– පුෂ්පා වීරසේකර –
පළාත් පාලනයේ කාන්තා කෝටාව මුලින්ම සියයට 16 දක්වා අඩුකර පසුව එය ඉවත් කිරීමේ ප්‍රයත්නයක් ක්‍රියාත්මක බවට පළාත් පාලන නියෝජිතවරියෝ චෝදනා කරති. වර්ෂ 2018ට පෙර සිටි 4445ක් වු පළාත් පාලන සභික ප්‍රමාණය කාන්තා කෝටාව නිසා 8719ක් දක්වා වැඩිවීමෙන් රජයට විශාල වැය බරක් දරන්නට සිදුව ඇතැයි කියමින් මෙම කප්පාදුව සිදු කරන්නට අර අදින බවට ඔවුහු පවසති.
දැනට ඇති 25% කාන්තා කෝටාව කප්පාදුවට එරෙහිව එම මන්ත්‍රීවරියන් හා කාන්තා සංවිධාන මෙන්ම පාර්ලිමේන්තු නියෝජිතවරියන්ගේ සංසඳය ද මැතිවරණ නීතිරීති සඳහා වන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවටද පැමිණිලි කර තිබේ. එක්සත් ජාතීන්ගේ නිර්දේශ මත වෙනස්කොට නොසැලකීමේ නිර්ණායකය මත කාන්තාවන්ට ලබාදුන් කෝටා ක්‍රමය අදූරදර්ශී දේශපාලන චින්තනයන් හමුවේ වළපල්ලට යැවිය හැකිද?
මේ ඒ සම්බන්ධව විමසා බැලීමකි.
කාන්තාවන්ගේ ප්‍රාදේශීය දේශපාලනය
සර්වජන ඡන්ද බලය හිමිකරගත් දකුණු ආසියාවේ පළමු රට ලෙසත්, ආසියාවේ පැරැණි, සාඩම්බරකාරි ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස උදම් ඇනු ශ්‍රි ලංකාවේ පළාත් පාලනයේ කාන්තා නියෝජනය 2018 ට පෙර තත්ත්වය මෙසේය. ඒ 1991දි කාන්තා සභිකයන් 54ක්ද (1.76%), 1997දි 73 ක්(1.96%), 2006දී 74ක්(1.87%), හා 2011 දි 90 ක්( 1.9% ) ආදි වශයෙනි.
දකුණු ආසියානු කලාපයේ වෙනත් රටවලට සාපේක්ෂව එය දුර්වල අගයක් මෙන්ම පහළම තැනක් කාන්තාවන්ට දුන් රටද විය. ඉන්දියාවේ 33% ක්ද නේපාලය, භූතානය, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය වැනි රටවල්ද සියයට 30 ඉක්මවු නියෝජනයක් පළාත් පාලනයේදි කාන්තාවන්ට ලබා දී තිබේ. මේ හැර ලොව සංවර්ධනය වෙමින් පවතින හා දිළිඳු රටවල්වල කාන්තා නියෝජනය අප රටට වඩා ස්ථාවරව හා දියුණු මට්ටමක පවතී. ඒ සඳහා උදාහරණ රැසකි. එම රටවල් කාන්තාවන්ට වෙනස්කොට නොසැළකීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් කළ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියමයන් නිර්දේශයන් පරිදි සියයට 30 සීමාවේ හෝ එය ඉක්මවා කාන්තා නියෝජනය ස්ථාපිත කර තිබුණේ ලංකාවට වඩා බොහෝ කාලයකට පෙරය.
2011 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවෙහිද (A/RES/66/130) කාන්තා සහභාගීත්වයේ පවතින වැදගත්කම අවධාරණය කරනු ලබයි. එයින් දේශපාලනයේ කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍යයන්ට ඉල්ලීම් කර ඇත. එය ලංකාවටද අදාළය. ඒවා නොසළකා හැර කප්පාදු කිරීම තවත් අර්බුදයකට මඟපාදා ගැනීමකි. කප්පාදුව ක්‍රියාත්මක වුවහොත් වැඩිපුරම හානි සිදුවන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ය.
