-කේ. සංජීව-
ඇමරිකා එක්සත් ජනපද සභානායක නැන්සි පෙලෝසිගේ හිතුවක්කාරී තායිවාන සංචාරය සමග අග්නිදිග ආසියානු කලාපයේ යුධ උණුසුම ඉහළ ගොස් ඇත. මෙම සංචාරයට ප්‍රථිචාර වශයෙන් චීනය තායිවාන මුහුදු සීමාව සහ අහස් සීමාව ආක්රමනය කරමින් දැවැන්ත යුධ අභ්‍යාසයක නිරතව සිටී. එයින් හඟවන්නේ චීන යුධ ශක්තියට තායිවානය ඕනෑම අවස්ථාවක ග්රහනයට ගැනීම සුළු දෙයක් බවයි. එක්තරා විදිහකට මෙම යුධ සරඹ සන්දර්ශනයන් යුක්රේනයට ඇතුල්වීමට කලින් පුටින්ගේ රුසියානු හමුදාවන් යුක්රේනයට දැක්වූ ප්‍රතිචාර වගේ යැයි යුධ විශ්ලේෂ්කයෝ ප්‍රකාශ කරනවා.
නිදහස් රාජ්‍යයක් වූ යුක්රේනයට රුසියානු හමුදා ඇතුල් වුණාට පස්සේ එතෙක් පැවති ලෝක බලතුලනය සහ බල දේශපාලනය වෙනත් සුසුමාදර්ශයක් වෙත මාරුවුණා කියලා කියන්න පුලුවන්. මේ නව තත්ත්වය යටතේ, චීනයට තායිවානය ඕනෑම මොහොතක යටත් කරගන්නට යුද්ධය භාවිතා කරන්න පුලුවන්. මේ නව තත්ත්වය අස්සේ තමයි අවුරුදු 25කට පස්සේ යන ඉහළම රාජ්‍ය නියෝජිතයා විදිහට නැන්සි තායිවානයට යන්නේ. නැන්සිගේ දේශපාලන ඉතිහාස විශ්ලේෂනය කරන දේශපාලන විශ්ලේෂකයෝ කියන්නේ නැන්සි උග්‍ර චීන විරෝධී කියලා. ඇය ඇයගේ දීර්ඝ දේශපාලන චාරිකාව අස්සේ ඒක ප්රායෝගිවම පෙන්වලා තියෙනවා. ටියැන්මෙන් චතුරශ්‍රයේ සමූල ඝාතනයේ වින්දිතයින්ට සහාය දැක්වීම, ටිබටයෙන් පළාගොස් ඉන්දියාවේ ජීවත්වෙන දලෙයි ලාමා තුමා සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන යාම, වගේ දේවල් මේ චීන විරෝධී නැන්සි ප්‍රතිපත්තියට නීදර්ශන.
කොහොම වුණත් මේ ඓතිහාසික තායිවාන සංචාරය ගැන නැන්සි කියන්නේ මේවගේ දෙයක් – “අවුරුදු 43කට කලින් ඇමරිකාව තායිවානයට පොරොන්දුවක් වුණා හැමදාම තායිවානය එක්ක නැඟී සිටිනවා කියලා. අද අපි තායිවානයට ඇවිත් කියන්නේ අපි තායිවානයට වුණ පොරොන්දුව අතාරින්න සූදානම් නැහැ කියන කාරණය”
ඇත්තටම නැන්සිගේ මෙම සංචාරය ගැන එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ට තියෙන්නේ හොඳ හැඟීමක් නෙවෙයි. ඔහු කියන්නේ මේක අනවශ්‍ය ප්‍රශ්නයක් ඇගට දාගැනීමක් කියලා. කොහොමවුණත් සුපුරුදු විදිහට නැන්සි මේ විවේචන ගනන් ගත්තේ නෑ. දැන් චීනය කියන්නේ මොකද්ද?
