ආණ්ඩුව පලවාහැරීමට කාලය පැමිණ තිබේ!

-ශිරාල් ලක්තිලක-

ප්‍රාථමික වන්නේ රටද? බලයද? ජුනි මාසය වනවිට රටේ උද්ගතවු පුරවැසි අරගලය උච්ඡයට ජුනි 9 දා පැමිණියේය.

අගමැති මහින්දගේ ඉල්ලා අස්වීමත් සමගම ඇතිවු දේශපාලනික හා ආණ්ඩුකරණ රික්තය පිරවීමට අප යෝජනා කොට සිටියේ සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් මීළඟ ජාතික මැතිවරණය පවත්වන තෙක් පිහිටුවන ලෙසටය.

එසේම ගෝඨාභය ජනාධිපති ඉල්ලා අස්විය යුතු බව පිළිගන්නා නමුත් එසේ ඉල්ලා අස්වීම සඳහා සාධාරණ කාලවකවානුවක් ලබාදී එතෙක් රටේ පාලන බලය පාර්ලිමේන්තුව විසින් මෙහෙයවන විධායක කමිටු ක්‍රමයකට භාරදෙන ලෙසට අප කියා සිටියේය.

එවැනි ඉල්ලීමක් යථාර්තයක් කරගැනීම සඳහා 20 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක රජකු බවට පත්කෙරුණු ජනාධිපතිගේ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනයක් මගින් කප්පාදුවට ලක් කරන ලෙසටද ඉල්ලා සිටියේය.

රනිල් වික්‍රමසිංහ අගමැතිකම ගත්තේ ඇතිවු ඉහතකී රික්තයේ පිහිටෙනි.

බොහෝ දෙනෙක් රනිල් පුරවැසි අරගලයට පික්පොකට් ගැසුවේය යයි කියද්දී සහ ඔහු පැමිණියේ බෙල්ලට තොන්ඩුව වැටී තිබුන රාජපක්ෂ කුජීත දේශපාලනයට ඔක්සිජන් ලබා දෙන්නට යයි කියද්දීම අපි කියා සිටියේ රට ගැන සහ අප රටක් ලෙස ඇදවැටී ඇති භයානක අර්බුදය හමුවේ පෙරකී දේශපාලනික අවාසි සහගත තත්ත්වය නොතකා රනිල්ට අරබුදය කළමනාකරණය කිරීමට යම් අවස්තාවක් ලබා දිය යුතුව ඇති බවයි.

ඒනිසාම අප රනිල්ගේ දේශපාලන තීරණ විවේනයට ලක් කරන්නට ගියේ නැත.

නමුත් අද වනවිට රනිල් පෙන්නුම් කරමින් සිටින්නේ තමනට අරබුදය කළමනාකරණය කිරීමට තබා අරබුදයේ දේශපාලනික හා සමාජීය පැති කඩ හරි හැටි තේරුම් ගැනීමට හෝ හැකියාවක් හෝ නොපවතින බවකි.

දේශපාලනිකව ගත් කල රනිල්ගේ නොහැකියාවෙන් ප්‍රයෝජන ගනිමින් සිටින්නේ රාජපක්ෂ දේශපාලනයයි. එසේම කිසිදා දේශපාලනිකව ස්ථාවර වන්නට අවකාෂයක් නැති ගෝඨාබය සිතන්නට පටන්ගෙන ඇත්තේ තමන්ට රනිල්ගේ සෙවන තුළ යම් ස්ථාවරත්වයක් ඇති කරගන්නට අවස්ථාවක් උදාවී ඇති බවයි.

ධම්මික පෙරේරා වැනි මිත්‍යාවන්ට සමපාතවෙමින් ගෝඨාභය-බැසිල් සිතන්නට පටන් ගෙන ඇත්තේ තම දේශපාලනයට තව වටයකින් ජනතාව මුලා කිරීමට හැකි වනු ඇති බවයි.

ඒනිසාම ගෝඨාභය, මේවන විට 21 සංශෝධනයේ මුල් අපේක්ෂාවන් පරාජය කරමින් ඒ තුලින් තමන්ගේ බලතල සීමිත ලෙස පමනක් කප්පාදු කිරීමට එකඟ කර ගැනීමට සමත්ව තිබේ ( එසේ තිබියදීත් මම එවැනි දුර්වල 21 වැනි සංශෝධනයකට පවා තවමත් සහයෝගය ලබා දෙන්නෙමි)

නමුත් මෙම දුර්වල 21 සංශෝධනය හමුවේ රනිල් සිටින්නේ සිය මුනිවත රකිමිනි.

වරෙක කේරලය නියෝජනය කරන ඉන්දියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සෂී තරුර් ( Shashi Tharoor) මෙසේ පවසා තිබුනි; ඉන්දියානු රාජ්‍යයට ඔවුන් යටතේ වන හමුදාවක් තිබේ. නමුත් පකිස්තානු හමුදාවට ඇත්තේ ඔවුන් යටතේ සිටින රාජ්‍යයකි. ශ්‍රී ලංකාව ගත් කල රාජ්‍යයද හමුදාවද සිටින්නේ පවුලක් යටතේය.