නියෝජනයේ ඉතිහාසය
පුරුෂ මූලික චින්තනයන්ගේ ගැටීම් හේතූවෙන් ලංකාවේ කාන්තා සමාජයේ මෙන්ම පිරිමි සමාජයේද මතවාදීමය හැල හැප්පිලි මැද කාන්තා නියෝජනය වැඩිකරලීමේ අරගලයන් දශක දෙකක් තිස්සේම පැවතින. රටේ ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා දේශපාලන පක්ෂ හා නායකයන් රටේ ජනගහනයෙන් 52% ඉක්මවු කාන්තාවන්ට සමස්ත ලංකාවේම පළාත් පාලනයේ නියෝජනය දුන්නේ සියයට දෙකකටත් අඩු ගණනකිනි. ඇතැම් පළාත් පාලන ආයතනයන්හි එකදු අසුනක්වත් කාන්තාවන්ට නොතිබුණි. ඇතැම් දිස්ත්‍රික් මට්ටමින්ද එය දුර්වල වූ අගයන් පෙන්වීය. විශේෂයෙන් ආගමික හා සංස්කෘතිමය බාධා නිසා දෙමළ හා මුස්ලිම් ජනකොටස් වැඩි දිස්ත්‍රික්කවල කාන්තා නියෝජනය බෙහෙවින් අඩුව තිබුණී.
සියයට 25ක කෝටාවකින් අරගලයන් සමථයට පියවර
අපේ රටද කාන්තාවන්ට එරෙහි වූ සියලූම වෙනස්කම් දුරලීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියටද අත්සන් තැබූ රටකි. කාන්තාවන්ගේ සමාන දේශපාලන අයිතිය හා නියෝජනය තහවුරු කිරීමට අදාළව කාන්තා නියෝජනය වැඩිකරවීම සම්බන්ධව කාන්තා සංවිධාන, සිවිල් සංවිධානයන් හා දෙස් විදෙස් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන කාලාන්තරයක් තිස්සේ කළ අරගලයන් හා බලපෑම් යහපාලන රජය සමයේ උග්‍රවීම නිසා එම රජයට ඇස්කන් වසා සිටින්නට නොහැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පණත ගෙනෙන ලදි. වසර කිහිපයක් තිස්සේම නව යෝජනා කරමින්, කල්දමමින් තිබූ පළාත් පාලන ඡන්දය2018 පෙබරවාරියේදි පැවැත්වින. ඒ කාන්තාවන්ගේ නියෝජනය 25%ක් වියයුතු බවට වූ අනිවාර්ය කිරීම ක්‍රියාවට නැංවු පළමු මැතිවරණය හා සංශෝධිත නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ පැවැති පළමු මැතිවරණය ලෙසිනි.
එහිදි පත්වූ සභිකයන් 8719 ක් අතරින් කාන්තාවෝ 2006ක් සිටියහ. ඒ තරග කර 536ක් හා ලැයිස්තු ක්‍රමයෙන් 1471 වශයෙනි. එය 24% ප්‍රතිශතයකි. එය කලින් වසරවලට වඩා බෙහෙවින් සාධනීය තත්ත්වයක් වු බව ද කියැවිනි. පළාත් පාලන ආයතන දෙකකට පමණක් කිසිදු සභිකාවක් පත් නොවිනි. ඒ අම්පාර, කාර්තිව් ප්‍රාදේශීය සභාවට හා මඩකලපුව කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවටත්ය. පළාත් පාලන ආයතන 16ක පමණ 25% නියෝජනය දක්නට නොලැබිණි. ඒ හැර අන් සියලු පළාත් පාලන ආයතනයන් වෙත එක් සභාවකින් අවම ලෙස සභිකාවියන් තිදෙනෙකුවත් පත්වී තිබේ. ඔවුන් මේ වනවිට සභාවන් හරහා ගම්වලට සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් සිටී. ලබන වසරේ පැවැත්වීමට නියමික පළාත් පාලන ඡන්දයෙන් නැවත වැඩි පිරිසක් පත්වීම වළකාලන්නට රජය කැසකවමින් සිටින බව මෑතක සිට ඔවුන්ගෙන් චෝදනා කෙරිනි.
