භික්ෂූන් වහන්සේලා ද මනුෂ්‍යයෝය

– දිනෙත් මල්ලිකාරච්චි –

SEGMANT 01

වරක් මාධ්‍යවේදියෙක් දලායි ලාමා තුමාගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසුවේය.
“ඔබට කාන්තාවක් ගැන රාගී සිතක් පහල උනොත් ඔබ කරන්නෙ මොකක්ද?”

මේ ප්‍රශ්නයට දලායි ලාමා තුමාද අපූරු උත්තරයක් දුන්නේය.
“මම අතේ පාරක් ගහල ඒ සිතුවිල්ල අමතක කරල දානවා”

SEGMENT 02

කඩුගන්නාව පළාතේ පන්සලකි.මෙය පිහිටා ඇත්තේ කුඩා කඳු ගැටයකය. එහි නායක හාමුදුරුවන්ගේ පැවැත්ම පිළිබිඹු කලේ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයට වඩා , පැරණි උඩරට යුගයේ සිටියේ යැයි අප අසා තිබෙන ගනින්නාන්සේ කෙනෙකුගේ ජීවිතයයි.

මේ පන්සලට අයත් ඉඩකඩම් තිබිණ. උන් වහන්සේ ඒවා වගා කළේය. ගමන් බිමන් යාම සඳහා කුඩා වාහනයක් තිබිණ. උන් වහන්සේ ගෝලයන් සෑදීමට හෝ ධර්ම කරුණු පිලිබඳ එතරම් උනන්දුවක් දක්වුවේ නැත. පොත පතේ සඳහන් පරිද්දෙන් ධර්මානුකූල ජීවිතයක් නොගෙව්වද , උන් වහන්සේගෙන් කාටවත් හිරිහැරයක් නොතිබිණ. තක්කඩි කම් , ජඩ කම් කිරීමට පෙළඹුනේ නැත.

මේ මනුෂ්‍යයා ගමේ ගැහැනියකට ඉතා ගැඹුරු ලෙස ආදරය කළේය. ඒ ආදරය ජය ගත්තේය. ටික කලකින් ඒ ගැහැණිය පන්සලේ පදිංචියට පැමිණියාය. සංඝාවාසය තුල ගැහැණියක නවත්වා ගැනීම අපහසු බැවින් උන් වහන්සේ පන්සල් වත්තේ කොනක තමන් හරිහම්බ කල මුදලින් වෙනම ගෘහයක් තැනුවේය. ඉතින් ටික කලෙකින් මේ ගැහැණිය දරුවකු වැදුවාය. තවත් කලෙකින් තව දරුවන් කිහිප දෙනෙකුම ලැබිණි. මේ දරුවන් සාමාන්‍ය පරිදි ලොකු මහත් විය. නිසි කලදී පාසල් වලට ඇතුළු කරනු ලැබූහ. නව යොවුන් වියට ඇතුළු වූහ. එකම වෙනස වුයේ තමන්ගේ පියා මහණකු වීම පමණි.

මේ පවුලේ ලොකු පුතා ගැටවර වියට එළැඹි අලුත, එක් දිනක් තමන්ගේ මිතුරන් කිහිප පොලක් සමගින් මධුවිත සප්පායම් වීමේ අටියෙන් යුතුව පන්සල් කන්දේම පාලු තැනකට පැමිණියේය. බෝතල් විවර විය. අනුපාන සමගින් මුසු වූ මධුවිත සැනෙකින් හිස් විය. ඔවුන් සිටියේ මහා උසක නොවුවද, තරමක් භයානක ප්‍රපාතයක මුව විටය. බමන මතින් අවකල් වී සිටි අපේ හාමුරුදු පුත්‍රයා නොසිතු මොහොතක මේ හෙලෙන් පහලට රූරා වැටිණි. ඔහු එතැනම මිය ගියේය.

අප දන්නා වෙනත් ගිහි මල ගෙවල් වල භික්ෂූන් වැඩම කරන්නේ ආගමික වතාවත් වලටය. මේ මල ගෙදර පැවත්වුයේම පන්සලේය. අපේ ලොකු හාමුරුවන් තමන්ගේ පුත්‍රයාගේ වියෝව දරා ගැනීමට නොහැකිව පොළොවේ හැපෙමින් වැලපෙන්නට විය. මගේ පුතේ ආපසු එන්න යැයි කියමින් උන් වහන්සේ මල ගෙදර දෙවනත් කරන්නට විය. උන් වහන්සේගේ කඳුලෙන්ද දහදියෙන්ද සිවුර තෙත් වී තිබිණ.

