දොරටු විවර කළ ‘ස්පන්දන’

– අනුරාධා සංකල්පනී –

සෝෂල් මීඩියාවලින් මඳක් ඈත්ව සිටීම නිසා මඟහැරෙන්නට ගිය අවස්ථාවකට ආරාධනා ලැබුණේ අහඹුවකිනි. මෙතරම් අපූරු සිතුවම් දැක්මක් ගිලිහී යන්නට නොදුන් සිත්තරියට ප්‍රථමයෙන්ම අනේක වරක් ස්තුති කළ යුතුය. දෙවනුව එය නැරඹූ සැණින් යමක් ලියා තබන්නට නොහැකි වීම ගැන අනේක වරක් කනගාටුව ප්‍රකාශ කළ යුතුය. එහෙත් දෙදිනක් පුරා ඇය විවර කර තිබූ ද්වාරවලින් ඇතුළුව නොයෙක් මං ඔස්සේ ගොස් ඇවිදිමින්, අතරමංව, වචන ගලපමින් සිටි බවද කිව යුතුය. තෙවනුව මේසා ප්‍රකාශනයක් කිරීම ගැන අනේක වරක් ඇයව වැළඳ ගත යුතුය.

ප්‍රසාදිනි කුමාරිගේ “ස්පන්දන” සිතුවම් දැක්ම පසුගියදා ලයනල් වෙන්ඩ්ට්හි පැවැත්වුණි. කලාගාරයට ඇතුළු වන විටම ඇගේ ස්වයං ආලේඛ්‍ය සිතුවමක් දුටිමි. එය මූර්තියක් වැනිය. දෑත් කපා හෙලා ඇති, ඇස් අන්ධ, වීනස් මූර්තිය සිහි ගන්වන චිත්‍රයක ස්පන්දනය කවරාකාර වේදැයි සිතමින් ඇතුළු වුණෙමි. බැලූ බැලූ අත ප්‍රසාදිනීය. හැම සිතුවමකම ඇගේ මුවය. ඒ මුවේ විවිධ ස්වරූපය. මුව කීම වැරදිය. ඒ පසුපස දහසක් කතාය. චිත්‍රයක් යනු කුමක්දැයි චිත්‍රයක් දකින හැම විටම යළි යළි අර්ථකථනය වන මගේ මනස්ගාත සිතට මේවා පෙනුණේ දොරටු මෙනි. ඒවා හැර දමා තිබුණි. ඒවායේ අගුලු, යතුරු හිල්, නොයෙක් ආකාර විය. ඇතැම් ඒවායේ යතුර දොරේම තිබුණි. ඇතැම් ඒවා ෂර්ලොක් හෝම්ස් පැමිණ විමර්ෂණය කළ යුතු ඒවාය. එහෙත් ඒවා ඇර දමා තිබුණි. ඒවායින් එහා ලෝකය මායා ලෝකයක් ලෙස පෙනෙන්නට තිබුණි. ඉතින් මම ඒ ද්වාරවලින් ඇතුළුව ඒ ඒ ලෝකවල ඉබාගාතේ ඇවිද්දෙමි.

මේ දොරටුවල විජ්ජාව නම් කිසිවෙකුට එකම ගමනාන්තයකට යා නොහැකි වීමයි. ඔබ කවරෙකු සමඟ දොරටුවෙන් ඇතුළු වුවද ඉන් පසු ඔබ සිටින්නේ තනිව ඇවිදිය යුතු ඔබේ ලෝකයකය. ඉතින් මේ චිත්‍ර පිටුපස මා දුටු ලෝකය, ඔබ දුටු ලෝකයට කිසිසේත්ම සමාන නොවිය හැකිය. ඇතැම්විට සමානකම්ද තිබිය හැක.

මනුෂ්‍ය අප බොහෝ තැන්වලදී වෙස් මුහුණු පාවිච්චි කරමු. අපේ ආරක්ෂාව, පැවැත්ම උදෙසා එසේ කළ යුතු වනවා ඇත. නිරුවත් තමාව හෙළිදරව් කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. අපරික්ෂාකාරීව වැරදි තැනක තමන්ව හෙළිදරව් කිරීම අතිශය අනතුරුදායකය. නමුත් මිනිසුන් වන අප අතින් වැරදි අපමණ සිදුවේ. තමන්ගේ සත්‍ය හැඟීම් නොවළහා හෙළි කිරීමෙන් පසු ඇතැම්විට අපට ඊට දඬුවම් විඳීමට සිදුවේ. ඇතැම්විට ඒවා වසාගෙන පරෙස්සමින් සිටීමද මහත් පීඩාවක් වේ. ඉතින් අපි යම් තැනකදී පළඳින වෙස් මුහුණ පිටුපස සිට අඬමු, වැළපෙමු, කම්පා වෙමු, සිනාසෙමු, කෝපයෙන් වේදනාවෙන් දැවෙමු. ඇතැම්විට මේ භාවයන්, මුහුණ ඉදිරිපස තිරය ඉවත් කර, වේදිකාවක දහසක් ආලෝක මැද හෙළි කිරීමට සිතෙයි. කෑගසා කීමට සිතෙයි.