මෙම කාන්තා කෝටාව අඩු කිරීමට යන වෑයමට කාන්තා සංවිධාන හා පළාත් පාලන නියෝජිතවරියෝ දැඩි විරෝධයක් දක්වති. මේ ඔවුන් අතරින් කුලකයක හඬකි.
කුරුණෑගල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රිවරියන්ගේ සංසඳයේ සභාපතිනිය වූ කුරුණෑගල මහනගර සභාවේ අරුණි මහේෂිකා (පො.ජ.පෙ.) 2009 සිට කාන්තා සංවිධාන හා කාන්තා නියෝජනයට හඩ නගන ආයතන හා එක්ව ප්‍රාදේශීය දේශපාලනයේ නිරතව සිටින්නියකි. ඇය පවසන පරිදි දේශපාලනයේදි කාන්තාවගේ සමාන අයිතිය යනු ප්‍රතිශතයක්ම නොව රටේ අනාගතයේ මෙන්ම වර්තමානයටද දැඩි බලපෑම් එල්ල කළ හැක්කකි.
‘‘අපිට මෙයට මාස කිහිපයකට පෙර දැන ගන්න ලැබුණා රජයෙන් කාන්තා කෝටාව අඩු කරන්න යන බව. එනිසා අපි ස්ත්‍රී සම්පත් මධ්‍යස්ථානය හා එක්ව දිස්ත්‍රික්කයේ සභිකාවියන් හරහා අපේ කෝටාව සියයට 50 දක්වා වැඩි කරන්න කියන යෝජනාවට මුල් තැනක් දෙමින්, දැනට සිටින මන්ත්‍රීවරියන්ගේ වැදගත්කම ජනතාව දකින ආකාරය ගැන අදහස්, යෝජනා හා 15000කගේන් යුතු අත්සන් ලේඛනයක් ගෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සභිකයන්ව මුණ ගැසුණා. ඇත්තෙන්ම මේ අත්සන් ලේඛනය අපි හදිසියේ ගත් එකක් නිසා වැඩි පිරිසක් අතරට ගියේ නැහැ. එහි විශේෂත්වය පිරිමි සභිකයන්ගේ වැඩි දායකත්වයයි.
දිස්ත්‍රික් මන්ත්‍රිවරියන්ගේ සංසඳයේ ලේකම් අනෝමා මන්ත්‍රීතුමිය (කුරුණෑගල ප්‍රා.ස.) සමග මම දිස්ත්‍රික්ක හතරක නියෝජිතවරියන් වෙනුවෙන් තේරීම් කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කළා. ඔවුන් අපෙන් ප්‍රශ්න කළා. මන්ත්‍රීවරියන් ලෙස අපි කළ සේවාවන් වගේම, සභාවලින් පවතින ඉල්ලුම ගැන විමසුවා. අනිකුත් දිස්ත්‍රික්කවලිනුත් මන්ත්‍රීවරියන් මෙන්ම සිවිල් සංවිධානත් ඇවිත් හිටියා.
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමිය හා දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා ඇතුළු පිරිසක් එහිදි අපේ යෝජනාවන් ඇසුවා. ඔවුන් කාන්තා කෝටාවේ වැදගත්කම තේරුම් ගත්තා යැයි සිතනවා. අපි හැමෝම පොදුවේ ඉල්ලුවේ මෙය පාර්ලිමේන්තුව දක්වා ව්‍යාප්ත කරන්න කියා. තීන්දු තීරණ ගන්නා පාර්ලිමේන්තුවේ දැනට කාන්තා නියෝජනය සියයට 6ක්වත් නැහැ. 12 දෙනයි ඉන්නේ. එහිත් 25% කාන්තා කෝටාව ක්‍රියාත්මක වියයුතුයි. එහෙම හිටියානම් රටේ මේ වත්මනේ ඇතිවෙලා තියෙන ව්‍යසනයන් බොහෝ දුරට මඟ හරවා ගන්න තිබුණා.
