිහට දළ ජාතික නිෂ්පාදිතය, විරැකියා අනුපාතය, උද්ධමනය, විණිමය අනුපාතය, ආනයන, අපනයන, ශ්‍රමික ප්‍රේෂණ වගේ ජංගම ගිණුමට එන යන විදේශ විණිමය ප්‍රවාහ, ඒ විදිහටම ප්‍රාග්ධන ගිණුමට යන එන විදේශ විණිමය ප්‍රවාහ, මුදල් සැපයුම, පොලී අනුපාතික, දේශීය ඉතිරි කිරීම්, රාජ්‍ය ආදායම්, රාජ්‍ය වියදම්, දේශීය හා විදේශීය රාජ්‍ය ණය, පෞද්ගලික අංශයේ ණය ආදිය. ලැයිස්තුව තව දිගයි.

පෙර වසරක ඔය වගේ සාර්ව ආර්ථික විචල්‍යයන් හැසිරුණු ආකාරය පිළිබඳ සංඛ්‍යාලේඛණ හදන එක සාපේක්ෂව ගොඩක්ම අමාරු වැඩක් නෙමෙයි. නමුත්, මේ විචල්‍යයන් අනාගතයේ හැසිරෙනු ඇති ආකාරය පුරෝකථනය කරන එක ඉතාම අසීරු වැඩක්. සාර්ව-ආර්ථික සැලසුමක පළමු පියවර ඉදිරි වසර ගණනාවක් සඳහා හැකි තරම් නිවැරදි පුරෝකථනයක් හදන එක.

මේ විදිහට හදන පුරෝකථනයන් හරියටම හරි කියලා කාටවත් සහතික වෙන්න බැහැ. නමුත්, වැරදියි කියලා නිගමනය කරන එක ඊට වඩා පහසුයි. මොකද මේ එක් එක් විචල්‍යය අතර තිබිය යුතු සංකීර්ණ සම්බන්ධතා ඒ විදිහට පේන්න නැත්නම් පුරෝකථන වැරදි බව ඉතාම පැහැදිලියි.

– මුදල් සැපයුම වැඩි කළාම ඉදිරි වසර වලදී උද්ධමනය ඉහළ යනවා

– පොලී අනුපාතික වැඩි කළාම ආර්ථික වර්ධනය අඩු වෙනවා

– ආර්ථික වර්ධනය අඩු වුණාම විරැකියා අනුපාතය ඉහළ යනවා

– ආර්ථික වර්ධනය අඩු වුණාම රාජ්‍ය ආදායම් අඩු වෙනවා

– උද්ධමනය වැඩි වෙද්දී (යම් මට්ටමක් දක්වා) රාජ්‍ය ආදායම් වැඩි වෙනවා

– විණිමය අනුපාතය වෙනස් වෙද්දී ආනයන අපනයන වෙනස් වෙනවා

ඔය වගේ සාමාන්‍යයෙන් “විය යුතු” දේවල් ගණනාවක් තිබෙනවා. මූලික පුරෝකථන නිවැරදිනම් එම පුරෝකථන වලින් මේ විය යුතු දේවල් නිරූපණය වෙන්න ඕනෑ. සාර්ව ආර්ථික වැඩ සටහනක් හදන එකේ පළමු පියවර දැනට තිබෙන තත්ත්වයන් මත පදනම්ව නිවැරදි කෙසේ වුවත් වැරදි පැහැදිලිව පේන්න නැති අනාගත පුරෝකථනයක් හදා ගන්න එකයි. සාර්ව ආර්ථික විචල්‍යයන් අතර සම්බන්ධතා වල තිබෙන සංකීර්ණ ස්වභාවය නිසා මෙය ලේසි වැඩක් නෙමෙයි. IMF වැඩ සටහනක් හදද්දී IMF එකේ නිලධාරීන් විසින්ද මෙවැනි මූලික පුරෝකථන (baseline predictions) පරීක්ෂා කරලා වැරදි පෙනෙන්න ඇත්නම් නිවැරදි කරනවා.

ඊට පස්සේ දෙවන පියවර. ඒ කියන්නේ අනාගතයේ වෙන්න තිබෙන දේවල් සැලසුම් සහගත ලෙස වෙනස් කරන එක. හැබැයි මේ විදිහට වෙනස් කරන්න පුළුවන් විචල්‍ය තිබෙන්නේ සීමිත ප්‍රමාණයක් පමණයි.