මේ කිසිවක් නිසා පන්සලට ගල් නොගැසූ, පෙළ පොත් පෙරලාගෙන භික්ෂුවකගේ සීලය තක්සේරු නොකෙරූ , ආගමිකත්වයට ඉහලින් මනුෂ්‍යත්වය තැබූ කඩුගන්නාව අවට මේ ගමේ වැසියන්ට මාගේ ප්‍රණාමය.

SEGMENT 03

දිවයිනේ සුප්‍රසිද්ධ බෞද්ධ ආගමික ස්ථානයකි. ඒ පිහිටා ඇත්තේ කඳු ගැටයක් මුදුනේය. මේ ආගමික ස්ථානයේ මුල් තැන හෙබවූ බෞද්ධ භික්ෂූන් වහන්සේ ඉතා ශූර ව්‍යාපාරික ඥානයක් තිබුණු කෙනෙකු විය. හේ කඳු ගැටය දෙපස භූමිය ශුද්ධ පවිත්‍ර කොට කුඩා කඩ කාමර සාදා ඒවා කුලියට දුන්නේය. ඉතා ආකර්ෂණීය වත් පිළිවෙත් සංවිධානය කොට ඒවායින්ද ධනය රැස් කළේය. ගමේ අවට විශාල පිරිසක් මේ හාමුදුරුවන්ගෙන් ඍජුව හෝ වක්‍රව පෝෂණය වූහ.

හාමුදුරුවන්ට අඹුවන් කිහිප පොලක්ද විය. එය කාටවත් රහසක් වූයේ නැත. කවුරුවත් ඒවාට විරුද්ධ වූයේද නැත. මේ අඹුවන්ට දරු මල්ලන් ලැබුණු අතර ඔවුන් පන්සල ආශ්‍රයේම ලොකු මහත් විය. මේ දරුවන් අතුරින් ගුරුවරියන්, ව්‍යාපාරිකයන්, ලිපිකරුවන් වැනි අය බිහි විය. මේ සියලු දෙනාටම නීත්‍යානුකූල පියෙකු නොසිටියත් ඇත්ත වශයෙන්ම පිය සෙනෙහස ලැබුනේ හාමුදුරුවන් අඩුවක් නොකොට ඔවුන් බලා කියා ගත් නිසාය. මේ දරුවන් සියලු දෙනා හාමුදුරුවන්ව ආමන්ත්‍රණය කලේ “හාමුදුරු තාත්තා” යන පදයෙනි.

මෙසේ කලක් ගත වන විට හාමුදුරු තාත්තා අසනීප වී අපවත් විය. එය උන් වහන්සේගේ විශාල දරු පවුලටත් ගමටත් දැරිය නොහැකි වේදනාවක් විය. රටේ මහ තැන් ඇතුළු විශාල ජනකායක් එක් රැස් වී සිටි එම මල ගෙදර මුළුල්ලේම, හාමුදුරුවන්ගේ ලොකු දියණිය පොළොවේ හැපෙමින් හඬා වැලපුනේ “අනේ හාමුදුරු තාත්තේ අපිව දාලා යන්න එපා ” කියමිනි. එවෙලෙහි එම ගමේ මිනිසුන් ඇය සමග දුක බෙදා ගත්තා මිස ඇයව සදාචාර විනිශ්චය කිරීමට ඉදිරිපත් නොවිණි.

……………………………………………………………………

හාමුදුරුවන්ද මනුෂ්‍යයෝය. අපට දැනෙන දුක වේදනාව රාගය අඩුවක් නැතිව උන් වහන්සේටද දැනේ. උන් වහන්සේ රහත් වී නොමැත. අපේ භික්ෂූන් වහන්සේලාගෙන් සීයට අනූවක්ම මහණ කෙරෙන්නේ කුඩා කලය. ඒ අපේ සමාජයේ මැදිහත් වීමෙනි. එනම් සෑම මහණවරයක් වෙනුවෙන්ම අපේ වගකීමක්ද තිබේ. පිරිමියකුට ගැහැණියක ඕනෑ වන්නේ ඉන් පසු කාලයකදීය. ඒ ඕනෑ වුනු විගස උපැවිදි වීමද කල හැක්කක් නොවේ. ජීවිත වල ගමන් මාර්ග සහමුලින් වෙනස් කරන සුළු තීන්දු එක රැයින් ගැනීමට අපහසුය. ගැහැණියක කෙරේ රාගී සිත් පහල කරගැනීම භික්ෂු විනයට පටහැණිය. නමුත් එනයින් භික්ෂූන් වහන්සේ විනිශ්චය කිරීමේ බලය දායකයන්ට ලැබෙන්නේ නැත. එසේ කියා භික්ෂූන් වහන්සේට සමාජයෙන් වියුක්තව සිතූ සිතූ දේ කිරීමටද නොහැකිය.