ස්ත්‍රියට මේ අභ්‍යන්තර හැඟීම්, කැළඹීම්, වැඩියෙන් දැනේදැයි නොදනිමි. එහෙත් වෙස් මුහුණු පැළඳ බාහිර ලෝකයට යාම මෙන්ම ස්වභාවික මුහුණින් ලෝකය ඉදිරියේ පෙනී සිටීමද අතිශය වෙහෙසකර බව දන්නා හෙයින් හැකිතාක් කුඩා ලෝකයක සීමිත වපසරියක සැරිසරන, මෙවැනි ස්පන්දන අනන්ත ප්‍රමාණයක් විඳ ඇති තවත් ස්ත්‍රියක් වන මට, සිත්තරියගේ හඬගෑම දෙකන් දෙදරවා ඇසෙයි.

තීන්ත පහරවල් වෙනුවට නිල් පාටින් වැක්කෙරෙන සායම් දහරා ලේ මෙන් දැනෙයි. එදිනෙදා හිංසනයන් ස්වභාවිකත්වය ලෙස බාර ගැනීමෙන් නොනැවතී, තම පියාගේ හෝ ජීවන සහකරුවාගේ නමේ, වාසගමේ සිට තම අනන්‍යතාව, හැඳිනුම, තම හැකියා, තම කැපවීම්, තම වේදනා, ඇතැම්විට තම කායික මානසික ශ්‍රමයේ වේතනය පවා සෑම අයුරින්ම දෙවැනි තැනට වැටෙන්නේ, යටපත් වන්නේ, වැසී යන්නේ, ස්ත්‍රියගේය.

ස්ත්‍රිය කොතරම් ප්‍රතිභාසම්පන්න වුවද, කොතරම් කැපවීමෙන් තමන් තෝරාගන්නා දෙයක නිරත වුවද, ඇයට හුදු ලිංගික ලාලිත්‍යමය සුරුවමකට හෝ ඇගේ පියාගේ හෝ සැමියාගේ කොටසකට වඩා වටිනාකමක් හැඳිනුමක් ලැබෙන්නේ කොතරම් අල්ප වශයෙන්ද යන්න දැක ඇත්තෙමි, අත් විඳිමි. අන් කවරෙකුගේ හෝ සබඳතාවක ප්‍රතිඵලයක් වශයෙන් නොව, මගේ කවර හෝ ස්වාධීන ක්‍රියාවක පැවැත්මක ප්‍රතිඵලයක් ලෙස මට ඇති වූ හැඳිනුම්කම් හිතවත්කම් ලෙස සමීප වූවන් පවා, මා හුදෙක් අසවලාගේ දියණිය ලෙස පමණක් තම හිත මිත්‍රයින්ට හඳුන්වාදෙනු අසා නිරුත්තර වෙමි. අසවලාගේ අසවල්ලු වීමට වඩා ප්‍රමාණවත් යමක් මා ක‍ර නැතිව ඇතැයි එවිට හිත හදාගමි, මාවම ප්‍රශ්න කරමි.

තමන් සමග එකම තනතුර දරන පුරුෂයාට තමන්ට වඩා වැඩි වේතනයක් ලැබීමේ හද පාරවන පුවත මිතුරියකගේ මුවින් ඇසුවේ හරියටම “ස්පන්දන” බැලීමට පෙර දිනයේය. බාගෙට ලියා හිත හිරවී සිටින තවත් තැනක ඇත්තේ තම මිතුරෙකුගේ මංගල සාදයේ සැහැල්ලුවෙන් නර්තනයේ යෙදෙන තරුණයින් පිරිසකටත් තරුණියන් පිරිසකටත් ලැබී තිබුණ අහසට පොළොව මෙන් පරස්පර ප්‍රතිචාරය. ක්‍රියාව එකමය. කිසිසේත්ම අපරාධයක් නොවේ.