රජයට පුළුවන් රාජ්‍ය ආදායම් (බදු) හා රාජ්‍ය වියදම් වෙනස් කරන්න. ඒ වගේම අයවැය හිඟයක් ඇති විට ණය ගන්නේ කාගෙන්ද කියන එක තීරණය කරන්න. මේවා වැටෙන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යටතට. අනෙක් පැත්තෙන් මහ බැංකුවට පුළුවන් මුදල් හා විණිමය ප්‍රතිපත්ති තීරණය කරන්න. ඒ කියන්නේ පොලී අනුපාතික, මුදල් සැපයුම, විණිමය අනුපාතය වගේ දේවල් පාලනය කරන්න.

ඔය වගේ වෙනසක් කළ ගමන් ඉදිරි කාලය හා අදාළ අනෙක් හැම විචල්‍යයක්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වූ අනාගත තත්ත්වය පවතින තත්ත්වය සේ සලකලා ලබන වසර තුළ ගන්න අදහස් කරන මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනත් දැන්ම නිගමනයයකට එන්න පුළුවන්. ඔය ක්‍රමයට ඉදිරි වසර ගණනාවක කාලය තුළ ආර්ථිකය ස්ථාවර කරන ආකාරය සැලසුම් කරන්න පුළුවන්.

පවතින තත්ත්වයන් යටතේ අනාගත පුරෝකථන සියල්ල හරියටම හරි වුනත් විචල්‍යයන්ගේ ඇත්ත හැසිරීම ඒ විදිහටම සිදු වෙන්නේ නැහැ. ඒ, මේ විචල්‍යයන්ගේ හැසිරීම තීරණය කරන්නේ රජය හා මහ බැංකුව විසින් පමණක් නොවන නිසා. රටේ අනෙකුත් අය කරන හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් මේ විචල්‍යයන්ට බලපෑමක් කරනවා. රටෙන් පිට සිදුවන දේවල් ඊට වඩා බලපෑම් කරනවා. රට ඇතුළේ හා රටින් පිට සිදුවන ස්වභාවික වෙනස්කම් වලිනුත් බලපෑම් සිදු වෙනවා. ඒ වගේ දේවල් රජයට හෝ මහ බැංකුවට වෙනස් කරන්න බැහැ. කළ හැක්කේ ඒ වගේ හේතු නිසා සාර්ව ආර්ථික විචල්‍යයන් සැලසුමෙන් පිට යද්දී මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති මගින්ම එම බලපෑම් නිශේධනය කරමින් කලින් සැලසුම් කළ ගතික සමතුලිතතාවය පවත්වාගෙන යාම පමණයි.

මේ දෙක ගත්තත්, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති මුදල් ප්‍රතිපත්ති තරම්ම නම්‍යශීලී නැහැ. මුදල් ප්‍රතිපත්ති දිනපතා වුනත් සුළුවෙන් හෝ වෙනස් කරන්න පුළුවන්. නමුත් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති අඩු වශයෙන් වසරක කාලයක් සඳහා සැලසුම් කෙරෙනවා. ඒ නිසා, සාර්ව ආර්ථික සැලසුමක් සකස් කරද්දී මුදල් හා විණිමය ප්‍රතිපත්ති සැලසුම් කරන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් කළාට පසුවයි. පවතින අනෙකුත් තත්ත්වයන් එසේම පවතිනු ඇතැයි යන පදනම මත මුලින්ම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් කරනවා. ඊට පස්සේ එම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිද පවතින තත්ත්වය ලෙස සලකා මුදල් හා විණිමය ප්‍රතිපත්ති තීරණය කරනවා.

සැලසුම හැදුවට පස්සේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය පොඩ්ඩක් සැලසුමෙන් පිට පැන්නොත් හරි අනෙකුත් තත්ත්වයන් පොඩ්ඩක් වෙනස් වුනොත් හරි මුදල් ප්‍රතිපත්තිය සීරුමාරු කරලා නැවත සැලසුම ඇතුළට එන්න පුළුවන්. හැබැයි ලොකු වෙනසක් වුනොත් මේ වැඩේ කරන්න අමාරුයි.

