රට දැන් තිබෙන තත්වය හා ආණ්ඩුවේ මාර්ග සිතියම

මේ වන විට රට පවතින තත්වය අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

2018දී තිබුණු දළ දේශීය නිෂ්පාදිතය වන ඩොලර් බිලියන 94ක මට්ටම 2022 වන විට ඩොලර් බිලියන 76 දක්වා අඩු වී තිබේ. 2022 වසරේ ආර්ථික වර්ධන වේගය ඍණ පහකට වැඩියි.

මේ වසරේ ජූලි දෙසැම්බර අතර ඩොලර් බිලියන 3ක විදේශ ණය ගෙවිය යුතුයි. ගෙවිය යුතු ණය වසර අනුව පහත දැක්වෙනවා.
2023 ඩොලර් බිලියන 6
2024 ඩොලර් බිලියන 5
2025 ඩොලර් බිලියන 6
2026 ඩොලර් බිලියන 4
2027 ඩොලර් බිලියන 4

ගෙවිය යුතු ණය සම්පූර්ණයෙන් ඩොලර් බිලියන 28ක් වෙනවා.

රජයේ මුළු ණය 2021 අවසානය වන විට රු. බිලියන 18ක් වන අතර 2022 මාර්තු වෙද්දී එය 22ක් විය.

ජාතික ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 140%ක් වන අතර ආදායම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.3%කි.

වසර අවසානයේදී උද්ධමනය 60%ක් දක්වා ඉහළ යා හැකිය. රජය දැනට සැලසුම් කර තිබෙන්නේ ආර්ථිකයේ සිදුවන කඩාවැටීම අඩුකරගන්නටයි. 2023 වන විට ඍණ ආර්ථික වර්ධනය ඍණ එක දක්වා අඩුකරගන්නට රජය උත්සාහ කරනවා.

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව අනුගමනය කරනු ලබන මාර්ග සිතියම අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළා. ඒ අනුව, මේ වන විට බංකොලොත් තත්වය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වනු ලබන සාකච්ඡා ඉදිරියට යනවා. කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීමට පෙර ශ්‍රී ලංකාව ණය තිරසරභාවය ගැන සැලැස්මක් සකස්කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළ යුතුව තිබෙන බව අගමැතිවරයා පැවසුවා. ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමත් අවශ්‍යයි. අගෝස්තු මාසය වන විට ණය තිරසරභාවය ගැන වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළ පසුව ඔවුන් කාර්ය මණඩල එකඟතාවකට පැමිණ එය අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ලංකාවට අවුරුදු හතරක සහන ණය වැඩසටහනකට හෙවත් විස්තීරණ ණය වැඩසටහනකට ඇතුළත් වෙන්නට හැකියාව ලැබෙන්නේ ඉන් පසුවයි. මෙය සැප්තැම්බර් පමණ දක්වා කල් ඇදෙන බවයි අගමැතිවරයාගේ කතාවෙන් පෙනෙන්නේ.

ඉන් අනතුරුව ණය ආධාර සමුළුවක් පවත්වන්නට මිත්‍ර රටවල් සමගත් දැනට සාකච්ඡා කරගෙන යන බව අගමැතිවරයා පැවසුවා. විදේශ රටවලින් ආධාර ලබාගන්නට හැකිවන්නේ මේ අවුරුද්දේ අවසාන හරියේදීයි. මේ සියල්ල සිදුවන්නේ යුක්රේන යුද්ධය නිසා තීව්‍ර වී තිබෙන ලෝක ආර්ථික අවපාතයක් සමග බවත් අගමැතිවරයා පෙන්වාදුන්නා.

“වසර ගණනාවක් පුරා අපේ රටේ ක්‍රියාත්මක වූ යම් යම් සාම්ප්‍රදායික අදහස් නිසා ඇති වුණු බලපෑම් වලින් අපි පීඩා විඳිනවා. ඒ නිසා මම කලිනුත් සඳහන් කළා වගේ 2023 වසරේ දී ත් අපට දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකයි ඇත්ත. මේකයි යථාර්ථය. ජනතාවට සිහින ලෝක මවා පෙන්වා මේ යථාර්ථය අවසන් කරන්න සමහරු උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒවා සුන්දර වචන පමණක් බව කාලයත් සමඟ සනාථ වේවි,” යි අගමැතිවරයා ප්‍රකාශ කළා.

අගමැතිවරයාගේ කතාව සම්පූර්ණයෙන් අහන්න. එය පහත සබැඳියේ තිබෙන ලිපියේ දැක්වෙනවා. සම්පූර්ණ කතාවේ පිටපත එහි වීඩියෝවට යටින් පළවෙනවා.

හුදු පළිගැනීමේ හෝ විරෝධය පළකිරීමේ අරමුණු ඉක්මවා ගිය රට ගොඩගැනීමේ සැබෑ උවමනාවක් ඔබට තිබේ නම්, ඔබ රනිල් සමග තරහ වුණත්, මේ කතාව අහන්න. ඔබට හෝ ඔබගේ නායකයාට බලය ලබාගෙන රට ගොඩනැගීම ආරම්භ කරන්නට සිදුවන්නේත් මෙතැන සිටයි.

Praja.lk

 

Social Sharing
නවතම විශේෂාංග