එහෙත් මිතුරෙකුගේ/මිතුරියකගේ මංගල දිනයේ නර්තනයේ යෙදීමේ සිට, සතුටු සාමීචියකදී හඬනඟා සිනාසීම දක්වා සදාචාර විරෝධී වී ඇති ස්ත්‍රීත්වයත්, මනුෂ්‍යයෙකු ලෙස පැවතීමේ පරම අයිතිය භුක්ති විඳින පුරුෂත්වයත් දෙස ජීවිත කාලයක් තිස්සේ බලා සිටිමි. ප්‍රශ්න කළ තැන අපහාසයට ලක් වෙමි. මේ අඳෝනා ස්ත්‍රියට අනන්‍ය වේදනා බවට පත් වී ඇත. ඇතැම්විට මේ ආසියාවේ ආශ්චර්‍යය වන්නට ඇත. කෙසේ නමුත් ස්ත්‍රී අප තුළ අප්‍රමාණ භාවයන් කැකෑරෙමින් ඇත. ඇතැම්විට ප්‍රේමය, ප්‍රහර්ෂයද, ඇතැම්විට කෝපය වේදනාවද, සිර කර ගත යුතුව ඇත. දෙතනේ සිට හදවතේ ගැඹුරුම තියුණුම බරම ස්පන්දන තෙක් අපි සිර කරගෙන සිටිමු. කවර හෝ වේලාවක මේවා කවර හෝ අන්දමකට පිට කළ යුතුය, පිට විය යුතුය, ප්‍රකාශ විය යුතුය.

මේ චිත්‍ර නරඹන අතර මට සන්ධ්‍යා එක්නැළිගොඩ මතක් වුණි. ඒ වසර දොළහකට පමණ පෙර මේ ස්ථානයේම නැරඹූ ප්‍රගීත් එක්නැළිගොඩගේ ගුහා චිත්‍ර සිහි වීමෙන් නොවේ; සන්ධ්‍යාත්, එක්නැළිගොඩ වන්නට පෙර, ඔහු අතුරුදන් වන්නට පෙර, කවරෙකු හෝ වී සිටින්නට ඇතැයි සිහි වීමෙනි. ඔහු පැහැරගත්තවුන්ට සාප කරමින්ම, ඇගේ අනන්‍යතාවය පැහැරගත්තවුන් අපි වෙමු. අප කවුරුත් දන්නා, සංවේදී වන, ඇගේ ඛේදවාචකය අපව කොතරම් පටු තැනක සිර කර ඇත්දැයි නොයෙක් වර සිතමි. ස්වාමියා අතුරුදන් වූ බිරිඳ වීම, ඇය ගැන අපට තිබෙන හුදු නිර්වචනයයි, එකම චිත්‍රයයි. ඇගේ මුහුණ පිටුපස මෙවැනි චිත්‍ර කොපමණ තිබිය හැකිද?

ප්‍රසාදිනී කුමාරි සිත්තරියගේ සිතුවම්වල ඇති අන්තර්වර්තී ස්වභාවය මෙන්ම, ඇගේ පසුබිම හෝ කලා ඉතිහාසය ගැන වැඩි යමක් නොදන්නා හෙයින්ද, සමීපයෙකු නොව අලුතෙන් හඳුනා ගත්තෙකු වීමේ වරප්‍රසාදය නිසාද, මටද ඒවා ඔස්සේ නිදහසේ අන්තර්වර්තීව සැරිසරන්නට හැකි වුණි යැයි සිතමි. ඇගේ කළු ගවුම එල්ලා තිබුණේ කළු බිතක නොව අඳුරු ලෝකයක පසුබිමේ යැයි සිතමි. අඳුරු ගුහාවක හෝ වනයක සිටගෙන සිටින නිරුවත් ස්ත්‍රී සිරුර පිටුපස තැනින් තැන දැල්වෙන රතු එළි, ගිනි පුළිඟු යැයි සිතමි. ප්‍රසාදිනී ඇගේ ප්‍රකාශන මාධ්‍යය සොයාගෙන ඇත. ඇගේ නිර්භීත බවට නැවත ස්තුති කරමි. කැකෑරෙන වැගිරෙන මුහුණු කුමක් හෝ වෙස් මුහුණකින් වසාගෙන තද කරගෙන සිටින අප හෙවත් අනෙක් ස්ත්‍රීන් කෙසේ වෙතත්, ඇය තම අභ්‍යන්තරයේ තිබූ දේවල් හඬගා ලොවට කියා ඇත. කන් ඇත්තෝ අසත්වා!

ප්‍රසාදිනී කුමාරි
ප්‍රසාදිනී කුමාරි

 

 

Social Sharing
නවතම විශේෂාංග