සාමාන්‍යයෙන් රටකට IMF එකේ උදවු ගන්න වෙන්නේ මහ බැංකුවට පමණක් තනියම ගොඩ දාන්න බැරි තරමට රටේ ආර්ථිකය අස්ථාවර වුනහමයි. එහෙම වෙන්න පුළුවන් හේතු දෙකක් තිබෙනවා. එකක් අනපේක්ෂිත ස්වභාවික හෝ බාහිර කම්පනයක් ආ විට. වසංගතයක්, ස්වභාවික ආපදාවක්, ජාත්‍යන්තරව සිදු වන තෙල් මිල වැඩි වීම වැනි දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ කම්පනයක බලපෑම ස්වභාවයෙන්ම තාවකාලිකයි. ඒ නිසා, IMF එකෙන් මේ වගේ හදිසි අවස්ථාවක දෙන ණයක් ඉතා පහසුවෙන්ම පසුව ආපසු ගෙවන්න පුළුවන්.

දෙවන හේතුව රටේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය පිටපොට පැනීම. පොඩි වෙනසක් මහ බැංකුවට කළමනාකරණය කරගත හැකි වුවත් ලොකු වෙනසක් කළමනාකරණය කරගන්න බැහැ. ඒ වගේම, බොහෝ විට මේ වගේ පිටපොට පැනීම් අහම්බයන් නෙමෙයි. සැලසුම්සහගත ලෙස රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය නිවැරදි කර නොගත්තොත් ආර්ථිකය ස්ථාවර කරන්න බැහැ.

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය අවුල් කරගන්නවා වගේම මහ බැංකුව විසින් මුදල් හා විණිමය ප්‍රතිපත්ති අවුල් කරගෙන වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඔය දෙවැන්න වෙන්නේ පළමුවැන්න වුනාට පස්සේ. ඒ වගේ වෙලාවක රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය වගේම මුදල් හා විණිමය ප්‍රතිපත්තිත් නිවැරදි කර ගන්න වෙනවා. එහෙම නැතුව ආර්ථිකය ස්ථාවර කර ගන්න බැහැ. ඒ විතරකුත් මදි. ඒ ප්‍රතිපත්ති වසර ගණනාවක් එක දිගට පවත්වාගෙන නොගියොත් ආර්ථිකය නැවත හරි පාරට වැටෙන්නේ නැහැ.

ඔය වගේ වෙලාවක IMF එක විසින් ණයක් දෙන විට තත්ත්වය ස්වභාවික හෝ බාහිර කම්පනයක් නිසා ආර්ථිකය අස්ථාවර වීමකදී තත්ත්වයට වඩා වෙනස්. ණය දුන්නා කියලා ආර්ථිකය ඉබේටම ස්ථාවර වෙන්නේ නැහැ. රටේ බලධාරීන් විසින් සක්‍රිය ලෙස මැදිහත් වී ආර්ථිකය ස්ථාවර කර ගත යුතුයි. එහෙම නැත්නම් දුන්න ණය ආපසු ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා, මේ පළමුව මේ වැඩේ කරන විදිහ IMF එකට පෙන්වන්න ඕනෑ. ඒ වැඩ පිළිවෙළ එක්ක IMF එක එකඟ වෙන්න ඕනෑ. ඉන් පසුව, ඒ වැඩ පිළිවෙළ වෙනස් නොකර ක්‍රියාත්මක කරන බවට IMF එකත් එක්ක ගිවිසුම්ගත වෙන්න ඕනෑ.

සාමාන්‍ය තත්ත්වය ඕක. රටේ රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති නිවැරදි කරගත් විට වසර තුන හතරකින් ආර්ථිකය ස්ථාවර කර ගන්න පුළුවන්. ඒ විදිහට ආර්ථිකය ස්ථාවර වන තුරු ඇදගන්න තමයි IMF ණය දෙන්නේ.

හැබැයි දැන් ලංකාවේ තත්ත්වය මේ සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. රටේ රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති නිවැරදි කරගෙන IMF ණය ගත්තත් රටේ ආර්ථිකය ස්ථාවර කරන්න බැහැ. ඒක කරන්නනම් අනිවාර්යයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නම වෙනවා.

මේ වෙද්දී වසර හතරක කාලයක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර කළ හැකි වැඩ පිළිවෙළක් හදා තියෙනවා. එයට IMF එකේ නිලධාරී මට්ටමේ අනුමැතියද ලැබී තිබෙනවා. වැඩසටහන ගැන ඊට වඩා වැඩි විස්තර කිසිවක් මම දන්නේ නැහැ. හැබැයි එක දෙයක් ස්ථිරවම කියන්න පුළුවන්. මෙවැනි වැඩ සටහනක් හැදිය හැක්කේ ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන උපකල්පනයක් කිරීමෙන් පසුව පමණයි. ඒ කියන්නේ ණය වලින් කොපමණක් කපා හරිනවාද, ඉතිරි කොටස ගෙවන්නේ කවදාද වැනි දේවල් “පවතින තත්ත්වය” ලෙස සලකලා පමණයි.