මන්ත්‍රිවරියන්ට මිනිසුන්ගේ දුක කඳුළ තේරුම් ගැනීමේ හැකියාව හා සංවේදීතාව වැඩියි. ඒ වගේම හොර, මැර වැඩ, වංචාව නැහැ. සංවර්ධන කටයුතුවලදී පවා අතයට ගණුදෙනු නැතිව, වැඩ කරන නිසා නැවත පත්වීමට පවා ඉල්ලීම් ලැබෙනවා.
දිස්ත්‍රික්කයේ පළමු දෙමළ මන්ත්‍රීවරිය
කුරුණෑගල මහ නගර සභාවේ පළමු දෙමළ මන්ත්‍රීවරිය මෙන්ම දිස්ත්‍රික්කයෙන් පත්වූ එකම දෙමළ මන්ත්‍රීවරියද වන මුත්තයියා සෙල්වනායගි (එජාප) රාජ්‍ය භාෂා උපදේශිකාවක මෙන්ම, කුරුණෑගල, හින්දු දෙමළ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියයි. දෙමළ කාන්තාවගේ පළාත් පාලන දේශපාලන භාවිතය හා යොමුවීම පිළිබඳව ඇය දැන් යම් සාධනීය මට්ටමක සිටින්නියකි.
දෙමළ කාන්තාවගේ දේශපාලන ප්‍රවිෂ්ඨය තව දුරටත් වර්ධනය විය යුතු බව ඇගේ මතයයි. ඒ ගැන අප කළ විමසීමේදි ඇය මෙසේ කීවාය.
“දෙමළ සංස්කෘතිය තුළ කාන්තාව දේශපාලනයේ නිරත වන්නේ කලාතුරකින්. ඇය දේශපාලනයට එනවාට පවුලේ අය එරෙහි වෙන්න පුළුවන්. අපේ සංස්කෘතිය තුළ එවන් ඉඩහසර නැහැ. ඇය පවුලේ අනාගතය වෙනුවෙන් කැපවෙලා ඉන්නේ. සංවිධායකතුමා මට ආරාධනා කළාම මමත් මුලදි ප්‍රතික්ෂේප කළා. පසුව පවුලේ අය වගේම ගමේ අයත් මට ඉදිරිපත් වෙන්න කළ ඉල්ලීම නිසා මම මැතිවරණයට ආවේ.
සියයට 25 කෝටාව නිසයි මම මෙතන ඉන්නේ. නැත්නම් මම ඉදිරිපත් වන්නේත් නැහැ. කොට්ඨාශය දිනු නිසා පක්ෂයට ලැබු එකම බෝනස් එක මටයි ලැබුණේ. කාන්තා කෝටාව අඩු කරවීමේ යෝජනාව සතුටුදායක නෑ. එය 50% දක්වා වැඩිවිය යුතුයි. කාන්තාවගේ සක්‍රීය දායකත්වය හැම අංශයකම පැතිරිලා. එයට සමාන තත්ත්වයක් දේශපාලනයේදිත් හිමිවිය යුතුයි. ජනගහනය අතිනුත් පිරිමින් ඉක්මවා කාන්තාව වැඩියෙන් ඉන්න කොට ඇයට දේශපාලනයේදි අඩු අයිතියක් ඇයි?.
ඉදිරියේදි දෙමළ කාන්තාව ප්‍රාදේශිය දේශපාලනයට වැඩි වශයෙන් යොමු විය යුතුයි. ඔවුන්ගේ දේශපාලන දැනුම වර්ධනය කරන්න ඕනා. පරණ තාලේට ගෙටම හිරවෙලා සිටිය යුතු නැහැ. ඇයව දේශපාලනයේ ගෙන ඒමේ දැඩි උවමනාවක් මටත් තියෙනවා. මමත් මේකට ආවට පස්සේ දැක්කේ මෙහි තියෙන වැදගත්කම. වැඩ කරන්න තියෙන අවකාශය හා කාන්තාවට තියෙන ගරුත්වය විශාලයි. දුරින් ඉදලා අනාවැකි කියලා දේශපාලනයෙන් දුරස්ව සිටීම නුවණට හුරු නැහැ. අපේ සමාජයට වැඩ කරගන්න පුලුවන් දේශපාලනයට දෙමළ කාන්තාව ආවොත්.
