සුනිල් ගේ 70 වෙනි උපන් දිනය !!!

සුනිල් ගේ උපන් දිනය ඊයේ වුවත් මේ දවසක් පමා වී ලියන සටහන මගේ ජීවිතයට ඔහුගෙන් ලැබුණු බලපෑම වෙනුවෙන් තුටු පඬුරකි.
මම සුනිල්ව මුළින්ම දැක්කේ 1986 මැයි 1වනදා කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහළේ වේදිකාව මතදීය. ඒ නිදි නැති නදියේ නාදය ප්‍රසංගයයි. දැන් දන්නා ආකාරයට එවිට ඔහුගේ වයස 35කි. මා ඒ කවුදැයි තිසරණී ගුණසේකරගෙන් විමසූ විට ඇය කීවේ ඒ සුනිල් විජේසිරිවර්ධන බවයි. ඒ වන විට විවරණ සගරාවට ඔහු ලියූ රුසියානු සෞන්දර්ය චින්තනය පිළිබඳ ලිපි පෙළකින් මම ඔහු ගැන දැන සිටියෙමි.

1988 මුළ පමණ සිට මම ඔහු ලගින් ඇසුරු කලෙමි. කොළඹ ග්‍රීන්පාත් හී ඔහුත් සුනිලාත් විසූ නිවස මා නිරන්තර ආ ගිය තැනක් විය. භීෂණ සමයේ උච්ච අවස්ථාව වූ ඒ කාලය තුළ මගේ ප්‍රවාහණ මාධ්‍යය වූයේ සුනිලා මට දුන් රුපියල් දහසක මුදලින් මා මිලදී ගත් සෙකන්ඩ් හෑන්ඩ් බයිසිකලයයි. ඒ බයිසිකලයෙන් මම කිලෝ මීටර 45ක් පමණ දුර ගෙවා කොළඹ පැමිණීමට පුරුදු වී සිටියෙමි. මේ නිවසේ සිට ඔහු ප්‍රේමසිරි කේමදාස සඳහා මානස විල රචනා කරනු, එසේම මාවත සගරාවේ සංස්කරණ කටයුතු කරනු මම බලා සිටියෙමි.

ඒ කාලයේ ජවිපෙ නොවන වාමාංශිකයින් විශාල පිරිසකගේ එකතුවෙන් “සමාජවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ව්‍යාපාරය“ නමින් සංවිධානයක් ආරම්භ කෙරිණි. මේ ව්‍යාපාරය තුළ ක්‍රියාශීලී මැදිහත් වීමක් කිරීමට හැකිවීම මගේ දේශපාලන ජීවිතයේ කඩ ඉමක් විය. ඒ සඳහා තීරණාත්මක ලෙස බලපෑ පුද්ගලයා සුනිල් වූ බව නිසැක ලෙසම කිව හැක. ඒ දිනවල මා සංවිධානාත්මකව අයත් වූයේ දයාපාල තිරාණගමගේ ප්‍රමුඛත්වයෙන් පැවැති කුඩා කණ්ඩායමකටයි.

ඉහත ව්‍යාපාරයේ දේශපාලන කමිටුවේ සාමාජිකයෙක් වූ මට සුනිල් සමග නිරතුරු කටයුතු කිරීමට හැකියාව ලැබුණි. මගේ අදහස වූයේ මේ ව්‍යාපාරය තුළ ක්‍රියාශීළී වූ අතිශය නිර්මාණශීළී චින්තකයා වූයේ සුනිල් බවයි. මම දැනටත් සිතන්නේ ජවිපෙ කැරැල්ල අවසන් වීමත් සමග අවසන් වී ගිය මේ ව්‍යාපාරයෙන් ප්‍රයෝජන ගත්තේ මා පමණක් බවයි. ඒ එය මට තීව්‍ර දේශපාලන අධ්‍යාපන මධ්‍යස්ථානයක් වූ නිසාය. ඒ අධ්‍යාපන ක්‍රියාලියේ තීරණාත්මක ගුරුවරයා වූයේ සුනිල්ය. ඉන් පසුව විභවි ආයතනය ගොඩනැගීමේ දී ද මම සුනිල් සමග කිට්ටුවෙන් වැඩ කලේය. මේ සම්බන්ධය දුරස්ථ වූයේ මගේ දේශපාලන ජීවිතයේ ඊළඟ සහ වඩාත්ම මතභේදාත්මක අවධිය වන එක්ස් කණ්ඩායමේ අවධියේ දීය. එක්ස් කණ්ඩායම සුනිල් සැලකුවේ දේශපාලන සතුරෙක් හැටියටයි.

නමුත් 2004 දී එක්ස් කණ්ඩායම කැඩී ගිය විට මට නැවතත් සුනිල් සමග කිට්ටුවෙන් කටයුතු කිරීමට හැකියාව ලැබුණි. සුනිල් ගැන හැමදාම මා විශ්මයට පත් කළ දෙයක් තිබුණි. ඒ ඔහුගේ වයසයි. මට ඔහු මුළින්ම මුණ ගැසෙන විට මේ වයස 30 ගණන් මැද තරුණයෙක්ය යන අදහස් කොහෙත්ම නොතිබුණි. මගේ සිතේ නිතරම සුනිල් ගැන තිබුණේ බෙහෙවින් වියපත් කෙනෙක්ය යන හැඟීමයි. ඊට සරළ හේතුව ඔහුගේ බුද්ධිමය පරිනතභාවයයි.

ඔහු සමග ඉතා කෙටි සාකච්ඡාවක වුවද ඇති සුවිශේෂීභාවය වන්නේ ඒ හැම අවස්ථාවකම ඔහුගෙන් අළුත් දෙයක් දැගනැනීමට හැකියාව තිබීමයි.
තවමත් සුනිල්ගේ වයස 70යි යන්න මා විශ්මයට පත් කරන්නකි. ඔහුගේ බුද්ධිමය වයස වසර 70ක කාලයට වඩා දීර්ඝ එකකි. කිසිම දිනෙක නැවුම් අදහස් වල හිඟයකින් නොපෙළෙන මේ අපූරු මිතුරාගේ බුද්ධිමය ජීවිතය තවත් අති දීර්ඝ වේවා !!!

මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි

Social Sharing
නවතම විශේෂාංග