චීනයේ ප්‍රතිචාරය
චීනය කියන්නේ එක්සත් ජනපද දූත පිරිසේ මේ සංචාරය තමන් ප්‍රකෝප කිරීමක් විදිහට ගන්න සූදානම් කියලා. ඒ ගණන් ගැනීම එක්ක තමයි ඔවුන් වෙනදා නොකළ විදිහේ යුධ අභ්‍යාසයක් කරන්නේ. මේ යුධ අභ්‍යාසයන් බ්‍රහස්පතින්දා (04) ආරම්භ වෙන්නත් කලින් තායිවානය නිවේදනය කරනවා චීන යුධ ගුවන් යානා 27ක් තමන්ගේ අහස ආක්රමනය කළා කියලා. මේ වෙනකොට මේ සංචාරයට ප්‍රතිචාර විදිහට චීනය තායිවානය දිහාට ඉලක්ක කරලා මිසයිල අත්හදා බැලීම් 11ක් කරලා තිබෙනවා. ඒ මිසයිල නිකුත් කිරීම් 11න් 5ක්ම ජපානයට අනතුරුදායකයි. මේ නිසා කලාපයම යුධ උණුසුමකින් ඇලලිලා කීවොත් හරී. මේ වෙනකොට තායිවානය සයිබර් ප්‍රහාර මාලාවක ඉලක්ක වෙලා. මීට අමතරව චීනය තායිවානයෙන් කරනු ලබන ආනයන නතර කරලා තිබෙනවා.
කෝවිඩ් තත්ත්වය, යුක්රේන යුද්ධය වගේ තත්ත්වයන් නිසා ලෝකයම දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලිලා ඉන්නේ. ඒනිසා මෙවැනි යුධ උණුසුමක් දුරදිග ගියොත් ලෝකයට කුමක් වෙයිද? විශේෂයෙන් මේ වෙනකොට විශාල ආර්ථික අර්බුදයක කරවටක් ගිලිලා ඉන්න ලංකාව වගේ රටකට අත්වෙන්න පුලුවන් ඉරණම මොනවා වගේ වෙයිද?
කලාපීය යුද්ධ උණුසුම සහ ආර්ථිකය
ඇත්තටම තායිවාන ඉතිහාසය කියන්නේ මොකද්ද? 17 වන සියවසේදී තායිවානය පූර්ණ චීන පාලනයක් අස්සේ තමයි පවතින්නේ. හැබැයි 1895 දී පළවෙනි ජපන් චීන යුද්ධයෙන් චීනය පරාජයට පත්වුණාම චීනය මේ දිවයින ජපානයට දෙනවා. හැබැයි 1945 ජපානය දෙවෙනි ලෝක යුද්ධය පරාජයට පත්වුණාම ආයෙත් වතාවක් මේ දිවයිනේ බලය චීනයට යනවා. හැබැයි චීනයට විරුද්ධ මතයක ඉන්න ඉතිහාසඥයන් සහ දේශපාලඥයන් කියන්නේ තායිවාන ජාතිකයන් 1911 විප්ලවයෙන් පසු ප්‍රථම වරට පිහිටුවන ලද නූතන චීන රාජ්‍යයේ හෝ 1949 දී මාඕ යටතේ පිහිටුවන ලද මහජන චීන සමූහාණ්ඩුවේ හෝ කිසිම වෙලාවක කොටසක් වුණේ නෑ කියලා තර්ක කරනවා. අනෙක් පැත්තෙන් චීන සිවිල් යුද්ධයේ ප්‍රථිපලයක් තමයි Chiang Kai-shekගේ තායිවානය.