මුස්ලිම් සමාජයේද කාන්තාවන් දේශපාලනයේ යෙදීම දෙමළ සමාජයට සාපේක්ෂව අඩු අගයක් ගනී. එය ප්‍රාදේශියව මෙන්ම ජාතිකවද එක හා සමානය. ජාතික දේශපාලනයේ සිටින මුස්ලිම් මෙන්ම දෙමළ මන්ත්‍රීවරියන්ද පවුල් පසුබිම හෝ සැමියාගේ වියෝවෙන් දේශපාලනයට සක්‍රීයව සම්බන්ධ වූවා හැර වෙනත් පසුබිමකින් පැමිණි අය නොවේ. සංස්කෘතිමය හා ආගමික කාරණා නිසා මුස්ලිම් කාන්තාවන්ද දෙමළ කාන්තාව මෙන්ම දේශපාලනයෙන් දුරස්ව සිටී. කුටුම්භය කේන්ද්‍ර කරගත් පරිසරයක මුස්ලිම් කාන්තාවගේ දේශපාලන ප්‍රවිෂ්ඨය සුවිශේෂිය. මේ එවන් සුවිශේෂී තැනැත්තියක් ගැනය.
නජිලා සෙයියාද් අහමඩ්ය(ශ්‍රීලනීප) යනු පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභිකාවකි. ඇය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු මෙන්ම එකම මුස්ලිම් මන්ත්‍රීවරියද වන්නීය. ඇගේ පියාගේ පාර්ශවයේ වැඩි පිරිසක් පළාත් පාලන සභිකයෝය. ඒ නිසාම විවාහයට පෙර සිටම සමාජ සේවාවල හා රාජ්‍ය නොවන සංවිධානවලින් ලද සාමාජීය ශක්තිය නිසා ඇයට පක්ෂයෙන් ලද ආරාධනාවට එකඟ වන්නේ සැමියාගේ කැමැත්ත හා ආශිර්වාදය ඇතිවය.
මුස්ලිම් කාන්තාවක් විවාහක නම් ඇගේ සැමියා කැමති නම් කුමන දේකට හෝ සම්බන්ධ විය හැකිය. අවිවාහක නම් පියා එහි මූලිකයා වේ. සැමියාගේ පවුලේ අයගේ ආශිර්වාදය හා සහය ඇතිව වසර ගණනක් පුරා ප්‍රදේශයට කළ සමාජ මෙහෙවර වෙනුවෙන් ඇගයීම් පවා ලබා ඇති ඇය පළාත්පාලන මැතිවරණයට ලද ආරාධනාව පිළිගෙන තරග කළාය. එහෙත් ඇයටද ඇගේ සමාජයෙන්ම ගැරහීම්, අවලාද එමට විය. සැමියා ඒ කිසිවකට නොනැවී ඇයට ශක්තියක් විය. පල්ලියෙන් ලද විරෝධතා නිසා ඇය පසෙකට වන්නට තීරණය කරන විට සැමියා එයට එරෙහිව ඇයට ලද අවස්ථාවය සෘජුවම පෙනි සිටියේය. වත්මන වන විට ඇයගේ දක්ෂකම නිසා දෙස් විදෙස් ආධාර හා සෑම දේශපාලන පක්ෂයකම සහය ඇතිව සමාජ සේවාවෙන් සිය ප්‍රදේශයට ඉමහත් සේවයක් කරන්නියකි. කාන්තා කෝටාව නිසා ඇය ලද වරප්‍රසාදය නිසාම රට පුරා මුස්ලිම් ජනතාවගේ දේශපාලන විඥානය ඇති කරවා මුස්ලිම් කාන්තාවගේ දේශපාලන ප්‍රවිෂ්ඨය වෙනුවෙන් ඇයට බොහෝ ආයතන මෙන්ම පක්ෂද ආරාධනා කරයි. ඇගේ අදහසද කාන්තාවගේ දේශපාලන යොමුව හා භාවිතය තව තවත් පුළුල් විය යුතු බවයි.