එකිනෙකට පරස්පර මේ කාරණා රාශියෙන් අප තේරුම් ගත යුත්තේ මනුෂ්‍ය ජීවිතය මෙන්ම මනුෂ්‍යන් මිලියන බිලියන ගණනකගේ ජීවිත යා වීමෙන් ගොඩ නැගී තිබෙන ශිෂ්ඨාචාරයද අතිශයින්ම සංකීර්ණ බවය. සියලු මනුෂ්‍ය හැසිරීම් එක විට ග්‍රහණය කරගැනීමටත් විනිශ්චය කිරීමටත් හැකි තනි න්‍යායක් මෙලොව නැත. එවැනි පරිපූර්ණ අදහසක් කිසිදිනෙක ගොඩනැගීමද කල හැකි නොවේ. එසේ නම් අපට සිදු වන්නේ මනුෂ්‍යත්වයේ දුර්වල කම්, අතාර්කික කම් සහ පරස්පරයන් ආදරයෙන් සහ කරුණාවෙන් ඉවසාගෙන ජීවත් වීමය. යමකු කුමන හෝ ආදරයක් දෙස වෛරයෙන් බලන්නේ නම් ඔහු සිටින්නේ බරපතල ලෙස කණගාටුදායක තැනකය. මනුෂ්‍යයන් කෙරේ මොන වැරදි තිබෙන්නට පිළිවන් වුවත් ආදරය යනු කිසිදු විටෙක කිසිදු මනුෂ්‍යයකුගේ වරදක් වීමට හැකියාවක් නැත. “අනියම් ආදරය” යන දෙපදයේ අනියම් යන පදය අර්ථ ශූන්‍ය පදයක් වන්නේ එබැවිනි. ආදරයට විශේෂණ තිබිය හැකි නොවේ. අනියම් වුවද, භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ වුවද ආදරය ආදරයමය.

මිනිසුනි, තොප රිසි ලෙස ආදරය කරන්න. ආදරය පිළිගන්නට සූදානම් අය වෙත ඒ පිළිගන්වන්න. හිතේ හැටියට රතියෙ යෙදෙන්න. තමන්ට අවනත වන ගැහැණුන්ගේත් පිරිමින්ගේත් ගෞරවය රකින්න. අනුන්ගේ ආදරයන් දෙසට වෛරයෙන් එබීමෙන් වලකින්න. ඒවා රට ඉදිරියේ ප්‍රසිද්ධ කරනවා වැනි ජ_ඩ වැඩ නොකරන්න. මනුෂ්‍යයන්ගේ වැරදි දෙස අනුකම්පාවෙන් බලන්න. ඒවා සියල්ල විනිශ්චය කොට දඬුවම් දීමට තමනට හැකි යයි කිසිදා නොසිතන්න.

Spring, Summer, Fall, Winter… And Spring
Samsara

(බෞද්ධ භික්ෂූන් වහන්සේගේ ආදර කතා ස්පර්ශ කෙරෙන සිනමා නිර්මාණ දෙකක් මා නරඹා ඇත්තෙමි. ඉන් පළමු වැන්න නම් Pan Nalin අධ්‍යක්ෂණය කල Samsara චිත්‍රපටියයි. එය ඉන්දියානු සිනමා පටයකි. දෙවැන්න නම් Kim Ki-duk අධ්‍යක්ෂණය කල Spring, Summer, Fall, Winter… And Spring චිත්‍රපටයයි. එය කොරියන් චිත්‍රපටයකි. Samsara නම් සංසාරය බව අමුතුවෙන් කිව යුතු නැත. Spring, Summer, Fall, Winter… And Spring යන්නෙන් විදහා දැක්වෙන්නේත් කෙළවරක් නොමැතිව නැවත නැවතත් චක්‍රීයව එළඹෙන ඍතු සමූහයය. එයින් හැඟවෙන්නේද සංසාරය මිස වෙන කුමක්ද?. මේ චිත්‍රපට දෙකම විශිෂ්ඨ නිර්මාණයන්ය. අහිංසක තරුණ හාමුදුරු වරයකු සමාජය ඉදිරියේ නිරුවත් කොට සතුටු වන වෙලාවේ මෙවැන්නක් නරඹන්න).

2022.08.06

Social Sharing
අවකාශය නවතම