අවාසනාවකට රනිල්ට ඉහත සෂී තරුර් මන්ත්‍රීවරයා සඳහන් කල දේශපාලනික පනිවුඩය තවමත් තේරුම් ගැනීමට අසමත්ව තිබේ. ඇත්තටම මෙරට දුවන්නේ රාජපක්ෂ පවුල පමකනක් නොව මෙරට අතරමැදි පංතිය නියෝජනය කලු සල්ලිකාර පවුල් ගණනකගේම මැදිහත්වීම තුලිනි. අරබුදයෙන් ගොඩවන්නට නම් එකී සමස්ත පවුල් පාලනයෙන් රට ගලවා ගතයුතුව තිබේ. නමුත් රනිල් එසේ සිතන බවක් නොපෙනෙති.

එසේම අර්බුදය සාර්ව ආර්ථික කළමනාකරණය පිළිබඳව රනිල්ට අදහසක් තිබෙන බවක් ආරම්භයේ පෙන්නුම් කලද අර්බුදය විසඳීමට ගන්නා ක්‍රියාමාර්ග හා සබැඳි සමාජ වියදම (social cost) මෙන්ම අභ්‍යන්තර ආර්ථික ආරාජික භාවය (internal economic anarchy) පිළිබඳව කිසිඳු අදහසක් ඔහුට හෝ ඔහුගේ උපදේශකයන්ට නොපවතින බව පෙනේ.

සති දෙකකට රටේ රුපියල් වලින් දුවන ලාංකික ආර්ථිකය වසා දැමීමට ගත් තීරණය මේ සඳහා වන කදිම උදාහරණයකි.

දුරගමන් පියාසර කරන ගුවන් යානා කිසිවිටක සිය ගමනාන්තයට ළඟාවුවද සිය එන්ජිම වසා දමන්නේ නැත. එයට හේතුව නැවත් එන්ජිම පණ ගැන්වීමට කාලයක් ගතවීම මෙන්ම ඉන්පසුව එන්ජිමේ උපරිම කාර්යක්ෂමතාවයට ළඟාවීමට තවත් කාලයක් ගතවීමය.

ලංකාවේ රුපියල් ආර්ථිකය කොවිඩ් lock down හරහා නතරකොට ගත්තේය. ගෝඨාගේ මරි ආර්ථික කළමනාකරණ තීන්දු හරහා තවදුරටත් එම ආර්ථිකය ඔද්දල් කර ගත්තේය. දැන් ක්‍රියාත්මක ආර්ථිකය වසා දැමීම මගින් ශ්‍රී ලාංකික ආර්ථිකය බහුමානීය මරා දැමීමකට ලක්වනු නියතය. එසේම එය සිදුවන්නේද ඒ තුළින් ඇතිවිය හැකි අනිටු ප්‍රතිවිපාක
පිළිබඳව කිසිඳු විද්‍යාත්මක පුරෝකථනයකින් තොරවය. එසේම එම ප්‍රතිවිපාක සඳහා වන හානි පුරනය සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සිතුවිලක් පවා නොමැතිවය.

රට වසන්නේ තෙල් නැති නිසාය. නමුත් ඉන්දියානු ණය ක්‍රමය හරහා තෙල් ලබාදීම මාස 06 කින් අවසන් වන බව රජය දැන සිටියේය. නමුත් එම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් සංචිතයක් රැක ගත යුතු යයි රජය අමතක කර දැමුයේය. නමුත් කලු කඩකාරයින්ට හා අතර මැදි ධනපතියන්ට තෙල් රැස් කරන්නට යහමින් අවසර ලබා දුන්නේය. රජය දැන් ටෝකන් දෙන්නට තතනන්නේ අශ්වයා ඉස්තාලයෙන් පැනගිය පසුවය.

ඉහත දැක්වෙන්නේ එක් උදාහරනයක් පමනකි. ආහාර සුරක්ෂිතතාවය, ඖෂධ සුරක්ෂිතතාවය , භාන්ඩ ප්‍රවාහනය පිළිබඳව රජය ක්‍රියා කරමින් සිටින්නේ කැකිල්ලේ තීන්දු ගනිමිනි.

අප සිටින්නේ දිය සුලියකය (whirlpool). දිය සුලියකට ඇත්තේ fussy logic එකකි. කවුරුන් කෙසේ දියසුලියේ නාභියට ඇද ගනු ඇත්දැයි දැන් සිතා ගත නොහැකිවන්නේය.

එවන් අවස්තාවක මෝඩයන්, පිස්සන්, බලයෙන් උන්මාදවු ආත්මාර්ථකාමීන් රැලකට තවදුරටත් දියසුලිය මත තබාගෙන රට කරවන්නට ඉඩදිය නොහැකිය.

 

Social Sharing
නවතම විශේෂාංග