කාන්තා කෝටාවට සෘජු දායකත්වය
කාන්තා කෝටාව මෙරට කාන්තාවන්ට ලැබුණේ රිදී බන්දේසියක පුදා නොවේ. එය දිගු ඉතිහාසයක් සහිත, කණ්ඩායම් ගණනකගේ සාමුහික ප්‍රයත්නයක අවසන් භුක්තියකි. ඒ දක්වා ගෙනගිය අරගලය සුළුපටු නැත. එදා මෙදා තුර නොසැලෙන සටනක් ලබා දුන්නේ අන්තර් ජාතික සංවිධාන, දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන, මැතිවරණ සම්බන්ධව කටයුතු කරන ආයතන හා සිවිල් සංවිධානයි. එම ආයතනවල සහය නිසාවෙන් අද වනවිට පළාත් පාලන සභිකාවන් බෙහෝ දුරට ඉදිරියට පැමිණ ඇත.
ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන search for common ground ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව දිස්ත්‍රික්ක හතරක රාජ්‍ය නොවන කාන්තා සංවිධාන හතරක් සම්බන්ධ කරගනිමින් පළාත් පාලන මන්ත්‍රිවරියන්ගේ සංසඳයන් (will club) පිහිටුවන ලදි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳයේ ආදර්ශයෙනි.
ඒ යාපනය, මඩකලපුව, බදුල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පළාත් පාලන සභිකාවියන්ව දේශපාලන දැනුම හා භාවිතය පිළිබදවත් නායකත්ව පුහුණුවත් ලබා දී තිබේ. එම ආයතනයන් මැතිවරණයට පෙර සිටම අපේක්ෂිකාවන් පුහුණුවේ සිට නාමයෝජනා ලබාදීම දක්වා ඔවුන්ට මගපෙන්වා තව දුරටත් එය පුළුල් කරමින් සිටී.
පසුගිය දශක දෙකක් පුරාම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරියන් වෙනුවෙන් සුවිසල් සේවයක් කළ ආයතනයකි, ස්ත්‍රී සම්පත් මධ්‍යස්ථානය.මෙම ආයතන ද්විත්වය දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජනය වර්ධනය හා පැවැත්ම වෙනුවෙන් විවිධ දේ කරති.
ස්ත්‍රී සම්පත් මධ්‍යස්ථානයෙහි අධ්‍යක්ෂිකා සුමිකා පෙරේරා මහත්මිය කාන්තා කෝටාව හා යෝජිත කප්පාදුව පිළිබද මෙසේ කීවාය.
කෝටාව පහසුවෙන් ලබාගත් දෙයක් නෙවේ.
දේශපාලනයේ කාන්තා නියෝජන වැඩි වෙන්න ඕනා කියලා අපි මුල ඉදන්ම අරගල කරා. අපේ මුල්ම අරගලය තිබ්බේ නාමයෝජනා ලබා ගැනීමයි. මුල් කාලේදි නාමයෝජනා සියයට දෙකක්වත් දෙන්න කියලා පක්ෂවලින් අපට ඉල්ලා සිටින්නට වුණා. ඒ නිසාම කාලයක් තිස්සේ කළ අරගලයක් නිසා අපි ඉල්ලූ 30% වෙනුවට 25%ක් ලැබුණා. සභිකයන් වැඩිවු නිසා වියදම් වැඩි වුණා කියන චෝදනාව ඉලක්ක කරගෙන මේ කෝටාව කප්පාදු කරන්න හදනවා. ඒක අසත්‍ය මතයක්. සභිකයන් වැඩිවුනේ කොට්ඨාශ නිර්ණය නිසායි. පළාත් පාලනයේ කාන්තා නියෝජනය තවත් ඉහළ නැංවිය යුතුයි. මේ කෝටා ක්‍රමය අපි ඉල්ලන්නේ හැමදාටම නෙවේ. ඇය යම් මට්ටමකට ගොඩ නැගී ජනතාව අතර පිළිගැනීමකට ලක්වූ පසු ඇයට ඒ අවස්ථාවන් නිතරගයෙන් ලැබේවි.