මේක සාමාන්‍ය IMF වැඩ සටහනකදී මුහුණ දෙන්න සිදු නොවෙන සංකීර්ණ තත්ත්වයක්. ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය හරියටම තීරණය වෙන්නේ ණයහිමියන් එක්ක කතා කරලා එකඟතාවයකට ආවට පස්සේ. නමුත්, ණයහිමියන් එක්ක සාකච්ඡාවක් පටන් ගන්න කලින් ඔවුන්ට පෙන්වීම සඳහා ස්ථායීකරණ වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. ස්ථායීකරණ වැඩපිළිවෙළක් හැදිය හැක්කේ ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන උපකල්පනයක් කිරීමෙන් පසුව පමණයි. සාකච්ඡාවෙන් පසුව ඇතිවන එකඟතාවය ඒ උපකල්පන වලට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ හදපු, එකඟ වුනු IMF වැඩසටහන බොහෝ විට නැවත සංශෝධනය කරන්න වෙනවා කියන එකයි.

මීට පෙර අවස්ථා වල IMF වැඩසටහන් කලින් ප්‍රසිද්ධ කළාද කියලා මම දන්නේ නැහැ. බොහෝ විට එවැන්නක් සිදු වී නැතුව ඇති. රටටම බලපාන මේ වගේ දෙයක් පාරදෘශ්‍ය ලෙස කරන එක හොඳයි කියා තර්ක කරන්නත් පුළුවන්. නමුත්, වෙනදා කෙසේ වෙතත් මේ පාරනම් මේ වැඩසටහන ප්‍රසිද්ධ කරන එක කොහොමටවත්ම කරන්න බැහැ. ඒ ඇයි?

අපි හිතමු වැඩ සටහන හදලා තියෙන්නේ 20%ක ණය කපා හැරීමක් කළ හැකියි කියලා උපකල්පනය කරලා කියලා. ඕක කරන්නනම් ණයහිමියන්ගෙන් ඊට වැඩි ණය කපා හැරීමක් (30%ක් කියමු) ඉල්ලන්න වෙනවා. අන්තිමට 20%කට කැමති කරගන්න පුළුවන් වෙන්නේ 30%කින්වත් පටන් ගත්තොත් පමණයි. දැන් අපි හිතමු 20%ක ණය කපා හැරීමක් භාර ගන්න ලංකාව සූදානම් කියන එක ප්‍රසිද්ධ වුනා කියලා. ඊට පස්සේ ණයකාරයෝ 20%ට කැමති වෙයිද? මේක උදාහරණයක් පමණයි. ඔය සංඛ්‍යා පස්සේ පන්නන්න එපා.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු අයවැය IMF වැඩසටහනේම කොටසක් කියන එක කාට වුනත් පැහැදිලියිනේ. කෙටියෙන් කිවුවොත්, මේ අයවැයෙන් කරන්නේ ණය වෙලා සහන දෙන එක. බදු ආදායම් ටිකක් වැඩි කරගෙන වුනත් වියදම් ඊටත් වඩා වැඩි වෙනවා. කියන විදිහට බැංකු අංශයෙන් ණය ගන්න සූදානමක් නැහැ. ඒ කියන්නේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට හා බැංකු නොවන ව්‍යාපාරිකයන්ට විශාල ලෙස භාණ්ඩාගාර බිල්පත් විකුණන්න වෙනවා. මේ වැඩේ කරන්න පුළුවන් වෙයිද?

ස්ථායීකරන වැඩපිළිවෙළ අනුව දේශීය ණයද ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බවට රාවයක් පැතිරී තිබෙනවා. මේ කතාවේ ඇත්තක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. කතාව ඇත්තනම් එයින් කියැවෙන්නේ භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමන එකේත් අවදානමක් තියෙනවා කියන එකයි. කතාව ඇත්ත වුනත් බොරු වුනත් මේ කතාව නිසා දැනටමත් විශාල බලපෑමක් වී තිබෙන බව පේනවා.

අද වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 75ක බිල්පත් ප්‍රමාණයෙන් විකුණා තිබෙන්නේ රුපියල් බිලියන 10.27ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. එය හොඳ ලකුණක් නෙමෙයි.

– ඉකොනොමැට්ටා –

Social Sharing
ආර්ථික නවතම