තායිවාන බලධාරීන් කියන්නේ අතීතයේ ඉඳලම තායිවානය ස්වාධීන රාජ්‍යක් කියලා. ඒත් චීනය මේක පිළිගන්න සූදානම් නෑ. චීනයේ වර්තමාන ජනාධිපති සී ජින් පින් ‘එක චීනයක්’ කියන සංකල්පයේ දරුණු ලෙස එලබිලා ඉන්න පුද්ගලයෙක්. ආර්ථික අර්බුදය එක්ක චීනය ඇතුලේ උද්ගතවෙලා තියෙන ප්‍රශ්නවලට හොඳම විසඳුම එළියේ මෙවැනි ගැටුමක් හදා ගැනීම වෙන්නත් පුලුවන්. අනෙක තායිවානය කේන්ද්‍රකරගෙන එක්සත් ජනපදය සමග ගැටුමක් අවුලවා ගැනීම චීන ජනාධිපතිවරයා රට අස්සේ ජනප්‍රිය වෙන්න හේතුවක්.
තායිවාන සමුද්‍ර සන්දියේ මේ නැඟ එන යුධ උණුසුම අමුතු තත්ත්වයක් නෙවෙයි. මේක කාලෙන් කාලෙට මෙහෙම රත් වෙනවා. 1995 ට පස්සේ තමයි මේ විදිහට දරුණු යුධ උණුසුම් සුළං තායිවානය හරහා හමාගෙන යන්නේ. මේ තත්ත්වය ජපානයට වගේම ඕස්ට්‍රේලියානු දේශපාලනයත් උණුසුම් කරලා. ජපානය ඉන්දියාව ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය ඉන්දියන් සාගරය කේන්ද්‍රගත කරගෙන ආරක්ෂක සහයෝගීතාවයක් ඇතිකරගෙන ඉන්නෙත් චීනයෙන් ආරක්ෂා වෙන්න කියලා කියන්න පුලුවන්. ලෝකය පුරාම නැඟ ආපු චීන නැඟ්ම කොවිඩ් වසංගත තත්ත්වය එක්ක යම්තාක් දුරකට පසුබෑවත් චීනය ඉදිරියේදි නැවත වතාවක් උත්සාහ කරාවි ඒ නැඟ්ම ගන්න. මේ නිසා තමයි කොවිඩ් කියලා කියන්නේත් දේශපාලන බල පොරයේම එක අවස්ථාවක් කියලා කියන්න වෙන්නේ. කෝවිඩ් නිසා සහ යුක්රේන ආක්රමනය නිසා ලෝකය වෙනස් වුණා. ලංකාවේ ජනතා නැඟිටීමට උනත් යම් ශක්තියක් මේ නව තත්ත්වයන් විසින් අරගෙන දුන්නා කීවොත් ඒක තමයි ඇත්ත.
චීන නායකයාටත් ඒකාධිපතියෙක් විදිහට තමන්ගේ ජීවිත කාලය අස්සේ චීන නායකයා විදිහට පවතින්න නම් කාලෙන් කාලෙට මේවගේ සන්දර්ශන ලෝකයා වෙත ඉදිරිපත් කරන්න වෙනවා. චීනය ජපානය ඕස්ට්‍රේලියාව වගේ රටවල් අස්සේ වැඩකරන බල සිතියම තමයි අනාගතයේ ආසියාවේ හැඩය තීරණය කරනු ඇත්තේ. ලෝක ආර්ථිකය අස්සේ පෙරෙදිග බටහිර පරාජයට පත් කරන්න ආසන්න තත්ත්වයක තියෙන්නේ. නැඟ එන ඉන්දියානු සහ චීන ආර්ථිකය ඒක වැඩි කාලයක් යන්න කලින් කරනවා. දකුණු කොරියාව, මැලේෂියාව, ඉන්දුනීසියාව, වියට්නාමය වගේ ආර්ථිකයන් ඉන්දියාව සහ චීනය සමග එකට තියලා බැලුවාම මේ චිත්‍රය ඕනෑම කෙනෙක්ට පැහැදිලි වෙන්න ඕනෑ. ඒනිසා කොයි පැත්තෙන් බැලුවත් නැන්සිගේ මේ සංචාරය හුදෙක් සංචාරයක් විතරක් නෙවෙයි.