කාන්තාවටත් සම අයිතියක්
කාන්තාවට දේශපාලනයේ යෙදීමට සමාන අයිතිවාසිකමක් තිබිය යුතුයි. පුරුෂයන්ට වගේම කාන්තාවන් වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා තැන්වල ඇයත් සිටිය යුතුයි. අවාසනාවට ලංකාවේ දේශපාලන පක්ෂවල වුවත් කාන්තාවට සමාන නිලතල නැහැ. බිම් මට්ටමේ වැඩවලදි කාන්තාවගේ දායකත්වය නොපැකිළව ගන්නා ඔවුන් දේශපාලන තරග බිමට කාන්තාවගේ දායකත්වය ගන්න කැමති නැහැ වගේම අවස්ථාව දෙන්නෙත් නැහැ. බිම් මට්ටමේ වැඩ කාන්තාව ලවා කරවගත්තට ඉහළට යන විට දිස්ත්‍රික් මට්ටමින්වත් කාන්තාවට සමාන අයිතියක් තියා සුලු අවස්ථාවක්වත් දෙන්නේ නැහැ.එය පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ප්‍රශ්නයක්. පක්ෂවල ව්‍යවස්ථාවන් සකස්කරගෙන ඇයටත් සමාන අයිතියක් ලබා දෙන්න ක්‍රියාකළ යුතුයි.
ෆැපරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි
සංඛ්‍යාත්මක අගයන් වැඩි වුණාට ගුණාත්මක විය යුතුයි. වර්තමානයේ ඇති ආර්ථික හා දේශපාලන අර්බුදය දිහා බැලුවාම කාන්තාවන් වැඩි පිරිසක් හිටියා නම් මේවාගේ යම් අඩුවක් දැකගත හැකි වෙන්න තිබුණා. දැන් දේශපාලනය නිසා සමාජයේ දූෂණය, වංචාව ඉහවහ ගිහින්. මේවා නිරීක්ෂණය කළොත් දේශපාලනයේ සිටින කාන්තාවන් මේවායේ ඉන්නේ අල්ප වශයෙන්. මම පෞද්ගලිකව විස්වාස කරන දෙයක් තමයි කාන්තාවන් නීති සම්පාදනය කරන තැන්වල වැඩියෙන් ඉන්න ඕන කියන එක.
කාන්තාවන්ට නිසැගයෙන් පිහිටා තිබෙන ගුණාංග එක්ක වත්මනේ රට මුහුණ දෙන ප්‍රශ්නවලට වඩා සාර්ථක විසඳුම් ඔවුන් වැඩියෙන් සිටියා නම් ලැබෙන්න තිබුණා. කාන්තාවන් වැඩියෙන් දේශපාලනයේ සිටියෝත් දූෂණය, මැරකම දැන් තියෙන මට්ටමට වඩා බොහෝ අඩුවෙනවා.
සංඛ්‍යාත්මකව සියයට 52ක් ඉන්නවා කියා එම ප්‍රමාණයට දේශපාලනයේ ඉඩක් දීමට වඩා ගුණාත්මක අතින් ඉහළ, දේශපාලන අත්දැකිම් සපිරි කාන්තාවන් දේශපාලනය ගැන තවත් පුහුණු කර දේශපාලනයට යොමු කළ යුතුයි. මොකද පසුගිය පළාත් පාලන මැතිවරණයේදි පක්ෂ ඉවක් බවක් නැතිව දාපු ලැයිස්තුවලින් දේශපාලන නායකයන්ගේ බිරින්දෑවරුන්, නෑදෑයන්, ගෙවල්වල වැඩ කළ අය, ආදී ලෙස දේශපාලනය ගැන කිසිත් නොදත් අය යොමු කළා.
දැන් ඉන්න 2000න් 200ක් දක්ෂ ලෙස වැඩ කරමින් ප්‍රතිඵල පෙන්වා දේශපාලන අතින් ඉතාම ඉහළ මට්ටමක ඉන්නවා. එවන් අය තවත් හොයාගන ඔවුන්ගේ දක්ෂතාව මතු කරමින් පුහුණුවක් පක්ෂවලින් දිය යුතුයි. අනික බොහෝ පක්ෂවල මධ්‍යම කාරක සභාවල කාන්තාවන් නැහැ. නිලතලවල නැහැ. ඒවට පවා කාන්තාවන් පත්විය යුතුයි.